‘අපි නොදන්න’ පැන්ඩෝරා පේපර්ස්

570

‘පැන්ඩෝරා පත‍්‍රිකා’ එළිදැකීමත් සමග පැන්ඩෝරා යන වචනය ද බොහෝ ප‍්‍රකට වී ඇත. එම වචනය බිඳී ආවේ ග‍්‍රීක මිථ්‍යා කතාවල ඇති පැන්ඩෝරා බඳුනෙනි. මෙම බඳුන විවෘත කළ විට ලෝකයට අනපේක්ෂිත අනර්ථයක්, විනාශයක් වන බවට විශ්වාසයක් විය. ඒ නිසා එය විවෘත නොකළ යුතු දෙයක් ලෙස සැලකෙයි. ‘පැන්ඩෝරා පෙට්ටිය’ විවෘත නොකළ දෙයක් බවට සැලකුණත් දැන් මේ පැන්ඩෝරා පත‍්‍රිකා හෙළිදරව් වී අවසන්ය.

හිටපු සහ වත්මන් ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ධනවතුන්ගේ මුදල් හා ගනුදෙනු පිළිබඳ රහස්‍ය තොරතුරු රැසක් මේ පත‍්‍රිකා මගින් අනාවරණය වී ඇත. මෙය විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්ව ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත. ‘පැන්ඩෝරා පත‍්‍රිකා’ ලෙස මෙම ලිපි ගොනු නම් කර තිබෙන අතර එමගින් විවිධ රටවල ප‍්‍රමුඛ පෙළේ පුද්ගලයින් රැසකට අදාළ හෙළිදරව් කිරීම් රැසක් සිදුව ඇත. මේ පත‍්‍රිකා හෙළිදරව් කළේ ජාත්‍යන්තරගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය (International Consortium of Investigative Journalists – ICIJ) විසිනි. නොයෙකුත් වංචනික ක‍්‍රියා මගින් උපයාගත් ධනය සැඟ වූ දේශපාලනඥයින් හා ප‍්‍රකෝටිපතියන්ගේ ගනුදෙනු පිළිබඳ රහස් තොරතුරු මෙම පත‍්‍රිකා මගින් හෙළි වීමත් සමග ලෝකයේ රටවල් රැසක්ම කිසියම් කැළඹීමකට පත්ව තිබේ. මේ නිසාම ජාත්‍යන්තර මාධ්‍යයේ මේ දිනවල ප‍්‍රධාන මාතෘකාවක් බවට ද මෙය පත්ව තිබේ.

මේ දිනවල අපේ රටේ ද මේ ‘පැන්ඩෝරා පත‍්‍රිකා’ ගැන බොහෝ කතාබහ සිදු වෙමින් තිබේ. මේ නවතම වාර්තාවට අනුව ලොව ප‍්‍රධාන පෙළේ පුද්ගලයින්ගේ රහසිතග ගනුදෙනු, මුදල් විශුද්ධිකරණය හා බදු ගෙවීම් පැහැර හැරීමට අදාළ ලේඛන මිලියන ගණනක ප‍්‍රමාණයක් ඇතුළත් වේ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ සහ ඔහුගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඬේෂන් යන දෙදෙනාගේ නම් ද මෙහි සඳහන් වීම නිසා අපේ රටේ ද බලවත් ලෙස මෙය කතාබහට ලක්වීමට හේතු වී තිබේ. ඔවුන් රටවල් කිහිපයක ආයතන පිහිටුවා ඇති බවත් ඉන් එක් ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත්තේ ලන්ඩන් නුවර සහ ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණ මිලදී ගැනීම සඳහා බවත් ‘පැන්ඩොරා වාර්තා’ මගින් අනාවරණය කර ඇත. ශ‍්‍රී ලංකා රජය සමග ව්‍යාපාරික ගනුදෙනු සිදු කළ විදේශීය ආයතන කිහිපයකට තිරුකුමාර් නඬේෂන් මහතාට අයත් තවත් එක් සමාගමකින් උපදේශන සේවා සපයා ඇති බව ද පැන්ඩෝරා ලේඛනවල සඳහන් බවට අනාවරණය වී ඇත. මේ කරුණු පිළිබඳව ප‍්‍රතිචාර දැන ගැනීමට එම ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය තිරුකුමාර් නඬේෂන් සහ ඔහුගේ බිරිඳ වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ යන අය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔවුන් ප‍්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටි බවත් මුලින් සඳහන් විය. එහෙත් ඔවුන් පසුව ඊට ප‍්‍රතිචාර දැක් වූ බව ද සඳහන් ය.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඬේෂන් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ඉකුත් 08 වැනිදා පැමිණ තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබේ. ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් පසුගියදා සිදුකළ පැන්ඩෝරා පත‍්‍ර හෙළිදරව්ව මඟින් නඬේෂන් මහතාගේ නම ද අනාවරණය කර තිබූ අතර ඒ ගැන දැන් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් කරමින් තිබේ. එම විමර්ශනය සඳහා ප‍්‍රකාශයක් ලබාදීමට තිරු නඬේෂන් මහතා කොමිසම හමුවේ පෙනී සිට තිබේ. පැන්ඩෝරා පත‍්‍ර හෙළිදරව්වේ සඳහන් ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පසුගියදා නියෝග කළේය. තිරුකුමාර් නඬේෂන් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව එම කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය මාධ්‍යයට පවසා තිබුණි. පැන්ඩෝරා වාර්තාවෙන් එළිදක්වා තිබුණේ වර්ෂ බොහෝ කලකට පෙර තිරු නඬේෂන්ගේ ගනුදෙනු ගැනය. එවකට පැවතියේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව නොවේ. එහෙත් ආණ්ඩු කාලය කුමක් වුවත් මේවා හෙළිදරව් වන්නේ දැන්ය. ඒ නිසා මේ ගැන පරීක්ෂණ සිදු කිරීමට වන්නේ වර්තමාන ආණ්ඩුව යටතේය. මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතුය. නිරූපමා රාජපක්ෂ නඬේෂන්ගේ බිරිඳ නිසා රාජපක්ෂ නාමය හේතුවෙන් මේ ගැන මේ දිනවල බොහෝ දේශපාලන විවේචන සිදුවෙමින් තිබේ. හෙළි නොකළ වත්කම් භාවිත කරමින් විවිධ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් පැන්ඩෝරා පත‍්‍රිකා මගින් හෙළිදරව්ව කර තිබුණි. ඒ අනුව ලෝකයේ විවිධ ක්‍ෂේත‍්‍රයන් නියෝජනය කළ පුද්ගලයන් තමන්ගෙ ධනය රහසිගතව වෙනත් රටවල ආයෝජනය කිරීම පිළිබඳව පැන්ඩෝරා පත‍්‍රිකා මගින් අනාවරණය කර තිබිණි. මෙම වාර්තාවේ ලොව පුරා ප‍්‍රසිද්ධ රාජ්‍ය නායකයින්, ක‍්‍රීඩකයන්, කලාකරුවන් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන පුද්ගලයන් විශාල ප‍්‍රමාණයකගේ නම් සඳහන්ව ඇති අතර ඒ ගැන දැන් ප‍්‍රසිද්ධියට පත්ව ඇත. එසේම ඒ සඳහා චෝදනා එල්ල වූ අයගේ ප‍්‍රතිචාර ද ලැබී තිබේ. මීට පෙර ලෝකයම වික්ෂිප්ත කළ පැනමා පත‍්‍රිකාවල ද ලංකාවේ අයගේ නම් සඳහන් විය.

හිටපු රාජ්‍ය නායකයින් සහ දැනට බලයේ සිටින රාජ්‍ය නායකයන් 35 දෙනෙකු ඇතුළු 300 කට අධික රටවල ප‍්‍රමුඛ පෙළේ අයගේ රහසිගත තොරතුරු පැන්ඩෝරා වාර්තාවලින් හෙළි කර තිබේ. පැන්ඩෝරා ලේඛනවල සඳහන් වන පරිදි ජෝර්දානයේ අබ්දුල්ලා රජු රහසිගත හිමිකාරත්වය දැරූ සමාගම් තුළින් ඉපයූ පවුම් මිලියන ගණනක මුදලක් ඇමරිකාවේ සහ බි‍්‍රතාන්‍ය වත්කම්වලට වැය කර තිබේ. බි‍්‍රතාන්‍යයේ හිටපු අග‍්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ ලන්ඩන් නුවර කාර්යාලයක් මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු මුදලක් වංචා කර ඇති බවද මෙහි සඳහන් ය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නම ද මේ ලේඛනවල සඳහන්ය. ඉන්දියාවේ දේශපාලනඥයින් පිරිසකගේ රහස්‍ය ගනුදෙනු ද එම ලේඛනයේ සඳහන් වේ. මේ පැන්ඩෝරා පත‍්‍රිකා ගැන ඉතා ඉක්මනින්ම ප‍්‍රතිචාර දැක්වූ රාජ්‍ය නායකයකු වන්නේ පාකිස්ථානයේ අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ය. එරට රජය හා සම්බන්ධ දේශපාලනඥයින්ගේ නම් ද පැන්ඩෝරා ලේඛනවල දැක්වේ. මේ ගැන වහාම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා වහාම සඳහන් කළේ මෙම ලේඛනවල නම් ඇතුළත් සියලූම පාකිස්ථාන ජාතිකයින් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන බවයි. අදාළ විමර්ශනයෙන් ඔවුන් වැරදිකරුවන් ලෙස හෙළිදරව් වුවහොත් ඔවුන්ට එරෙහිව නිසි ක‍්‍රියා මාර්ග ගන්නා බවද පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා ඔහුගේ එම ට්විටර් පණිවිඩයේ සඳහන් කළේය. මාධ්‍ය විමසන තුරු හෝ විපක්ෂය බලපෑම් කරනතුරු හෝ නොසිට මෙසේ රාජ්‍ය නායකයන් කටයුතු කළ යුතු වේ. මේ නිසා අපත් කියන්නේ පැන්ඩෝරා ලේඛනයෙන් අනාවරණ වී ඇති අපේ රටේ තොරතුරු ගැන වහාම පරීක්ෂණයක් සිදුකර ඒ බව තහවුරු වන්නේ නම් ඒ සඳහා අදාළ නීතිමය පියවර ගත යුතු බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment