කිතුල් එපා කියන අයට අතුල් පහරක්…පහේ පංතියට ගිය රුහුණේ කිතුල් කථිකාචාර්ය

544

රැකියාව අතහැර, කිතුල් පැණි හා කිතුල් හකුරු හදන ගණකාධිකාරවරයෙක්

බාල බඩු නිසා හොඳම බඩු බාල්දු වෙලා

කිතුල් රා වලට විරුද්ධ ගමේ සුචරිතවාදියෝ බාර්වලට විරුද්ධ නෑ

කිතුල් කර්මාන්තයට තරුණ පිරිස් යොමුවෙන්නේ නෑ

කිතුල් කර්මාන්තය ජීවනෝපය කර ගත් ගාල්ල දිස්ත්‍රික්කයේ සිංහරාජයට මායිම් වූ ගම්මානයන්හි උදෑසන හා සවස් කාලයේ රජ කරන්නේ, ඉසිලිය නොහැකි තරම් පාළු නිසල නිහැඬියාවකි. මෙම නිහැඬියාව ගම්මුන් විසින්ම කාලයක් තිස්සේ ගොඩ නගා ගත් ස්වයං වාරණයකි. කොයි මොහොතක හෝ තම අසල්වැසියෙකු කිතුලකින් වැටී කෑ ගැසීමකට විමසිලිමත්ව සිටීම ඔවුන්ගේ මේ ජානගත ස්වයං වාරණයට ප්‍රස්තුතයයි.

කැරියොටා යුරේනස් (caryota urens) නමැති උද්හිත නාමයෙන් හඳුන්වනු ලබන කිතුල් ශාකය පොල් ගසට වඩා වැඩි ඉතිහාසයකට නෑකම් කියයි. කිතුල් යනු, දේශීය ශාකයකි. ශ්‍රී ලංකාවේ කිතුල් ශාකය වැඩි වශයෙන් වැවෙන දිස්ත්‍රික්ක 18ක පිහිටි මුළු කිතුල් ගස් ප්‍රමාණය 2,977261 කි. ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තය ජීවනෝපය කර පිරිස ලක්ෂ 03 – 05 අතර වන බව කිතුල් සංවර්ධන මණ්ඩලය කියා සිටියද, 2009 වසරේදී ජනලේඛන හා ජන සංඛ්‍යා ලේඛන දෙපාර්මේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ සංගණනයට අනුව මෙරට කිතුල් කර්මාන්තය, ප්‍රධාන ජීවනෝපාය කර ගත් පවුල් ප්‍රමාණය තුන්දහසකටත් වඩා අඩුය. මෙරට කිතුලෙන් ඉහළට ගොස් ඇත්තේ, අතලොස්සකි. රජයේ අඩු අවධානය සහ කුඩම්මාගේ සැලකිලි කිතුල් කර්මාන්තයේ බිඳ වැටීමට මූලිකවම බලපා ඇති ක්ෂේත්‍රයේ නිරත පිරිස්ගේ අදහසයි.

කිතුල් එපා කියන අයට අතුල් පහරක්…පහේ පංතියට ගිය රුහුණේ කිතුල් කථිකාචාර්ය

පියාගේ අඩි පාරේ යමින් කිතුල් ගස් මැදීමට පිවිසි තවලම කන්එලියේ, සරත් නන්ද කුමාර මහතා තරුණ කිතුල් නිෂ්පාදකයෙකි. සරත් නන්ද මහතා මේ වන විට ප්‍රමුඛ පෙළේ කිතුල් ගස් මදින්නෙකු මෙන්ම පැණි හා හකුරු නිෂ්පාදකයකුද වේ. කිතුල් කර්මාන්තය සම්බන්ධයෙන් රජයේ අඩු සැලකිල්ල හා ග්‍රාමීය ජනයාගේ පසුගාමි ආකල්ප, නාගරීකරණය හේතුවෙන් කිතුල් ගස් විනාශය කිතුල් කර්මාන්තයේ කඩා වැටීමට හේතුවී ඇති බව ඔහුගේ අදහසයි. ගසට පොත්ත මෙන් කිතුල් ගස තම ජීවිතවලට බද්ධ වී ඇති බවත්, කිතුල් කර්මාන්තයෙන් තොර ජීවිතයක් තමන්ට නොමැති බවත් සරත් නන්ද මහතා වැඩි දුරටත් කියා සිටි.

“කිතුල් පැණි..කිතුල් රා කොයි තරම් රස වුණත්, ඒක ඇතුළේ තියෙන අපේ ජීවිත කියන්න බැරි තරම් තිත්තයි. මම උදේ හත වෙද්දී කිතුල් මණ්ඩියට ගිහින් ගස් මදින එක පටන් ගන්නවා. මේක පහසු රැකියාවක් නෙවෙයි. සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු කිතුල් ගහක් අඩි පනහක් හැටක් උසයි. මම ඒ වගේ ගස් දහයකට විතර දවසට දෙපාරක් නගිනවා…කොයි වෙලාවේ ගහකින් වැටෙයිද, අකුණක් ගහලා අනතුරක් වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. කොහොම වුණත්, මේක දැන් අපේ ජීවිතවලට බද්ද වෙලා තියෙන්නේ. අපි ස්වභාව ධර්මයත් එක්කයි මේ රස්සාව කරන්නේ. ඒ නිසා දැන් අපිට කිතුල හැර වෙන ලෝකයක් නැති තරම්… නමුත්,මේ රැකියාවට තියෙන අඩු සැලකිල්ල නිසා අපෙන් පස්සේ මේ කර්මාන්තය රැකෙයිද කියන එක තමා ප්‍රශ්නේ…”

අඩි පනහක් හැටක් උස කිතුල් ගස් දහයකට දිනකට දෙවරක් නැගීම බැසීම හිතන තරම් පහසු නැත. මේ නිසා ඔවුන් කිතුලට “හැර බැඳීම” සිදු කරයි. හැර බැඳීම යනු, කිතුල් ගසට පහසුවෙන් නැගීම සඳහා දිගු ලීයක් ගසේ මුල සිට ඉහළට යන තෙක් සවිමත් ලෙස කොහු ලණු වලින් බැඳ, එහි කකුලේ ඇඟිලි පහසුවෙන් රැඳවීමට හැකි වන සේ අඩි තුනේ තුනට පමණ වන සේ හරහට ආධාරක බැඳීමයි. හැර බැඳීම සඳහා උන බට යොදා ගැනීම සුලබය. අඩි හැට හැත්තෑවක් පමණ උස කිතුල් ගස් රැසකට ඔවුන් නිතිපතා මෙසේ නැගීම බැසීම සිදු කරනුයේ, මලෙන් මලට රොන් සොයමින් පියාඹන වන බඹරුන් සේ වුවද, කිතුල් කර්මාන්තකරුවන්ගේ ජීවිත තුළ ඇති අවිනිෂ්චිත බව දකින කිසිවෙකුත් නැති තරම්ය.

කිතුල් ගස මැදීමේ පළමු ඵලය වනුයේ, තෙලිදියයි. තෙලිදියට මණ්ඩි එකතු කර පැසවීම මගින් කිතුල් රා නිපදවේ. කිතුල් ගසක පළමු මල මැදීමට යොදා නොගෙන එය ප්‍රරෝහණය සඳහා ඉතිරි කිරීම සම්ප්‍රදායකි. කිතුල් ගස් මදින්නෙකු තමා මදිනු ලබන ගස් අතරින්, ගස් කිහිපයක් කිතුල් රා නිපදවීමට යොදා ගන්නා අතර, අනෙක් ගස් තෙලිදිය ලබා ගැනීමට යොදා ගනී. කිතුල් පැණි හා කිතුල් හකුරු නිපදවෙන්නේ, තෙලිදිය මගිනි.

කලකට පෙර බලපත්‍රලාභී රා මදින්නෙකු වූ සරත් නන්ද මහතා, වර්තමානයේ පැණි හා හකුරු නිෂ්පාදනයට පමණක් යොමු වී තිබේ. කිතුල් රා අලෙවිය ඉතා ඉහළ ආදායමක් ලැබිය හැකි කර්මාන්තයක් වුවද, ග්‍රාමීය ජනතාවගේ පසුගාමි අදහස් හා නීතිය හරිහැටි නොදන්නා පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් පසුගිය කාලයේ – කිතුල් රා කර්මාන්තයෙන් ඉවත්වීමට සිදුවූ බව සරත් නන්ද කුමාර මහතා කියා සිටී.

කිතුල් එපා කියන අයට අතුල් පහරක්…පහේ පංතියට ගිය රුහුණේ කිතුල් කථිකාචාර්ය

පොල් සහ තල් කර්මාන්ත මෙරට වඩාත් ප්‍රචලිත කර්මාන්ත බවට පත්ව ඇතත්, කිතුල් කර්මාන්තය එසේ නොවීමට හේතුව කිතුල් කර්මාන්තයේ මූලිකම ඵලය වන කිතුල් රා සම්බන්ධයෙන් එදා සිට ශ්‍රී ලංකාවේ පවත්නා නීතිමය වටපිටාව බව ක්‍ෂේත්‍රයේ නිරත පිරිස්ගේ අදහසයි. එහෙත්, තල් රා සහ පොල් රා සම්බන්ධයෙන් රජය එවැනි තදබල නීති පනවා ඇති බවක් නොපෙනේ. රජය තල් රා සහ පොල් රා යොදා ගනිමින් මත්පැන් ඇතුළු නිෂ්පාදන රැසක් සිදු කළද, කිතුල් රා යොදා ගනිමින් පැණි හා හකුරු හැර වෙනත් නිෂ්පාදනයකට කිතුල් කර්මාන්තකරුවන් යොමු කළ බවක් දැකිය නොහැක. කිතුල් කර්මාන්තය කෙරෙහි නව තාක්ෂණය සම්ප්‍රේෂණය වී ඇත්තේ, මඳ වශයෙනි. කිතුල් කර්මාන්තයේ අවනීතියට එයද බොහෝ සේ බලපා ඇති බව ක්ෂේත්‍රෙයේ නිරත පිරිස්ගේ අදහසයි.

වර්තමානයේ කිතුල් රා සඳහා දේශීය වශයෙන් ඉහළ ඉල්ලුමක් පැවතියද, පානය සඳහා පිරිසිදු කිතුල් රා බෝතලයක් සොයා ගැනීම කළු නික සොයන්නා තරම් දුෂ්කරය. පවත්නා නීතිමය තත්ත්වය යටතේ, රා මදින්නෙකුට තම භාවිතය සඳහා ළඟ තබා ගත හැක්කේ, මණ්ඩිත් සමග කිතුල් රා ලීටරයක් පමණක් වීම ඊට හේතුවයි. එසේම දැනට පවත්නා නීතිය යටතේ, එක් රා මදින්නෙකුට මැදිය හැක්කේ, විකුණුම් ස්ථානයේ සිට මීටර් 50 – 100 අතර පිහිටි කිතුල් ගස් තුනක් පමණි. එහෙත්, තල් රා සහ පොල් රා වලට එබඳු නීතියක් ක්‍රියාත්මක නැත. මේ නිසාම කිතුල් ගස් මදින්නන් රා නිෂ්පාදනය අතහැර පැණි හා හකුරු නිෂ්පාදනයට වැඩි වශයෙන් යොමු වී ඇති බවක් පෙනේ.

පිරිසිදු කිතුල් පැණි බෝතලයක් නිපදවීමට තෙලිදිය බෝතල් 6 – 8 අතර වැය වෙන අතර, ඒ සඳහා වැයවෙන පිරිවැය රුපියල් දහස ඉක්මවයි. මෙම තත්ත්වය ගසෙන් ගසට හා මලෙන් මලට වෙනස් විය හැක. වර්තමානයේ තෙලිදිය බෝතලයක අවම මිල රුපියල් සියය ඉක්මවයි. තෙලිදියට මණ්ඩි ස්වල්පයක් එක් කිරීමෙන් රා නිපදවනු ලබයි. තෙලිදිය යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන පිරිසිදු කිතුල් පැණි බෝතලයකට මිල රුපියල් 1000 – 1300 කි. දිනකට පිරිසිදු කිතුල් පැණි බෝතලයක් නිෂ්පාදනය කරන අයෙකුට ඒ සඳහා තෙලිදිය බෝතල් අටක් පමණ වැය කර, වැඩි ආයාසයක් දරා රුපියල් 1000 – 1300 මුදලක් උපදවද්දී, කිතුල් රා ලෙස අලෙවි කිරීම ඊට වඩා බොහෝ සෙයින් ලාභදායි මෙන්ම පහසු කර්මාන්තයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ වන විට කිතුල් රා බෝතලයක මිල ආසන්න වශයෙන් රුපියල් 300 – 350 අතර වේ. මේ නිසා කිතුල් රා විකිණීම වඩා ලාභදායී කර්මාන්තයක් බව සරත් නන්ද මහතාගේ අදහසයි. එහෙත්, ග්‍රාමීය ජනතාව තුළ පවත්නා පටු ආකල්ප රා කර්මාන්තයට බාධා ඇති කරන බව ඔහු පෙන්වා දෙයි.

“කිතුල් රා වලට විරුද්ධ ගමේ සුචරිතවාදියෝ බාර්වලට විරුද්ධ නෑ.. “සරත් නන්ද මහතා වැඩි දුරටත් කියා සිටී.

කිතුල් නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරන 27 හැවිරිදි දෙනියායේ අෂේන් මධු මාධව කිතුලෙන් ඉහළට ගිය තරුණ ව්‍යාපාරිකයෙකි. තේ කර්මාන්ත ශාලාවක ගණකාධිකාරවරයෙක් ලෙස ඉහළ වැටුපකට හිමිකම් කී අෂේන්, කොවිඩ් සමයේ සිය රැකියාව අතහැර, සිය පියා කර ගෙන ගිය කිතුල් පැණි හා කිතුල් හකුරු නිෂ්පාදනයට අතපොවන්නේ, රුපියල් 5000 ක් වැනි සොච්චම් මුදලකිනි. එසේ ආරම්භ කළ කුඩා ව්‍යාපාරය මේ වන විට රටට ඩොලර් ගෙන එන ග්‍රාමීය කර්මාන්තයක් බවට පත්ව ඇත.

අෂේන් විසින් මේ වන විට ඔස්ටේ්‍රලියාව, සිංගප්පූරුව ඇතුළු රටවල් කිහිපයකටම කිතුල් පැණි හා හකුරු අපනයනය කරන සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඒ මගින් ඔහු මසකට ඩොලර් තුන්දහසකට වඩා මෙරටට ගෙන එනු ලබයි. ඔහු, මේ වන විට සෘජු හා වක්‍ර රැකියා තිහකට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබේ. අෂේන් යටතේ සේවය කරනු ලබන තරුණ කිතුල් ගොවීන් කිහිප දෙනකුම මාසිකව රුපියල් එක්ලක්ෂ පනස් දහස ඉක්මවා උපයා ගන්නා බව කියන්නේ, මහත් ආඩම්බරයෙනි.

කිතුල් කර්මාන්තය පදනම් කරගත් ව්‍යාජ නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීම ක්‍ෂේත්‍රයේ නිරත පිරිස් මුහුණ දෙන බරපතළ ගැටලුවකි. සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිටි ලංකාගම, වාරුකන්දෙනිය, පිටදෙනිය වැනි ප්‍රදේශවල වැඩි පිරිසකගේ ජීවනෝපාය කිතුල් කර්මාන්තය වුවද, ලංකාගමට වඩා අඩු මුදලකට කිතුල් පැණි බෝතලයක් කොළඹින් මිලදීගත හැකි බව ලංකාගම චම්පා විජේරත්න මහත්මිය කියන්නීය. ඒ ආදේශක කිතුල් පැණි මිස පිරිසිදු කිතුල් පැණි නම්, නොවේ. තවලම, හිනිදුම වැනි ප්‍රදේශයන්හි ඇතැම් ප්‍රකට පැණි හා හකුරු ව්‍යාපාරිකයන්, සතියකට වරක් සීනි මිටි තොග වශයෙන් සිය කර්මාන්ත ශාලාවලට රැගෙන ගෙන යන බව ඇය කියන්නේ, සමච්චලයට මෙනි. නියම කිතුල් පැණි හා සීනි කලවම් කිතුල් පැණි හඳුනාගත හැකි තාක්ෂණික ක්‍රමවේදයක් රජය හඳුන්වා දිය යුතු බව ඇයගේ අදහසයි.

කිතුල් එපා කියන අයට අතුල් පහරක්…පහේ පංතියට ගිය රුහුණේ කිතුල් කථිකාචාර්ය

සිංහරාජයට මායිම් වූ ලංකාගම සංචාරක ආකර්ෂණය සහිත ප්‍රදේශයකි. සිංහරාජය හා ඒ අවට ඇති දර්ශනීය දිය ඇලි, නොයිඳුල් ස්භාවික පරිසරය නැරඹීමට අති විශාල සංචාරකයන් පිරිසක් දිනපතා ලංකාගම හරහා ගමන් කරති. ලංකාගම වැසියන්ගේ නිෂ්පාදන සෘජුවම පාරිභෝගිකයනට අලෙවි කිරීමට පහසුකම් රජයට සැලසිය හැකිනම්, තත්ත්වයෙන් බාල කිතුල් නිෂ්පාදන පාරිභෝගියන් අතට පත්වීම වැළැක්වීම මෙන්ම අතරමැදියන් නොමැතිව සිය නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගියන්ට ලබා ගැනීමේ හැකියාවද හිමිවන බව ගම්මුන්ගේ අදහසයි.

“රජය මැදිහත් වෙලා කිතුල් පැණි, හකුරු සුපිරි වෙළෙඳසල් වලට අපේ නිෂ්පාදන හැටියට කෙළින්ම අලෙවි කර ගත හැකි තත්ත්වයක් හදලා දෙනවා නම්, ඒ වගේම සිංහරාජේ සංචාරක කලාපේ අපිට වෙළෙඳ කුටි ලබා දෙනවා නම්, මේක මීට වඩා හොඳින් කර ගෙන යන්න පුළුවන්.. “චම්පා විජේරත්න මහත්මිය වැඩිදුරටත් කියා සිටී.

මෙම වෘත්තියේ නිරතවූවන් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට රජය කටයුතු කරන බව අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර ඇතත්, එය මෙතෙක් ක්‍රියාත්මක වී නැත. එවැනි රක්ෂණ ක්‍රමයක් මෙම කර්මාන්තය ඉලක්ක කර ගනිමින් හඳුන්වා දෙන්නේ නම්, එය තම පවුලේ අනාගත සුරක්ෂිතභාවයට මහඟු පිටිවහලක් වනු ඇති බව කිතුල් කර්මාන්තකරුවන්ගේ අදහසයි. වර්ෂා සමයේ හා අකුණු සර පවතින කල මෙම රැකියාව ඉතාමත් අවදානම් සහගත කටයුත්තක් බව ඔවුන්ගේ අදහසයි.

පහේ පංතියෙන් පාසල් ගමන අවසන් කළ හිනිදුම ටියුඩර් කොඩිතුවක්කු මහතා මේ වන විට රුහුණ විශ්වවිද්‍යාලයේ කිතුල් ගස් මැදීම පිළිබඳ කතිකාචාර්යවරයෙකි. ඒ මෑතකදී රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය විසින් ආරම්භ කළ කිතුල් ආශ්‍රිත පාඨමාලාවේය. ඔහු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන තුළින් නවමං සොයා යන්නෙකි. ඔහු විසින් මේ වන විටත් සැකසූ කිතුල් විනාකිරි, සිරප්, ජෑම් හා කිතුල් පිටි සඳහා වෙළෙඳ පොළේ ඇත්තේ, ඉතාමත් ඉහළ ඉල්ලුමකි.

හිනිදුම ටියුඩර් කොඩිතුවක්කු මහතා සතු දැනුම නව පරම්පරාවට ලබා දීමට රුහුණ විශ්වවිද්‍යාලය ගෙන ඇති පියවර අගනේය. විද්‍යාර්ථීන්ගේ න්‍යායාත්මක දැනුම හා වෘත්තියේ නිරතවූවන්ගේ භාවිතයේ අත්දැකීම් මුහුවී මෙම පාඨමාලාව සැකසී තිබීම මෙහි ඇති විශේෂත්වයයි. ලකුණෙන් දෙකෙන් විශ්වවිද්‍යාල වරම් අහිමි වන දහස් සංඛ්‍යාත සිසුන් තරුණ වියේදීම සිය අධ්‍යාපනය නිම කරද්දී, වැස්සකටවත් පාසලකට ගොඩ නොවූ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල බොහෝ පිරිසක් මේ වන විට රුහුණ විශ්වවිද්‍යාලයේ කිතුල් ආශ්‍රිත පාඨමාලාවට යොමු වී ඇත්තේ, කිතුල් කර්මාන්තයේ හෙට දවස පිළිබඳ සුබ සිහින විවර කරමිනි.

කිතුල් එපා කියන අයට අතුල් පහරක්…පහේ පංතියට ගිය රුහුණේ කිතුල් කථිකාචාර්ය

“මේ සිංහරාජේ ඕන තරම් කිතුල් ගස් තියෙනවා.. මේක දියුණු කරන්න පුළුවන් කර්මාන්තයක්. හැබැයි, නිලධාරීන් ශීත කාමරයේ ඉඳලා කිතුල් ගහ යටට එන්න ඕනේ. තරුණ පිරිස අතර විශ්වාසයක් ගොඩ නගන්න පුළුවන්නම්, තාක්ෂණය හඳුන්වලා දෙන්න පුළුවන්නම්, මේ කර්මාන්තය දියුණු කරන එක මහ දෙයක් නෙවෙයි.”

කිතුල් කර්මාන්තයට තරුණ පිරිස් යොමු නොවීමත්, නව තාක්ෂණය භාවිත නොකිරීමත් හේතුවෙන් යම් පසුගාමි තත්ත්වයක් පැවතියද, සමස්තයක් ලෙස මේ වන විටත් කිතුල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම රජය විසින් ආරම්භ කර ඇති බව තවලම සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී. ඒ. බී. මධුභාෂීනී මහත්මිය කියා සිටී. මේ වන විට කිතුල් රා මැදීම සම්බන්ධයෙන් පවතින නීතිරීති සංශෝධනය කළ යුතු පමණක් නොව, කිතුල් කර්මාන්තය සම්ප්‍රදායිකත්වයෙන් බැහැරට ගෙන යායුතු බව නෙළුව ප්‍රාදේශීය ලේකම් ශාන්ත ප්‍රියදර්ශන මහතාගේ අදහසයි. කිතුල් කර්මාන්තයේ නිරතවූවන්ගේ අභිවෘද්ධිය සඳහා වූ වැඩසටහන් රැසක් මේ වන විටත් රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින බව ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටී.

මහාචාර්ය නිලන්ත ලියනගේ මහතා රුහුණ විශ්වවිද්‍යාලය විසින් මෑතකදී ආරම්භ කළ කිතුල් ආශ්‍රිත පාඨමාලාවේ නිර්මාතෘවරයායි. අප රටේ අභාවයට යමින් පවතින කිතුල් කර්මාන්තය යළි නගා සිටුවා ඒ මගින් විවිධ නිෂ්පාදන හඳුන්වා දීම, ඒ මගින් රටට විදේශ විනිමය උපදවීම සහ කිතුල් කර්මාන්තය හරහා ග්‍රාමීය ජනයා ව්‍යසායකයන් බවට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව මහාචාර්යවරයා අවධාරණය කරයි. මහාචාර්ය නිලන්ත ලියනගේ මහතා කිතුල් කර්මාන්තය පිළිබඳ ප්‍රමිතියක් ඇති කිරීමට රජය විසින් පත්කර ඇති කමිටුවේ සාමාජිකයෙකු වන අතර, ආහාර විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික උගතෙකි. ඔහු කියන අන්දමට පොල් ගස මෙන් කිතුල් ගසද කප් රුකකි. ඒ හරහා කළ හැකි නිෂ්පාදන බොහෝය.

“දැනටමත් අපි කුරුඳු වලින් විස්කි වර්ගයක් හදලා තියෙනවා. කිතුල් රා වලින් අපිට ඒක ඊට වඩා හොඳට කරන්න පුළුවන්. ඒ සඳහා සියලු පර්යේෂණ කිරීමේ හැකියාවන් අපේ විශ්වවිද්‍යාලය සතුව තිබෙනවා. එහෙම දෙයක් කළොත්, චිවාස් රීගල්, වොඩ්කා, බකාඩි, ජොනිවෝකර් වගේ බ්‍රෑන්ඩ් එකක් අපිටත් ලංකාවෙන් ලෝකෙට යවන්න හැකියාව තියෙනවා. ඒ හරහා ග්‍රාමීය ජනයා රටට ඩොලර් උපද්දවන ව්‍යසායකයන් බවට පත් කිරීමේ හැකියාව තියෙනවා..”

මංගලනාත් ලියනආරච්චි
ත්‍රීකුණාමලය.

advertistmentadvertistment
advertistmentadvertistment