මූල්‍ය අරමුදල් ගුණ්ඩු සහ ප්‍රජාතන්ත්‍රවාදී රණ්ඩු!

105

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආණ්ඩුව අතර ඇති කර ගන්නා ලද ණය ගිවිසුම පිළිබඳ විවාදයට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී (16 වැනිදා) ප්‍රකාශ කළේ රට මුහුණ දී තිබෙන මූල්‍ය අර්බුදය හා ආර්ථික අස්ථාවරත්වය විසඳා ගැනීම සඳහා සියලු ම පක්‍ෂවල සහයෝගය අවශ්‍ය බවයි. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නැත. මේ රට මුහුණ දී තිබෙන සියලු අර්බුදවලට මූලික හේතුව රට පාලනය කළ පක්‍ෂවලට හා නායකයන්ට පුළුල් දේශපාලන හා ආර්ථික දැක්මක් නොමැතිවීම බව නිරන්නරයෙන්ම සමාජ, දේශපාලන සංවාදවලදී ඇසෙන සුලබ ප්‍රකාශයකි. එහෙත් ඒ ආර්ථික සමාජ දේශපාලනය නිවැරදි කර ගැනීමේ ජාතික එකඟතාවක් මෙතෙක් අපට ඇතිකර ගතහැකි වූයේ ද නැත. ජනාධිපති රනිල් සිය අදහස් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට අවධාරණය කළේ අපට තිබුණු එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය පමණක් බවය. අප මෙවර ඒ සහාය ලබාගන්නේ 17 වන වරට බවය. සැබැවින්ම මේ ආර්ථික අර්බුදය දසක කීපයක් ඔස්සේ වැඩෙමින් තිබුණු එකකි. එහි උච්ච අවස්ථාව ගෝඨාභයගේ පාලන සමයෙහි ඇති වූවකි. රාජ්‍ය පරිපාලනය හා ආර්ථික කළමනාකරණය යනු ප්‍රාමාණිකයන්ගේ උපදෙස් අනුව සිදු කළ යුතු සංකීර්ණ ක්‍රියාවලියකි. දේශපාලන විකටයන් හා ආර්ථිකය සමග බැඳුණු සමාජ චර්යාවන් නොදත් අන්ධ අනුගාමිකයන් විසින් වටකරගත් ගෝඨාභය ජනාධිපතිට දැන් ඒ විෂය සම්බන්ධයෙන් යම් අවබෝධයක් හා එහි පුළුල් වපසරිය ගැන ද පසුතැවීමක් හෝ ඇතිවී තිබේ දැයි අපි නො දනිමු. කුමක් වුවත් ගෝඨාභය විසින් බින්දුවට බස්සවන ලද මෙරටේ ආර්ථිකයට අලුත් හුස්මක් ගතහැකි වූයේ ජනාධිපති රනිල්ගේ මැදිහත්වීම නිසා බව ද කිව යුතුය.

මෙම විවාදයේදීත් පොහොට්ටුවේ සමහරුන් විසින් පළ කරන ලද්දේ තම නොදැනුම හා හිස් බව දැයි ඒ විවාදය රූපවාහිනි සජීව විකාශයෙන් බැලූ අපට ද සිතුණි. විපක්‍ෂ නායක සජිත් ඒ මූග්ධ ප්‍රතිචාර උත්ප්‍රාසයෙන් විවේචනය කළ අයුරු ද අපි දිටිමු. කුමක් වුවත් මෙම අයිඑම්එෆ් විවාදය සුළුවෙන් තැකිය යුතු එකක් නොවේ. එහි දී පාර්ලිමේන්තුවට ආණ්ඩුවේ ආර්ථික සැලැසුම් හා ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ඉදිරිපත් විය යුතුව තිබුණත් එවැන්නක් සිදු වූයේ ද නැත. උත්තර ලංකා සභාවේ උදය ගම්මන්පිලට ඒ අඩුව පෙනුණි. ඔහු මෙම එකඟතා හා සම්මුතීන් කෙබඳු දැයි නොදැන එයට එක්විය නොහැකි බවද කියා සිටියේය. නිදහස ජනතා සංවිධානයේ මහාචාර්ය චරිත ඉඳුරා ප්‍රකාශ කළේ මෙම ගිවිසුම නිසැකයෙන් ම පොදුජන පෙරමුණේ ජනවරමට මෙන්ම ප්‍රතිපත්තිවලට ද පටහැනි එකක් බවය. ඒ අනුව මෙම ගිවිසුමට පක්‍ෂව ඡන්දය ලබානොදෙන බව ද ඔහු කියා සිටියේය.

අයි. එම්. එෆ්. ගිවිසුමට කෙබඳු විරෝධතා – විවේචන එල්ල වුවත් දැන් ආණ්ඩුවට මෙන්ම පොහොට්ටුවට ද මේ ගිවිසුම අනුමත කර
ගැනීමට අවශ්‍ය බව පැහැදිලිය. ජනාධිපතිවරයාගේ කතාව ඔහුගේ මනෝරාජික සිහිනයක් විනා මේ පොළොවේ යථාර්ථය සමග නොසැඳෙන බව ජා.ජ.බ අනුර කුමාර ද පැවසීය. එයින් ගම්‍ය වූයේ මෙම ගිවිසුමට ඔවුන් එකඟ වීම සැක සහිත එකක් බවය. ඒ මොනවා වුවත් මෙම ගිවිසුම පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් අනුමත කරවා ගැනීමට ආණ්ඩුවට හැකිවන බව එම විවේචන හා ප්‍රතිචාර සමග වුවද අපට හැඟුණි. ජනාධිපතිවරයා මෙම ගිවිසුම දෙස සුබවාදීව බැලීම පුදුමයක් නොවේ. ඔහුට අනුව පොහොට්ටුවේ බහුතරය ද මෙම ගිවිසුම වෙනුවෙන් පෙනී සිටීම ද අප තේරුම් ගත යුතුය.

මූල්‍ය අරමුදල් ගුණ්ඩු සහ ප්‍රජාතන්ත්‍රවාදී රණ්ඩු!

ආණ්ඩුව තම ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීම අනුව යෑමට අදිටන් කර ගෙන සිටින බවද ඉතා පැහැදිලිය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ආණ්ඩුව වැඩි විශ්ලේෂණයක් කළේ ද නැත. ජනප්‍රිය තීරණ වෙනුවට අවශ්‍ය වූ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට කාලය එළැඹ තිබෙන බවද ජනාධිපති අවස්ථා කීපයකදීම ප්‍රකාශ කර තිබුණි. එසේ වුවද අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීමට ද ආණ්ඩුව සූදානම් ය. මේ වනවිටත් හාල් කිලෝ දහයේ සහනයත් මුදල් ප්‍රදානය සඳහාත් සැලසුම් කර ඇත. දියයුත්තන්ට දිය යුතු අතර ම සුදුසුකම් නැති අයට එම සහන ලබාදීම වරදක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එසේම ඇතැම් විවේචන හා විග්‍රහ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය ද දැඩි විය. බැංකු පද්ධතියට හානි වීමේ අනතුර, කොටස් වෙළෙඳපොළ කඩාවැටීම වැනි දේවල් සම්බන්ධයෙන් ජනාධිපති පිළිතුරු දුන්නේ ‘ෆැලැට් න්‍යායෙනි’. ඇත්තට ම ඔහුගේ ප්‍රතිචාරය අසංවේදී ය. ආර්ථසාධක අරමුදලට හානියක් නොවන බවට ඔහු සහතික විය. එහෙත් ජනාධිපතිවරයා වඩාත් අවධානය යොමු කර තිබුණේ ණය ගිවිසුම බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම ගැනම ය. ඔහු කීපවරක් පාර්ලිමේන්තුව එකම ආණ්ඩුවක් ලෙස සිටීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය. එහෙත් ඒ සඳහා තිබෙන බාධක ඔහු හඳුනාගෙන නැත.

ආණ්ඩුවට තිබෙන විවේචන හා ආණ්ඩුවේ ගමන ගැන සමහරුන්ට ඇත්තේ පහන් සිතක් හෝ ප්‍රසාදයක් නොවේ. එයට හේතුව ආණ්ඩුවේ සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍රයයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන දාර්ශනික විග්‍රහ කරන ආණ්ඩුව බොහෝ විට විපක්‍ෂයේ හඬට සවන් නො දෙයි. ඔවුන්ගේ අයිතිය හිමිකම් කෙරෙහි තැකීමක් ද නැත. ඒවා සම්බන්ධයෙන් බොහෝ දෙනකුට ඇත්තේ දැඩි විවේචනයක් හා අධි චෝදනා පත්‍රයක් බව ද අපට පෙනේ. විශේෂයෙන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අඩු කිරීමටත්, ඒවා සම්බන්ධයෙන් මහජනයාට තිබෙන හිමිකම් ඉටුකර ගැනීමට කිසිදු අනුග්‍රහයක් නොදෙන බවට ද දැඩි විවේචන තිබේ. පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයට හිමි විය යුතු අයිතිවාසිකම් පවා උදුරාගෙන ඇති බව විපක්‍ෂ නායක සජිත් ම මෙම විවාදයේ දී සඳහන් කළේ සිය කනස්සල්ල ද පළ කරමින්ය. ඔහු විමසා සිටියේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට හර්ෂ ද සිල්වා පත් කිරීමට බාධා කරමින් ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය සදාචාරයට ද පටහැනි බවයි. එය සත්‍යයකි. මේ ලියන මොහොත වනවිටත් ඒ සඳහා හර්ෂට අවස්ථාව ලබා දී නැත. මෙයට අමතරව ව්‍යවස්ථාදායකයට ඉහළින් සිටින විධායකයක් නිර්මාණය වන බව ද විපක්‍ෂයේ චෝදනාවකි. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව දැක්වූ නිර්දය හා උත්ප්‍රාසාත්මක ප්‍රතිචාර ජනාධිපතිවරයාගේ හිතවත් කණ්ඩායම්වලට ආස්වාදනීය වුවත් එමගින් රටට ලැබුණු සංඥාව යහපත් එකක් නොවීය. ආණ්ඩුවේ ප්‍රතිචාරය ස්වාධීන කොමිසම්වල තත්ත්වය ද බාල්දු කරන්නක් විය. එපමණක් නොව, එම මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දු පවා ආණ්ඩුවේ නො සතුටට හේතු වූ බව පෙනුණි. එම විනිසුරුතුමන්ලා වරප්‍රසාද කමිටුවක් අබියසට කැඳවීමේ ප්‍රයත්නයක් ද තිබුණි. මේවා හැඳින්විය හැක්කේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සිතියම හකුළා දැමීමේ අරමුණින් කළ දේශපාලන සටකපටකම් ලෙස නොවේ ද? ආණ්ඩුව එක් අතක් සහයෝගිතාව වෙනුවෙන් දිගු කරන්නේ මේ වර්ගයේ සෙප්පඩ විජ්ජා කරන අතරය. ඒවා දැක දැකත් ආණ්ඩුවේ ගමනට සහයෝගය දෙන්නට විපක්‍ෂය සූදානම් වේ යැයි සිතිය නොහැක. දේශපාලන සංහිඳියාවක් සඳහා අවංකව පෙනී සිටීමට පොහොට්ටුවට හෝ ආණ්ඩුවේ නායකයන්ට අවශ්‍ය දැයි කුකුසක් සාමාන්‍ය ජනතාව අතර ද තිබේ. ආණ්ඩුව ජනමතයට සංවේදී වීමට වඩා එයට නීතිමය ප්‍රතිචාර දැක්වීමට උනන්දු වන බවද පැහැදිලිය.

ආණ්ඩුවේ ප්‍රබල ව්‍යාපෘතියක් ලෙස සමහරුන් විසින් හඳුන්වනු ලබන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් උද්ගතව තිබෙන විවේචන හා දෝෂාරෝපණ ද සුළුපටු නොවේ. මෙම පනත ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා මෙන්ම හතළිස් හතර වසරක් පැමිණි දැඩි පනතක් ලෙස ජාත්‍යන්තරව පවා හඳුන්වන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික පනත (1979) අහෝසි කිරීමට රැගෙන එන බව ආණ්ඩුවේ අධිකරණ ඇමැතිවරයා පවසයි. ඔහුට අනුව මෙය ඉතා අහිංසක, සාමකාමී සමාජයක පැවැත්ම තහවුරු කරන පනතකි. නීතිය සම්බන්ධයෙන් ඔහු විශාරදයකු විය හැකිය. එහෙත් ඒ නීති ක්‍ෂේත්‍රයෙහිම වෙනත් ජ්‍යෙෂ්ඨ හා වෘත්තීය පුද්ගලයෝ මේ පනත විසකුරු මෙන්ම දුෂ්ට එකක් ලෙස දැඩි දෝෂ දර්ශනයට ද ලක් කරති. මේ පනත කෙටුම්පත් කළ අයගේ මනස තුළ ගාලු මුවදොර විරෝධතාව හා බැඳුණු මතක සටහන් පමණක් නොව මෙරටේ වැඩවසම් ප්‍රභූ දේශපාලනයට එල්ල වී තිබෙන අනතුර පිළිබඳ අමිහිරි සිතිවිලි විදුලි කොටන්නට ඇති බව සඳහන් ලිපියක් ද මගේ අවධානයට ලක්විය. ඇත්ත වසයෙන්ම මගේ ඇතැම් නිරීක්‍ෂණ ඉනික්බිතිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කරන ලද නිවේදනයේ හරය සමග ද සමාන විය. නීති ක්‍ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් එයින් අවධාරණය කර තිබුණේ මෙම ත්‍රස්ත පනත යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයේ මූලධර්ම උල්ලංඝනය කරන මූලික අයිතිවාසිකම්වලට පටහැනි එකක් බවය. භාෂණයේ, රැස්වීමේ මෙන්ම ගමන් කිරීමේ නිදහස ද එයින් උල්ලංඝනය වන බවද නීතිඥ සංගමය එයින් පෙන්වා දී තිබේ. එපමණක් නොව සංශෝධනයකින් තොරව කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළහොත් එය අභියෝගයට ලක් කිරීමට ද නීතිඥ සංගමය සූදානම් බවද ප්‍රකාශ වී තිබේ. මේ සියල්ල විශේෂ කමිටුවක නිරීක්‍ෂණ බවද සඳහන් විය. අධිකරණ ඇමැතිවරයාට මේවා හිස් හෝ පුහු තර්ක දැයි අපි නොදනිමු. එහෙත් අප වැනි හුදී ජනයා තුළ නම් ඒ නිවේදනය නිසා කිසියම් තිගැස්මක්, කම්පනයක් ඇතිවනු නිසැකය. මානව හිමිකම් ආයතනය ද මෙම පනත සංශෝධනය විය යුතු බව කියයි. එසේම මේ ආණ්ඩුවේ පමණක් නොව, මෙයට පෙර තිබුණු බොහෝ ආණ්ඩුවල සමහරුන්ට සත්‍යය මෙන්ම විවේචන ද අමිහිරි විය. මාධ්‍යවේදීන්ට තරවටු කිරීමට සිය නිල බල වරප්‍රසාද ලබාගැනීම ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ ක්‍රමය විය. ඒ කුමක් වුවත් අද මෙරටේ පවතින හා නඩත්තු කෙරෙන ඕලාරික හා දූෂිත දේශපාලන ක්‍රමය ගරාවැටෙමින් තිබෙන බව ඔව්හු දනිති. දූෂණය, වංචාව, හොරකම ඇතුළු ඒ දේශපාලන ක්‍රීඩාව මාරුවෙන් මාරුවට තට්ටු මාරු ක්‍රමයට පවත්වා ගෙන ඒමට අද මෙබඳු පනත් අත්‍යවශ්‍ය බවද ඔව්හු දනිති. ප්‍රතිත්‍රස්ත පනත ඒ දුෂ්ට අරමුණ උදෙසා නොවේ යැයි කිව හැකිද?

ඇත් වසයෙන්ම ජනතාවගේ හෝ සමාජ දේශපාලන ක්‍ෂේත්‍රවල කිසිදු අවධානයක් යොමු නොවූ පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ (1979) තාවකාලික පනත අහෝසි කිරීමේ හදිසි වුමනාව අපට තේරුම් ගත නො හැකිය.

ගාලු මුවදොර අරගලයට වසරක් සපිරෙන අවස්ථාව වනවිට ඒ අරගල භූමිය වූ ගාලු මුවදොර පිටිය නම් තහනම් ප්‍රදේශයක් කර තිබිණි. මෙරටේ දේශපාලන ඉතිහාසයේ දැවැන්ත රැළි ජනහමු ආදියට විවෘත වූ ඒ භූමිය අද විවේකය ගතකරන නිහඬ කලාපයකි. මෙය සාමාන්‍යයෙන් මහජනයා ද පවුල් පිටින් පැමිණෙන විනෝද වූ ස්ථානයකි. එයට කිසිදු අවහිරයක් නොවීය. එහෙත් එය ‘ශුද්ධ භූමියක්’ කරන ව්‍යාජයෙන් තහනම් ප්‍රදේශයක් බවට පත් කිරීමේ සැබෑ අරමුණ ජනතාව දනිති. මහජන පිට්ටනිවල දේශපාලනය තහනම් කරන්නේ බියට හා චකිතයට පත් මානසිකත්වයකිනි. එය ප්‍රජාතන්ත්‍රවාදය හෝ මහජන ඉල්ලීමක් අනුව කළ දෙයක් ද නොවේ. එහි දෙවන පියවර මෙම විවාදාත්මක ප්‍රතිත්‍රස්ත පනත ය. මේවා අධිපතිවාදී පාලකයන්ගේ මර්දනකාරී ප්‍රතිචාර විනා අන් කුමක්ද? මෙම පනතට එරෙහිව උතුරේ දෙමළ දේශපාලන පක්‍ෂ හා වෙනත් සමාජ ක්‍රියාකාරීන් විසින් පසුගියදා හර්තාල් ව්‍යාපාරයක් ද දියත් කරන ලදී.

අද වනවිට ආණ්ඩුව හා විවිධ සිවිල් සංවිධාන, වෘත්තිකයන් පමණක් නොව ගොවියන්, පාරිභෝගිකයන් ආදී විවිධ කොටස් අතර ද දැඩි ප්‍රතිවිරෝධතා නැඟෙමින් තිබේ. සරසවි ඇඳුරෝ ද බදු සංශෝධනයට එරෙහිව වීදි බැස සිටිති. වී වලට මිලක් ඉල්ලා ගොවි සංවිධාන පාරට පැමිණ සිටියි. පොඩි මිනිහාගේ පෝෂණය යෙනුවෙන් තිබුණු බිත්තරයත් අද වෙළෙඳ පොළේ නැත. මේවාට උත්තර නැති පාලකයන්ට වුවමනා ඒ විරෝධතා අරගල අයිතිය අහෝසි කිරීමට ය. අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙන ආයතන ගැන හෝ ඒ ප්‍රතිචාර පිළිබඳව හෝ ලිවීම ආණ්ඩුවට හිසරදයකි. පැනසර නොවන හිස් පඹයන් හා සමාන දේශපාලන චරිතවලට මේ ගැටලු විසඳීමට ද නො හැකිය. ප්‍රතිත්‍රස්ත පනත ඒ සියලු දෙනාට ම රක්‍ෂණ ආවරණයකි. දවසින් දවස පෙළ ගැසෙන අලුත් ප්‍රශ්න ලත් තැනම ලොප් කිරීම සඳහා නීතිය භාවිත කිරීම හා මර්දනය හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් ද නැත. එනිසා ප්‍රතිත්‍රස්ත පනත ඒ සියල්ල නිහඬ කිරීමට යෝධ ශක්තියක් පොලිසියටත් හමුදාවටත් ලබාදෙනු ඇතැයි ආණ්ඩුව කල්පනා කරනු විය හැකිය.

මේ වනවිට සමාජ දේශපාලන අංශවල දැඩි සංවාදයට ලක්වූ තවත් සිදුවීම් ගණනාවක් ද ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව කතෝලික සභාවට ලබාදී ඇත. එහි ප්‍රතිචාර කුමක් වනු ඇද්ද? ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හදිසියේ මාරුකර යැවීම ද ආණ්ඩුවට පාරාවළල්ලක් වී තිබේ. මේ ස්වාධීන පොලිස් කොමිසමට උඩින් පැනීමේ අභ්‍යාසයකි. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා යුක්තිය උදෙසා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඇත. ඇත්තට ම මෙබඳු අවුල් වියවුල් පිරි යුගයක් මින් පෙර නොවූ තරම්ය. මේවා සැක සංකා දනවන සිදුවීම්ය. එක්ස්ප්‍රස් පර්ල් නැව් ගින්න දැන් පාර්ලිමේන්තුවටත් පැමිණ ඇත. ඩොලර් මිලියන ගණනින් කළ ගනුදෙනුව පසුබිමේ සිටින චරිත කවුදැයි කිසිවෙක් නො දනිති.

අනෙක් අතට ජනාධිපති රනිල් අපේක්‍ෂා කරන පරිදි ශ්‍රී ලංකාව පුනරුද මාවතකට යොමු කිරීම සඳහා ඔහුට ශක්තියක් ජවයක් සැපයීමට හැකි චරිත කීයක් මේ පාර්ලිමේන්තුවේ සිටිත් දැයි අපට කිව නො හැක. එහෙත් අපට එක් දෙයක් කිව හැකිය. එනම් ගෝඨාභය සමග මේ රට ආර්ථික අගාධයකට ඇද දැමූ අයත්, රටේ අලුත් දේශපාලනයකට උචිත සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා කවර හෝ තෙරපීමක්, පෙළඹවීමක් නො කළ අයත් සමග රටක් අලුත් මාවතකට යොමු කළ හැකි ද? ගෝඨාභය ගෙදර යැවූ අරගලකරුවන්ට හෙට දවස පිළිබඳ ඇත්තේ කෙබඳු කියැවීමක් ද? දේශීය හා ජාත්‍යන්තර වසයෙන් විවේචනයට ලක්ව තිබෙන ප්‍රතිත්‍රස්ත පනත මුගුරක් සේ භාවිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීමට හැකි යැයි ආණ්ඩුවේ නායකයෝ කල්පනා කරත් ද?

ජනාධිපති රනිල් කෙරෙහි පොහොට්ටුවේ ම ප්‍රසන්නලා, කංචනලා හා අමුණුගමලා සාධනීය විශ්වාසයක් ද තබා ඇත. එහි තේරුම පොහොට්ටුව මහපොළොවේ දේශපාලනය වටහා ගනිමින් සිටින බවද? රාජපක්‍ෂ යුගය අවසානය කරා ඇදෙමින් තිබෙන වග ද? කුමක් වුවත් අයිඑම්එෆ් සමග පෙරට යෑමට ජනාධිපති රනිල් ඇතුළු පිරිසක් සූදානම් බවද පෙනේ. ඒ ගමන වැල් පාලමේ ගමනටත් වඩා අසීරු හා දුෂ්කර එකක් වනු නිසැකය. අයිඑම්එෆ් තොටිල්ලේ නිදියමු අපි සැනසිල්ලේ යැයි ජනාධිපති රනිල් කියන්නේ නිකම්ම විය නොහැක.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment