ෂෙහාන් සේමසිංහගේ ගෙදරින් රන් පවුම් හැටකුත් උස්සලාගිනි තබා ගෙදරට කළ හානිය කෝටි පහකට කිට්ටුයි

1822

පියා පොලිසියට කියයි

හිටපු ඇමැති ෂෙහාන් සේමසිංහ මහතාගේ අනුරාධපුර කාර්යාලය පිහිටි නිවසට ඇතුළු වූ කලහකාරීන් පිරිසක් නිවසේ අල්මාරියක තිබූ මිලියන 12ක් පමණ වටිනා රන් පවුම් 60ක් සොරා ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.

පසුගිය 9 දා රාත්‍රී කලහකාරි ලෙස හැසිරුණු පිරිසක් අංක 600/ එම්, ගුවන්තොටුපළ පාර ලිපිනයේ ඉඩමට බලහත්කාරයෙන් ඇතුළු වී, එම නිවසට සහ කාර්යාලයට ගිනි තබා නිවසේ අල්මාරියක දමා තිබූ බිරිඳට අයත් රන් භාණ්ඩ තොගයක් පැහැර ගෙන ගොස් ඇති බවට හිටපු අමාත්‍යවරයකු වන හේරත් බණ්ඩාගේ සේමසිංහ, (පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ගේ පියා) සිදු කළ පැමිණිල්ලක සඳහන් බව පොලිසිය කියයි.

එම කලහකාරී සිද්ධියට සම්බන්ධ පිරිස් හිටපු ඇමැති ෂෙහාන් සේමසිංහ මහතාට අයත් කාර්යාලයේ තිබූ අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයට අයත් රුපියල් දහනම ලක්‍ෂ විසිතුන්දහස් පන්සියයක (19,23500 ක) දේපළ ද ගිනි තබා විනාශ කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

එම කාර්යාලයට, නිවසට, පහර දී දේපළවලට අලාභ හානි සිදු කර ගිනි තැබීම හේතුවෙන් රුපියල් හාරකෝටි අසූනවලක්‍ෂ දොළොස්දහස් දෙසීයක (4,8912200ක) අනර්ථයක් සිදුව ඇති බවත් සොරකම් කළ රන් භාණ්ඩවල වටිනාකම එක්කෝටි විසිහය ලක්‍ෂයක් බවත් එච්.බී. සේමසිංහ මහතා විසින් පෙරේදා (17 දා) වාර්තාවක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය මෙහෙයවූ පොලිස් කණ්ඩායම කීපයක් අනුරාධපුර නගරයේ, බණ්ඩාරනායක මාවත, දෙවන පියවර, දහයියාගම හංදිය, පුල්ලයාර් හන්දිය, ගෙවල් 55, වන්නියම්කුලම යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 6 දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය කියයි.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment