ඇතුළට අරන් අතහැරපු පාස්කු ප්‍රහාරකයෝ

119

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය රූපවාහිනියේ සජීවීව විකාශය වෙමින් ඇත. මේ සටහන තැබෙන්නේ ඉකුත් 21 වැනිදා ආරම්භ වුණු එකී විවාදයට සවන් දෙන අතරතුරය.

විවාදයට එක්වන ඇතැම් මන්ත්‍රීවරුන් එකී ම්ලේච්ඡ ප්‍රහාරය සහ එයට කළ යුතු පිළියම් පිළිබඳ ඉතා බුද්ධිමත්ව අදහස් දක්වද්දී ඇතැමුන් කරමින් සිටින්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලන ඇරියස් සහ වෙනත් දේශපාලන අරමුණු ඔස්සේ පාස්කු ප්‍රහාර විවාදයට එක්වෙමින් එයින් මියගිය අහිංසකයන්ගේ මළ මිනී මතින් සිය ගමන යෑමය.

කෙටියෙන් කිවහොත් එකී නින්දිත දේශපාලන අරමුණු සමග පාස්කු ප්‍රහාර විවාදයට එක්වුණු මහජන නියෝජිතයන් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ අසන්නට සහරාන් හෂීම් නමැති ම්ලේච්ඡයා අද ජීවතුන් අතර සිටියේ නම් බෝම්බ ගසන්නේ කිතුණු දේවස්ථානවලට නොව, වෙනත් තැනකටය.

පාර්ලිමේන්තුවේ කෙරුණු කතා අසද්දී කරන ලොකුම විහිළුව වී තිබෙන්නේ පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ මැති ඇමැතිකම් දරමින් බලයේ සිටි අයම පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන ප්‍රශ්න කරමින් එහි මහ මොළකරුවා සෙවීමය.

රට කරන තැනට පැමිණ කතා කරන මිනිස්සු කෙසේ වෙතත් පාර්ලිමේන්තුව උත්තරීතර නිසා අපි ඒ පිළිබඳව ඉන් එහා කිසිත් නොකියන්නෙමු.

● පාස්කු ප්‍රහාර විමර්ශනයේ අභිරහස්

පාර්ලිමේන්තුවේ කතාව එසේ වෙද්දී චැනල් ෆෝ වීඩියෝවේ උණුසුමත් සමග ඉකුත් සතියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් අන්ද මන්ද කතා පෙළක් සමාජගත කරනු ලැබුවේ එවකට සීඅයිඩීය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න විසිනි.

රූපවාහිනි සංවාදයකට එක්වූ හේ එහිදී කියනු ලැබුවේ කුමක්ද? ඔහුට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර වනාතවිල්ලුව ප්‍රදේශයේදී පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් සමග සහරාන්ගේ සගයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඔහු කියනු ලැබුවේ තමන් ඇතුළු සීඅයිඩීය සහරාන් හෂීම් පිළිබඳ මුලින්ම දැනගත්තේ එම සිද්ධියත් සමග බවය.

ඒ වන විට රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් වූ සියලු වගකීම් ආරක්‍ෂක මණ්ඩලය මගින් පවරා තිබුණේ සීඅයිඩීයටය. නැතහොත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටය. එහෙත් වනාතවිල්ලුව සිදුවීමට පෙර පොලිස් නිලධාරීන් දෙදෙනකු ගෙල කපා ඝාතනය කිරීම මෙන්ම වෙඩි තැබීමේ සිද්ධීන් දෙකක් සමග සහරාන්ගේ සොයුරු රිල්වාන් පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමකදී තුවාල ලැබීම ඇතුළු එම කල්ලියේ සිදුවීම් අටක් සිදුව තිබියදී රවි සෙනවිරත්න ඇතුළු සීඅයිඩීයේ අය සහරාන් ගැන හාන්කවිසියක් දැන සිට නැත.

රවි සෙනවිරත්න මහතා කියන මේ කතාවෙන් කියැවෙන්නේ ජාත්‍යන්තර අධීක්‍ෂණය යටතේ සිදු කෙරෙන නව විමර්ශනයක් සඳහා යළි කැඳවන්නැයි ඇතැමුන් කියන පාස්කු ප්‍රහාරය පිළිබඳ පෙර විමර්ශන සිදු කළ සීඅයිඩීයේ මහත්වරු සිට ඇත්තේ මහා ගොබ්බ තැනක යන්න නොවේද?

● සහරාන්ගේ බිරිඳ හාදියාට ඉටු කෙරුණු සාධාරණය

වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියෙන් පසු සීඅයිඩීය සහරාන් පිළිබඳ වටහා ගන්නවා පමණක් නොව, ඔහු බිහිසුණු ක්‍රියාවකට සූදානම් වන බවට අවබෝධ කරගත් බවක්ද එම සාකච්ඡාවේදී රවි සෙනවිරත්න මහතා සඳහන් කළේය. ඒ සමගම එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට ඇමතුමක් ගෙන ඇති රවි රාජ්‍ය බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් යොදා වනාතවිල්ලුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසද හෙතෙම ඉල්ලීමක් කර ඇත.

තමා කළ ඉල්ලීමට අනුව නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන එදා එම කාර්යය ඉතා නිවැරදිව ඉටු කළ බවද රවි සෙනවිරත්න මහතා කීය. මේ අතරතුර කාලයේ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා සීඅයිඩී කණ්ඩායම් විමර්ශන අරඹන්නේය.

එසේ විමර්ශන ඇරඹූ එක් නිලධාරීන් කණ්ඩායමක් එදා සහරාන්ගේ නිවස පිහිටි කුරුණෑගල කටුපොත ප්‍රදේශයට ගොස් ඇත්තේ ඔහුව අත්අඩංගුවට ගැනීමේ සූදානම ඇතිවය. එහෙත් සීඅයිඩීය එහි යන විට සහරාන් නිවසේ නොවීය. ඔහුගේ බිරිඳ හාදියා එහි සිටියාය. සීඅයිඩී නිලධාරීන් ඇගෙන් සිදු කළ විමසීමේදී ඇය කියා ඇත්තේ සහරාන් උදෑසන නිවසින් පිටව ගිය බවකි. තමන්ගේ රෝගී තත්ත්වයකට වෛi ප්‍රතිකාර ගැනීම සඳහා සහරාන් සවස පැමිණීමට නියමිත බවද ඇය එම නිලධාරීන්ට කියන්නීය.

සහරාන් වැනි බරපතළ සැකකරුවක අත්අඩංගුවට එසේ කුරුණෑගලට ගිය සීඅයිඩීයේ අය අවසානයේ එහිදී කර ඇත්තේ කුමක්ද? සහරාන්ගේ බිරිඳ කියන කතා අසා සිටි ඔවුහු ඇය නිවසේ සිටියදී යළි පිටව එන්නාහ. සහරාන් හෂීම් බිහිසුණු ක්‍රියාදාමයකට සැරසෙන බව අවබෝධ කරගෙන සිටියද නිකමටවත් හාදියා සිය භාරයට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් ප්‍රශ්න කරන්නට ඔවුහු කටයුතු නොකරන්නාහ.

● හතරවැනි තට්ටුවේ සිටි මහ මොළකරුවෝ

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා කියන පරිදි සැකකාරියක නොවන සහරාන්ගේ බිරිඳ එසේ සීඅයිඩී භාරයට ගැනීම නීති විරෝධී බැවින් එම නිලධාරීන් ආපසු පැමිණ ඇත. රවි සෙනවිරත්න නායකත්වය දුන් සීඅයිඩීයේ සිටි නිලධාරීන් එදා කටයුතු කර ඇත්තේ එතරම්ම නීතිගරුකවය.

නිකමටවත් එදා සහරාන්ගේ බිරිඳ සිය භාරයට ගෙන ප්‍රශ්න කරන්නට සීඅයිඩීය කටයුතු කළා නම් සිදු වන්නේ සහරාන් හෂීම් සිටින තැනකින් අත්අඩංගුවට ගැනීමට අවස්ථාවක් ලැබීමය.

එසේ වූයේ නම් බොහෝ දුරට ව්‍යර්ථ වන්නේ සහරාන් හෂීම් ඇතුළු ම්ලේච්ඡ කල්ලිය එල්ල කළ පාස්කු ප්‍රහාරය ය. එහෙත් එය සිදු කෙරුණේ නැත. සීඅයිඩීය එදා එසේ අතහැර යන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන්ගේ මල්ලි ඇතුළු කණ්ඩායම සියදිවි නසා ගත් සයින්දමරුදු නිවස පිපිරීමේදී අනූනවයෙන් දිවි ගලවා ගත් සහරාන්ගේ බිරිඳ හාදියාවය.

ඒ අනුව බලන කල එදා සීඅයිඩීය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මේ කියන්නේ පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම්ගේ මාරක බෝම්බ සඟවා තිබුණේ විමර්ශන කළ අයගේ නිල ඇඳුම් අස්සේ යන්න නොවේද?

● බුද්ධි අංශ දඩයම් කිරීම

මෙම සාකච්ඡාව අතරතුර තවත් තැනකදී රවි සෙනවිරත්න මහතා කී කතාවක් වූයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයේදී එක්තරා බුද්ධි අංශ නිලධාරියකුගේ ජංගම දුරකථනයක එමි අංකයක් ඔස්සේ විමර්ශන ඉදිරියට කරගෙන ගියද එය අතරමගදී නතර කරන්නට සිදුවූ බවය. ඔහු මේ කියනුයේ ‘සොනික් සොනික්’ බුද්ධි මෙහෙයුම පිළිබඳවය.

එකී ප්‍රකාශය තුළින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා මේ කියා සිටින්නේ තමන් එදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය භාරව සිටියාට බුද්ධි මෙහෙයුමක් යනු කුමක්දැයි යන්න පිළිබඳ මෙලෝ වැටහීමක් තමන්ට නොතිබූ බව නොවේද?

බුද්ධි මෙහෙයුමක් යනු මනෝමය (සයිකොලොජි) වශයෙන් මෙන්ම උපායශීලී, උපක්‍රමික සහ සන්නද්ධ ආදී ලෙසින් ආකාර කිහිපයකින් සිදුවිය හැක්කකි. කුමන අන්දමට සිදු කෙරුණද එහිදී ක්‍රියාත්මක කෙරෙන සියල්ල අකිශය සංවේදීය. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ ‘සොනික් සොනික්’ මෙහෙයුමද එවැන්නකි. එහිදී එම මෙහෙයුම සිදු කළේ කෙසේද සහ කවරෙක්ද යන්න අනාවරණය කිරීම ලොව කිසිදු රාජ්‍යයක් සිදු නොකරන්නකි.

එහෙත් මෙරට තුළ පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රමයකි. ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ යනු කිසියම් ආරක්‍ෂක අංශයක පවතින ශක්තිය තුළින් පවත්වාගෙන යන ඒකකයන් පමණි. ඒ කිසිවකට විධිමත් පදනමක් නැත. ලොව අනෙකුත් රාජ්‍යයන්හි මෙන් මේ රට තුළ බුද්ධි නිලධාරීන්ට මුක්තියක් නැත. ඔත්තු බලා වාර්තා කිරීම හැරෙන්නට කිසිදු කාර්යයක් පිළිබඳ ඔවුනට විමර්ශන සිදු කිරීමටද නොහැකිය.

අවම තරමේ බුද්ධි අංශ යන ඒකකයන් පාර්ලිමේන්තු පනතක් තුළින් විධිමත් පරිදි ස්ථාපිත කිරීමටවත් මේ දක්වා අපේ දේශපාලනඥයන් කටයුතු කර නැත. අදටත් අපේ බුද්ධි අංශ පවතින්නේ එවැනි අන්ත අසරණ තැනකය. පාස්කු ප්‍රහාරයට පෙර ‘සොනික් සොනික්’ මෙහෙයුම මෙරට බුද්ධි අංශ මගින් සිදු කරනු ලබන්නේ එවැනි පසුබිමක් යටතේය.

එහෙත් මෙරට බුද්ධි නිලධාරියකු ඇතිවිය හැකි ජීවිත තර්ජන පසෙක තබා රට වෙනුවෙන් ‘සොනික් සොනික්’ මෙහෙයුමකට දායක වී සිටියදී මොලේ කලඳක් නැත්තවුන් සේ කටයුතු කරන විමර්ශකයෝ ඒ පසුපස පන්නන්නාහ. ඒ පිළිබඳ විමර්ශන කළයුතු යැයි ඇතැම් මන්දබුද්ධික දේශපාලනඥයෝ මොර දෙන්නාහ.

● ‘අපරාඳෙ’ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා අදාළ සාකච්ඡාවේදී සඳහන් කළ පරිදි අපේ රටේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තිබෙන්නේ කිසියම් අපරාධයක් සිදුවීමෙන් පසුව ඒ පිළිබඳ විමර්ශන පවත්වා සිද්ධිය අනාවරණය කර ගැනීමටය.

අහිංසක නිරායුධ කිතුණු භක්තිකයන් 268 දෙනකුට මරු කැඳවමින් සහරාන් හෂීම් ඇතුළු මිනීමරු ම්ලේච්ඡ කල්ලිය පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා දෙසීයක් මගින් කරුණු ඉදිරිපත් කර තිබියදී සහ දෙහිවල බෝම්බකරු වූ ජමීල් ත්‍රස්තවාදයට සම්බන්ධ බවට සඳහන් කරමින් බුද්ධි වාර්තා හතරක් යොමු කර තිබියදී රවි සෙනවිරත්න මහතා කියන පරිදි එදා සීඅයිඩීය බබා න්‍යායෙන් කටයුතු කර ඇත්තේ ඒ නිසාද?

රවි සෙනවිරත්න මහතා මේ කියන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යය අපරාධයක් සිදුවූ පසුව විමර්ශන පැවත්වීම නිසා සහරාන් හෂීම් ඇතුළු කල්ලිය බෝම්බ ගහනතුරු එදා සීඅයිඩීයේ සිටි නල්ලමලේ විමර්ශකයන් බකන්නිලා සිටි බව නොවේද?

ජාතික ආරක්‍ෂාව පිළිබඳ සියලු වගකීම් යහපාලනය මගින් සීඅයිඩීයට පවරා තිබියදී රවි සෙනවිරත්න මහතා මේ කියන්නේ එකල සීඅයිඩීයේ සිටි වොයිස්කට් ෂර්ලොක් හෝම්ස්ලා සැබෑවට සිදු කරනු ලැබුවේ දේශපාලනඥයන්ගේ ගෙවල්වල වළං සේදුවේ යැයි යන්නද?

සහාරන් ඇතුළු කල්ලිය සහ අන්තවාදය පිළිබඳ බුද්ධි අංශ තොරතුරු ලබා දුන්නේය. එහෙත් තොරතුරු තිබුණාට අපරාධයක් සිදුව නැත. එනිසා රවි සෙනවිරත්න මහතා කියන පරිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන කළ නොහැකිය. විමර්ශන ඇරඹීමට කට්ටිය සිට ඇත්තේ සහරාන් බෝම්බ ගහනතුරුය. එදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වූ ක්‍රමවේදය එය නම් පැහැදිලිවම ඔවුන් සුදුසු වන්නේ වළං සේදීමටය, පොල්ගෑමටය, රෙදි සේදීමටය. ඉන් එහා ඔවුන්ගෙන් වෙන කුමක් බලාපොරොත්තු වන්නද?.

එවන් නිකමුන්ට සුදුසු යැයි සිතෙන තව තව දේ බොහෝය. එහෙත් ඒවා කිවහොත් මේ සටහන අසභ්‍ය වන නිසා සඳහන් කරන්නට විදිහක් නැත.

● මරාගෙන මැරුණු ජමීල්ගේ කතාව

ඇතුළට අරන් අතහැරපු පාස්කු ප්‍රහාරකයෝ
ඇමරිකන් නීති දෙපාර්තමේන්තුවේ වාර්තාව

විද්‍යුත් රූපවාහිනි නාලිකාවක පැවති අදාළ සාකච්ඡාවේදී වරක් දෙහිවල ‘ට්‍රොෆිකල් ඉන්’ ලැගුම්හලේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ ජමීල් පිළිබඳවද කතාබහට ලක්විය. මේ ජමීල් යනු කවරෙක්ද? පාස්කු ප්‍රහාරයට පෙර ජමීල් යනු අන්තවාදී ක්‍රියාවලට ඍජුව සම්බන්ධ සහරාන් කල්ලියේ ප්‍රබල සාමාජිකයකු බව සඳහන් කරමින් ඔහු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නැයි ඉල්ලා බුද්ධි වාර්තා හතරක් බුද්ධි අංශ මගින් ඉහළ බලධාරීන්ට යොමු කරනු ලැබීය. එය සිදු කෙරුණේ 2016 දී පමණය.

පොලිස්පතිවරයා, රවි සෙනවිරත්න මහතා ප්‍රධාන වගකීම පැවරී තිබුණු පිරිසට යොමු කළ අදාළ බුද්ධි වාර්තා අනුව අවස්ථා තුනකදී ජමීල් කැඳවා ප්‍රශ්න කිරීමට එවකට හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ප්‍රධානත්වය දැරූ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය කටයුතු කළේය.

මේ අන්දමට ඉකුත් 2018 වසරේ අප්‍රේල් මස 12 වැනිදා ජමීල්ව අවසන් වරට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබිණි. එහෙත් මෙලෙස අවස්ථා තුනකදී කැඳවා ප්‍රශ්න කරනු ලැබුවද අවසානයට සිදුවූයේ කුමක්ද?

එකී අවස්ථා තුනේදීම විමර්ශකයෝ ජමීල්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ගෙදර යවනු ලැබූහ. එසේ පැමිණි එක් අවස්ථාවක භාවිත කරනු ලබන ජංගම දුරකථනය පිළිබඳ ජමීල්ගෙන් විමසීමක් කිරීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබිණි.

එහිදී ඔහු ලබා දී තිබුණු පිළිතුර වූයේ තමන්ගේ දුරකථනය නැතිවූ නිසා බිරිඳගේ දුරකථනය භාවිත කරන බවය. එකී අමූලික බොරුව පිළිගත් විමර්ශකයෝ ඒ අවස්ථාවේත් ජමීල්ගෙන් ප්‍රකාශයක් ගෙන ගෙදර යවනු ලැබූහ. ජමීල් යනු මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකු දක්වා මනසින් හැඩගැසී සිටියකු බව හඳුනා ගැනීමට සියල්ලෝ අසමත් වූහ.

දෙහිවල ‘ට්‍රොෆිකල් ඉන්’ ලැගුම්හලේදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ එසේ මුළු රටේම ප්‍රකට හතරවැනි තට්ටුව පිහිටි කොළඹ කොටුවේ නව මහලේකම් කාර්යාල ගොඩනැඟිල්ලේ පියගැට පෙළ අවස්ථා තුනකදීම නැග ප්‍රකාශ ලබා දී කිසිදු ගැටලුවකින් තොරව ගෙදර ගිය ජමීල්ය.

● ජමීල් අතහැර රඟන රැඟුම්

දෙහිවල බෝම්බකරු ජමීල්ට සහරාන් විසින් ලබාදී තිබූ පළමු ඉලක්කය වූයේ කොළම ටාජ් සමුද්‍ර හෝටලය විය. ප්‍රහාරයට සූදානම්ව එහි ගිය ඔහු අවසන් මොහොතේ එයින් පිටතට පැමිණ ත්‍රිරෝද රථයක නැගී ගමන් කරනු ලැබුවේ දෙහිවල පිහිටි මස්ජිඩූර් රහුමාන් ඉස්ලාම් අන්තවාදී පල්ලිය වෙතය.

අදටත් එම පල්ලියට මුද්‍රා තබා තිබෙන අතර පාස්කු ප්‍රහාරයෙන් පසු කෝටිපති ව්‍යාපාරිකයකු වූ එම පල්ලියේ හිමිකරු විදේශයකට පලා ගියේය. මේ වන විට ඔහුගේ ව්‍යාපාර සිංහල ජාතිකයන් දෙදෙනකුගේ නමින් පවත්වාගෙන යන බවද වාර්තා වන්නේය. ජමීල් එසේ දෙහිවල පල්ලියට යන විට පාස්කු ඉරිදා ප්‍රහාරයේ අනෙකුත් බෝම්බ පිපිරී ගොස් තිබූ බැවින් ඔහු දුටු පල්ලියේ සිටි ආරක්‍ෂක නිලධාරියා ජමීල්ගෙන් කරුණු විමසීය. එහිදී ඔහු ආරක්‍ෂක නිලධාරියාට කියා සිටියේ තමන් බිරිඳ සමග අමනාප වී නිවසින් පිටවූ බවකි. එසේ පැවසූ ඔහු බිරිඳගේ දුරකථන අංකය ලබා දී විමසා බලන ලෙසද ආරක්‍ෂක නිලධාරියාට කීය.

ඒ අනුව ආරෂක නිලධාරියා ජමීල්ගේ බිරිඳට ඇමතුමක් ගැනීමේදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනකු නිවසට පැමිණ සිටින බව ඇය සඳහන් කළාය. අද කාටත් ප්‍රශ්නයක් වී තිබෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු එසේ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් යැයි පවසා ජමීල්ගේ නිවසට ගියේ කවරෙක්ද සහ ඒ කුමකටද යන්නය.

එදා එහි ගියේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකි. බුද්ධි අංශ මගින් 2016 වසරේ සිට වරින් වර පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න ඇතුළු ජාතික ආරක්‍ෂාවේ වගකීම භාර වූ පිරිසට ජමීල් පිළිබඳ වාර්තා හතරක් යොමු කරනු ලැබුවේ ඔහුගේ පෙකනි වැළ කැපූ තැන සිට තොරතුරු සොයාගෙන තිබුණු බැවිනි. බිහිසුණු අයුරින් පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ එම බදුධි නිලධාරීන් දෙනො එහි ගියේ ජමීල් පිළිබඳ දැන සිටි නිසාය. එහෙත් අද ඇතැමුන් විමර්ශනය කළ යුතු යැයි කියන්නේ තෙවරක් විමර්ශන නිලධාරීන් ඉදිරියට පැමිණ ප්‍රකාශ ලබා දී ජමීල් ගෙදර ගිය අන්දම පිළිබඳව නොව, ප්‍රහාරයෙන් පසු බුද්ධි නිලධාරීන් දෙදෙනකු ඔහුගේ ගෙදරට යෑම ගැනය. ඒ තුළ ඇති දේශපාලන භාවිතය මොන තරම් නින්දිතද?

● ජනාධිපති කොමිසමටත් සැඟවූ මහ මොළකරු

කවුරු කුමක් කීවද පාස්කු ප්‍රහාරයෙන් පසු විදේශීය විමර්ශකයන්ගේ උපරිම සහාය ඇතිව ඒ පිළිබඳ පුළුල් විමර්ශන සිදු කෙරුණු බව අද රටම දැන සිටින කරුණකි. මේ වන විට පුද්ගලයන් හැත්තෑවකට අධික පිරිසක් නිශ්චිතව අත්අඩංගුවට ගෙන හතළිහකට අධික පිරිසකට අධි චෝදනා භාරදී නඩු පවරා තිබෙන්නේ ඒ අනුවය.

මෙසේ පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරටට පැමිණි එක් කණ්ඩායමක් වූයේ ඇමෙරිකානු එෆ්බීඅයි (ෆෙඩරල් විමර්ශන කාර්යාංශය) විමර්ශන නිලධාරීන්ය. ප්‍රහාරයෙන් ඇමෙරිකානු ජාතිකයන් පස් දෙනකු මරණයට පත්වීම හමුවේ එම නිලධාරීන් තිස් දෙනකු පමණ එසේ විමර්ශනවලට සහාය වීම සඳහා පැමිණ තිබිණි.

වසර දෙකකට ආසන්න කාලයක් පුරා ඔවුන් සිදු කළ විමර්ශනයෙන් පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට පුද්ගලයන් තිදෙනකුට ඇමෙරිකාවේදී නඩු පැවරීමට ද මේ වන විට ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

රූපවාහිනි සාකච්ඡාවට පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා කිසිදු විදේශීය විමර්ශන වාර්තාවක පාස්කු ප්‍රහාරය අයිඑස්අයිඑස් ප්‍රහාරයක් බවට සඳහන්ව නැතැයිද වරකදී කීවේය. එහෙත් ඔහු එසේ බොරුව සමාජගත කරන්නට උත්සාහ දැරුවද ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මෙරටට ලබා දුන් වාර්තාවේ ප්‍රහාරය අයිඑස් අයිඑස් එකක් බව පැහැදිලිවම සඳහන් කර ඇත.

ඇමෙරිකාව මෙසේ නඩු පවරා ඇත්තේ කාටද? ඉන් ප්‍රධානම චරිතය වන්නේ මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවිය. මොහොමඩ් අන්වර් සහ මොහොමඩ් රිස්කාන් අනෙක් දෙදෙනාය. ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු ලෙසින් පෙන්වා දී තිබෙන්නේ මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවිය.

එහෙත් මේ රටේ ජනතාව කිසිසේත්ම නොදන්නා කතාව වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පැවති ජනාධිපති විමර්ශන කොමිසමට කිසිදු අවස්ථාවක මෙකී මහ මොළකරුවා වූ නවුෆර් මවුලවි ඉදිරිපත් නොකිරීමය. සීඅයිඩී විමර්ශකයන් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ක්‍රියාත්මක පවා නොමඟ යවනු ලැබුවේ එසේය.

නවුෆර් මවුලවිව එසේ පාස්කු කොමිසමට ඉදිරිපත් නොකර සිටියේ කවරෙක්ද? එය කරනු ලැබුවේ එවකට ජනාධිපති විමර්ශන කොමිසමට පත් කර තිබූ පොලිස් විමර්ශන ඒකකයේ සිටි සීඅයිඩී නිලධාරීන්ය. අවස්ථා තුනකදී නවුෆර් මවුලවි කොමිසමේ විමර්ශන ඒකකයට ගෙනවිත් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවද ඔහුව කොමිසමට ඉදිරිපත් නොකිරීමට විමර්ශන නිලධාරීන් කටයුතු කළේය.

එය සිදු වන්නේ සහරාන්ගේ බිරිඳ හාදියා සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 38 දෙනකුම නවුෆර් මව්ලවි පිළිබඳ පැහැදිලිවම සඳහන් කර තිබියදීය. එසේ වූයේ ඇයි? ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නට ඉකුත් දා රූපවාහිනි නාලිකාවකට පැමිණ සාකච්ඡාවකට එක්වූ එදා සීඅයිඩීය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාට හැකිද?

● පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තෝ

ගැඹුරින් විමසා බැලීමේදී පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකීම පැවරෙන පාර්ශ්ව ත්‍රිත්වයක් ඇත. එයින් පළමු කණ්ඩායම වන්නේ ඉකුත් 2017 වසරේ මාර්තු 10 වැනිදා සිට 2019 වසරේ අප්‍රේල් මස 19 වැනිදා දක්වා සහරාන්ගේ කල්ලිය අපරාධ සිදුවීම් එකොළහක් කරද්දී ඒ පිළිබඳ නිසි විමර්ශන සිදු නොකළ සීඅයිඩී කණ්ඩායමය.

ඉකුත් 2018 වසරේ නොවැම්බර් 30 වැනිදා වවුනතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කරනු ලැබුවේ සහරාන් හෂීම් ඇතුළු මිනීමරු කල්ලිය විසින් බවට 2019 වසරේ අප්‍රේල් 09 වැනිදා බුද්ධි අංශ නිශ්චිතව වාර්තා කරද්දී හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වූ අජන්තන් රැඳවුම්භාරයේ තබාගෙන සියලු විමර්ශන අයාලේ යවනු ලැබුවේ ඔවුහුය. පාස්කු ප්‍රහාරයේ නිහඬ ඝාතකයෝ මොවුහු නොවෙතිද?

දෙවැනි කණ්ඩායම ලෙස යම් අතපසු කිරීමක් සිදු කළේ නම් එයට වගකිවයුතු බුද්ධි අංශ නම් කළ හැකි අතර තෙවැනි පාර්ශ්වය ලෙසින් වගකීම පැවරුණු ඉහළ බලධාරීන් පෙන්වා දිය හැකිය. මේ අතරින් එකී ඉහළ බලධාරීන්ට දැනටමත් දඬුවමක් ලැබී අවසන්ය. හිටපු ජනාධිපතිවරයා ඇතුළු පස්දෙනකු අද වන්දි ගෙවීමට මුදල් සොයමින් තැවෙන්නේ එකී දඬුවම නිසාය. එහෙත් ප්‍රධාන වගකිවයුත්තන් වන එවකට ජාතික ආරක්‍ෂාවේ වගකීම පැවරී තිබුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න ඇතුළු සීඅයිඩී කණ්ඩායම සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර කුමක්ද? අසරණ කිණු භක්තිකයන් 268 දෙනකුගේ ජීවිත අහිමි කරන තැනට කටයුතු කිරීම හමුවේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ කුමක් නිසාද?

සිදුවීම් එකොළහක විමර්ශන නිසි පරිදි සිදු නොකරමින්, ත්‍රස්තවාදී පනතින් රඳවාගෙන සිටි වනාතවිල්ලුව සැකකරුවන් අධිකරණයට පවා ඉදිරිපත් නොකොට නිදහස් කර යවමින්, සහරාන් හෂීම්ගේ බිරිඳව මුල් අවස්ථාවේදීම හසුවීත් ඇය සැකකාරියක නොවන බව පවසා ප්‍රශ්න කිරීමක් නොකරමින් මාවනැල්ල බුදුපිළිම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා දේශපාලනඥයකුගේ පොරොන්දුව පරිදි අත්අඩංගුවට නොගනිමින්, වව්නතිව් ඝාතකයන් කවරෙක් දැයි බුද්ධි අංශ කියද්දීත් එය මඟහැර යමින්, නවුෆර් මවුලවි ජනාධිපති කොමිසමට ඉදිරිපත් නොකරමින් සහ ව්‍යාජ සාක්ෂිකරුවන් දෙදෙනකු ජනාධිපති කොමිසමට රැගෙනවිත් සාරා ජස්මින් ජීවතුන් අතර බවට කතාවක් නිර්මාණය කරමින් සියල්ල නොමඟ යවනු ලැබුවේ එකී සීඅයිඩී නිලධාරීහුය.

අද කතෝලික සභාව මෙන්ම විපක්‍ෂ දේශපාලන කණ්ඩායම් පවා වැරදි මාවතකට ඇද දමමින් චැනල් ෆෝ ආදී වශයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ බොහෝ කුමන්ත්‍රණ දියත් කරනුයේද ඔවුහුය. එකී කුමන්ත්‍රණ තුළින් ඔවුන් ගන්නා උත්සාහය වී තිබෙන්නේ කුමක්ද? මේ සිදු කෙරෙන්නේ තමන් කළ වැරදි වසා ගැනීමට සූක්‍ෂම අයුරින් ක්‍රියාත්මක වීම නොවේද?

සිදුවිය යුතුව තිබෙන්නේ මේ කුමන්ත්‍රණකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමද? එසේ නැතහොත් පාස්කු ප්‍රහාරය ගැන යළි විමර්ශන පැවත්වීමද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment