හදවතට රිද්මයක් ඇත. සකල ලෝ වැසි සෑම මිනිසකුම ජීවත් වන්නේ හදවතේ රිද්මය අනුවය. හදවතේ ගැහෙන රිද්මය සංගීතය හා මුසුව ඔසුවක් මෙන් දෙසවන් නිවාලන්නට සැරසෙන මොහොතක් අසන්නට දකින්නට ලැබිණි. ඒ හදවතේ රිද්මය ලෙසින්ම නම් වී තැනුණු සාමුහික එකමුතුවක ප්‍රතිඵලයකි.

සිංදු කියන වෛද්‍යවරුන් අප දැක තිබේ. වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන වෛද්‍යවරුන්ද අප දැක තිබේ. මේ සම්මිශ්‍රණයෙන් එක්ව ගායන වාදන සුසංයෝගයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් ඇතුළු විශේෂිත කණ්ඩායමක් එක්ව සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යන අයුරු මෙතෙක් දැක නැත. විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන්, විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන්, මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඇතුළු වෛද්‍යවරුන් එක්ව සංගීත කණ්ඩායමක් ආරම්භ කර ඇත. එය නමින් ඒපෙක්ස් බීට් (Apex Beat)ය.

සංගීතය ඔසුවකි. රෝගියකු සුවපත් කරන්නට සංගීතයට හැකියාවක් තිබේ. බොහෝ විට සමාජගතව ඇත්තේ මානසික පීඩාවකදී පමණක් සංගීතය ඖෂධයක් බවය. කායික රෝගී අවස්ථාවකදී වුවද සංගීතය ඔසුවක් මෙන් මනසට නිරවුල් බවක් ඇති කරමින් කායික පීඩාවේ ඇති වේදනාව ද අවම කරන්නේය. මෙයද එවන් අවස්ථාවකි.

Apex beat නිර්මාණශීලී එකමුතුව ඉකුත් වසරේ දෙසැම්බරයේ තැනෙන්නේ මහනුවර වෛද්‍ය සංගමයේ වත්මන් සභාපති පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන් නානායක්කාර මහතාගේ සංකල්පයක් අනුවය.

“මහනුවර වෛද්‍ය වෘත්තිකයන් අතරේ ක්‍රිකට් කණ්ඩායම් නෙට්බෝල් කණ්ඩායම් දක්නට ලැබෙනවා. බොහොමයක් උත්සව අවස්ථාවලදී වගේම විවිධ වැඩසටහන්වලදී භේදයකින් තොරව සෑම වෛද්‍යවරයෙක්ටම පාහේ සිය වෘත්තියට එහා ලද හැකියාවන් ඉදිරිපත් කරන්නට අවස්ථාද සැලසෙනවා. බොහෝ අවස්ථාවල මා දැක තිබෙනවා ගීත ගායනය, වාදනය, නර්තනය ආදී නොයෙක් දක්ෂතා එළිදක්වන වෛද්‍යවරුන්. ඒ නිසා මම කල්පනා කළා මහනුවර වෛද්‍ය සංගමය මැදිහත්ව සංගීත කණ්ඩායමක් නිර්මාණය කළ යුතුයි කියා. ඒ අනුවයි මේ හදවතේ රිද්මය ආරම්භ වෙන්නේ.” නිර්වින්දන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන් නානායක්කාර මහතා එසේ කියා සිටියේය.

සෑම වෛද්‍යවරයකුම පාහේ තමන්ගේ සේවාව ඉටුකරන්නේ මිනිසාගේ හදවත ගැහෙන රිද්මය අනුවය. හදවතක් ගැහෙන තෙක් ඔහුගේ හෝ ඇයගේ රාජකාරිය ඉටුවෙයි. වෛද්‍ය වෘත්තිය එපරිදිය. වෛද්‍යවරයාගේ එකම අපේක්ෂාව හදවතක රිද්මය පවත්වාගෙන යෑමයි… කාර්යබහුල කාලපරාසයක සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යෑමේ අභියෝගය ගත්තේ කෙසේද යන්න අපි විමසීමු.

“ඇත්තෙන්ම තිබුණ ලොකුම අභියෝගය තමයි වෛද්‍ය වෘත්තිකයන් එකතු කර ගැනීම. මොකද හැමෝම කාර්යබහුලයි. සිටින බොහොමයක් වෛද්‍යවරු රාත්‍රි සේවයේ යෙදෙන අය තවත් වෛද්‍යවරුන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු. මෙහි සුවිශේෂීම කාරණාව සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා. ඔහු ප්‍රජා සෞඛ්‍ය සේවා විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා. ඔහු බේස් ගිටාර් වාදකයෙක්. ඔහුගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමේ විසිදෙනකු පමණ සාමාජිකත්වය දරනවා. ඒ අතරින් දහ හතර දෙනකු නිත්‍ය සාමාජිකයන් ලෙස Apex Beat ගායන වාදන කණ්ඩායමේ කටයුතු කරනවා.

මනස සුවපත් කරන්නට වැයෙන කන්ද උඩරට වෛද්‍යවරුන්ගේ හදවතේ රිද්මය Apex Beat

දහ හතර දෙනාම එකතුවෙලා පුහුණු වෙච්ච දින ඇත්තේ එක අතක ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවක්. මොකද බොහෝ අවස්ථාවල පුහුණුවීම් සිදු කළේ රාත්‍රී කාලයේ. සමහර අවස්ථාවල දහහතර දෙනාම එක තැනකට එක් වුවත් අදාළ රෝහල්වලින් දුරකථන ඇමතුම් එනවා හදිසි අවශ්‍යතාවයන් දන්වලා. ඒ මොහොතට’ වෛද්‍යවරයා අසුරු සැණින් තමන්ගේ රෝහල වෙත යනවා. නමුත් කිසිම කෙනෙක් මේ කණ්ඩායම පවත්වාගෙන යන්න අදි මදි කළේ නැහැ. මොකද මේක ජීවත්වෙන බව දැනෙන තැනක්. සංගීතය ගායනය වාදනය මේ සියල්ල අපිව අලුත් කරනවා, ජීවත් කරනවා. ඒ රසයේ හැටි දන්නේ එය විඳින කෙනා පමණයි….”

එය සැබෑවකි. ගීතයේ රසය වෛද්‍ය වෘත්තියක නියැලෙන කාර්යබහුල පිරිසක් විසින් පවත්වාගෙන යෑමම අගය කළ යුත්තකි.

හදවතේ රිද්මය එසේත් නැතිනම් Apex Beat වූ මෙම කණ්ඩායමේ නායක මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිහාල් වීරසූරිය බේස් ගිටාර් වාදක ලෙස කටයුතු කරයි.

දන්ත ශල්‍ය වෛද්‍ය කුෂාන් රත්නායක ලීඩ් ගිටාර් වාදනයෙන්ද, මහනුවර මහ රෝහලේ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය හර්ෂ පෙරේරා සහ මහනුවර මහ රෝහලේ වෛද්‍ය අනුරාධි වීරසිංහ කීබෝඩ් වාදනයෙන්ද, ගම්පොල රෝහලේ වෛද්‍ය ගෝතම රක්ඛිණවසම් රිදම් ගිටාර් වාදනයෙන්ද, පෞද්ගලික දන්ත ශල්‍ය වෛද්‍ය සජීව කන්දේගෙදර රිදම් ගිටාර් වාදනයෙන්ද, ගම්පල රෝහලේ වෛද්‍ය ශ්‍රියන්ත කැප්පෙටිපොළ ඔක්ටර්පෑඩ් වාදනයෙන් ද, මහනුවර මහ රෝහලේ වෛද්‍ය (තබ්ලා විශාරද) නිපුණ වීරසිංහ තබ්ලා වාදනයෙන්ද, ාරමපි වාදනයෙන් ගම්පොළ රෝහලේ වෛද්‍ය චතුරංග සේනානායක ද,

ගම්පොල රෝහලේ වෛද්‍ය ගලිඳු අධිකාරි සැක්සෆෝන් වාදනයෙන්ද, කණ්ඩායම් වාද්‍ය ශිල්පීන් ලෙස කටයුතු කරති. කණ්ඩායමේ ගායකයන් ලෙස කටයුතු කරන්නේ ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර, ගම්පල රෝහලේ කාන්තා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යය තුසිත පාදෙනිය සහ ගම්පල රෝහලේ වෛද්‍ය සංජීව පිලපිටිය යන මහත්වරුන්ය. කණ්ඩායමේ එකම කාන්තා නියෝජනය මහනුවර මහ රෝහලේ වෛද්‍ය අනුරාදී වීරසිංහ මහත්මියයි.

මේ සුසංයෝගය නෙතට ප්‍රිය උපදවන කණට මිහිර දනවන ගීතාවලියක් දැයට දායාද කරන්නට එක්කාසු වූ වෛද්‍යයවරුන් වීමම රටට දැයට අභිමානයකි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment