ලෝක කඳුකර දිනය අදයි

192

මතු අනාගතය වෙනුවෙන් කඳුකරයේ සුන්දරත්වය සුරකිමු

පෘථිවියේ පවතින භූගත ජලය හා ගංගාවල ජල උල්පත් සඳහා මනා රැකවරණයක් ලබාදෙන කඳුකරය මිනිස් ජීවිතයේ පැවැත්ම උදෙසා මනා පිටුවහලකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විවිධ පරිසර පද්ධතිවලට අදාළව අන්තර් ජාතික දින ප්‍රකාශයට පත්කර ඇත. දෙසැම්බර් (11) වන අද දිනට යෙදෙන අන්තර් ජාතික කඳුකර දිනය ද එවන් සුවිශේෂී දිනයකි. (2003) වසරේ සිට අන්තර් ජාතික කඳුකර දිනය ලොව පුරා රටවල් රැසක සැමරේ. ජීවයේ පැවැත්ම සඳහා කඳුකරයේ ඇති වැදගත්කම සහ කඳුකර පරිසර පද්ධති සංරක්‍ෂණය කිරීමටත්, සංවර්ධනය තුළින් විවිධ ප්‍රතිලාභ අත්පත් කර ගැනීමටත් ජනතාවගේ අවධානය යොමු කිරීම මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ මූලික අරමුණ වී ඇත.

සෑම වසරකම කාලීන වශයෙන් වැදගත් වන තේමාවන් යටතේ අන්තර් ජාතික කඳුකර දිනය සැමරේ. ‘කඳුකර පද්ධති ප්‍රතිස්ඨාපනය කිරීම’ (Restoring Mountain Ecosystems) මෙම වසරේ ලෝක කඳුකර දිනයේ තේමාවයි. ජාත්‍යන්තර කඳුකර දිනය සැමරීම සඳහා ලෝකයේ විවිධ සංවිධාන කඳු මූලික කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවනු දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජල පෝෂකය වශයෙන් මධ්‍යම කඳුකරය ක්‍රියා කරයි. මෙරට කඳුකරයේ ඇති චමත්කාරය සහ සුන්දරත්වය හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයක් කඳුකර කලාප වෙත යොමුවී ඇත. එමඟින් එම ප්‍රදේශවල ජනතාවට සැලකිය යුතු ආදායමක් ලැබෙන අතර විදේශ විනිමයද මෙරට තුළට ගලා එයි. මෙරට කඳුකර කලාපයටම ආවේණික වූ සංස්කෘතික වැදගත්කමක් පවතින අතර එය පාරිසරික මෙන්ම ආර්ථික වශයෙන්ද ඉතා වටිනා සම්පතකි.

ඉතාමත් චමත්කාර ජනක ජෛව විවිධත්වයකින් සහ ආර්ථික වශයෙන් වැදගත් වන කඳුකර ප්‍රදේශ අද තර්ජනයට ලක්වී ඇති බව නොරහසකි. මේ හේතුවෙන් කඳුකර ප්‍රදේශ ජෛව විවිධත්ව හායනය, ජාන හීනවීම, නාය යෑම්, ජල හිඟය සහ පාංශු ඛාදනය වැනි විවිධ බලපෑම්වලට ලක්වී ඇත. නිසි කළමනාකරණයෙන් තොරව සිදුකරන කෘෂිකාර්මික කටයුතු වන විනාශය අවිධිමත් සංචාරක ක්‍රියාකාරකම්, අවිධිමත් ලෙස පතල් කැණීම සහ පරිසර විනාශය මෙයට හේතු වේ. මෙවැනි ක්‍රියා හේතුවෙන් කඳුකර ප්‍රදේශයට ආවේණික වූ ජෛව විවිධත්වය සහ විවිධ සංස්කෘතීන් පරිහානියට ලක්වේ.

පාරිසරික වශයෙන් සහ ආර්ථික වශයෙන් වැදගත්කමක් පවතින සුන්දර කඳුකරය ආරක්‍ෂා කර ගැනීම ලෝකවාසී සියලු ජනයාගේ වගකීමක් සහ යුතුකමක් බව අවධානය යොමු කළ යුතුය. එබැවින් ජීවයේ පැවැත්මට මහඟු අත්වැලක් වන සුන්දර කඳුකර ප්‍රදේශය සුරැකීමේ ජාතික කාර්යයේ කොටස්කරුවන් ලෙස ක්‍රියාකර කඳුකර පරිසරය සුරක්‍ෂිත කර ගැනීමට දායක වෙමු.

ජේ. ඒ. කසුනි සසිකලා මධුෂානි
ජන සන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment