සෙනසුරු ඒරාෂ්ටකය හඳුනාගමු

2238

නවග්‍රහයන් අතුරින් බහුතරයක් ජනතාව වැඩි ම භීතියක් දක්වන ග්‍රහයා සෙනසුරු ය. එය එසේ වීමට හේතුවූයේ පාප ග්‍රහයන් අතරින් සෙනසුරු තදබලව පාපී ග්‍රහයා වීම ය. එසේම සෙනසුරු දුකට අධිපති ග්‍රහයා ය. ග්‍රහලොව හෙමින්ම ගමන්කරන ග්‍රහයා ද සෙනසුරු ය. එපමණක් නොව, නෛසර්ගික බලය හෙවත් ස්වභාවික බලය අතින් අඩු ම ග්‍රහයා ද සෙනසුරු ය.

බොහෝ දෙනෙක් ජන්ම පත්‍රයක් පරීක්‍ෂා කරවා ගැනීමට ජ්‍යොතිෂ්‍යවේදියකු වෙත යන්නේ යම් අපලයක් ඇත්දැයි දැන ගැනීමට ය. වචනාර්ථයෙන් බලන කල ඵල නැතිවීම අපලය ලෙස අර්ථකථනය කළ හැක. සාමාන්‍යයෙන් බහුතරයක් මනුෂයෝ ඒරාෂ්ට අපලවලට ඉතා ම දැඩි බියක් දක්වති. බොහෝ දෙනකුට ඒරාෂ්ටක අපල කාලයක් ලැබුවහොත් ඉතාම කටුක පරාජිත අයහපත් වේදනාකාරී නීරස අත්දැකීම්වලට නිතැතින්ම මුහුණ දීමට සිදුවේ. කෙසේ වෙතත් සපලය මෙන් නොව අප කාහටත් අපලය නම් හොඳාකාරව ම දැනේ.

සෙනසුරු ඒරාෂ්ටකය හඳුනාගමු

අපල යනු පෙර අත්බැව්වල දී අප විසින් ම කළ අකුසල කර්මයන්ට අනුරූපව මනුලොව දී ලබන අපරාපරියවේදනීය ප්‍රවෘත්ති විපාකයන් ය. පෙර ආත්මභාව වල බරපතළ අකුසල කර්ම කළ අයගේ කේන්ද්‍රවල සෙනසුරු නීච, සතුරු ආදී ලෙසට දුබලව පිහිටයි. එසේම සෙනසුරුගේ නීචය භංග ද නොවේ. සෙනසුරු මිත්‍ර ස්වක්ෂේත්‍ර ආදීවූ බලයකින් සිටින්නේ පෙර ආත්මවල අකුසල කර්ම අඩුවෙන් කළ අයගේ කේන්ද්‍රවල ය.

ශනි ග්‍රහයා අශුභයෙකු වුවද ඉතා ම සුබඵල දෙන අවස්ථා ද බොහෝ ය. ශනි උච්ච ස්වක්‍ෂේත්‍ර රාශි ගතවී කේන්ද්‍ර ස්ථානයක සිටින විට පංච මහා පුරුෂයෝගයක් වන සස යෝගය උදා කරයි. එසේම ශනි 3, 6, 10, 11 යන උපචය ස්ථාන වලට සුබ ඵල දේ. ශනි ග්‍රහයා කේන්ද්‍ර මෙන්ම ත්‍රිකෝණ ස්ථාන අධිපතිවූ විට ද සුබ ඵල දේ. ලග්නාධිපති වූ ශනි ද අශුභයකු සේ නො සැලකේ. තවද ශනි 7 වැන්නට දික්බල වන අතර වෘෂභ තුලා ලග්නවලට යෝග කාරක ද වේ. එපමණක් නොව, ශනි 6, 8, 12 අධිපතියකු වී විපරීත රාජ යෝගයක් පවා ඇති කළ හැකි ග්‍රහයෙකි.

යම් කේන්ද්‍රයක ශනි දුබලව සිටින විට ද 22 වැනි දෙර්කානාධිපති 64 නවාංශකාධිපති හෝ බාධක ග්‍රහයා හෝ වනවිට ද ඉතා ම අශුභ ඵල දේ. ශනි 6, 8, 12 ට කාරක වන අතර 2, 6, 10 යන අර්ථ ත්‍රිකෝණයට ද කාරක වේ. කෙසේ වුවද සෙනසුරු ඒරාෂ්ටකයක් නරක ලෙසට ලැබුවහොත් සිත් තැවුල්පීඩා, අසහනකාරී බව, සතුරු කරදර, අභූත අස්ථාන චෝදනා, අධ්‍යාපනය කඩාකප්පල්වීම, ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම්, විවාහ දෙදරායෑම්, රැකියා අහිමිවීම්, ලෙඩ රෝග, රෝහල්ගතවීම්, ඥාති වියෝග, භූත දෝෂ, ඇස්වහ, කටවහ, ආර්ථික අහේනි, නඩුහබ, සිරගතවීම්, අත්පා බිඳීම්, ස්නායු ආබාධ වැනි මෙකී නොකී බොහෝ කටුක අත්දැකීම්වලට අකමැත්තෙන් වුවද මුහුණ දීමට සිදුවේ.

සෙනසුරුගේ ගමන හෙවත් ගෝචරය හේතුවෙන් ඒරාෂ්ටක අපල ඇති වේ. එසේ ඇතිවන්නාවූ ඒරාෂ්ටක අපල වර්ග සතරකි. එනම් ලග්න ඒරාෂ්ටකය, අෂ්ටම ඒරාෂ්ටකය, ජන්ම ඒරාෂ්ටකය හා චන්ද්‍රාෂ්ටම ඒරාෂ්ටකයයි. සෙනසුරු රාශි චක්‍රයේ රාශි 12 පසු කිරීම වසර 30 ක් ගත කරයි. එනම් සෙනසුරු වසර 2 1/2 ක් එක් රාශියක ගත කරයි. ඒ ඒ ඒරාෂ්ටක වර්ගය අනුව එය ඵල දෙනකාල සීමා ද වෙනස් වේ.

ලග්න ඒරාෂ්ටකය – ලග්නයෙන් 12 වැන්නේ, ලග්නයේ හා ලග්නයෙන් දෙවැන්නේ සෙනසුරු ගෝචාරය ලග්න ඒරාෂ්ටකය ලෙස හැඳින්වේ. මෙයට සත් අවුරුදු ලග්න ඒරාෂ්ටකය ලෙස ද සඳහන් ය. මෙයට වසර 2 1/2 බැගින් ඉහත රාශි තුනට අනුරූපව වසර 7 1/2 ක කාලයකි. එහෙත් අපලයේ තදබලම කාලසීමාව ලෙස ගැනෙනුයේ වසර 7 1/2 තුළ මැදට හසුවන වසර 5 ක පමණ කාලයකි. එනම් ලග්න ඒරාෂ්ටකය ආරම්භ වී අවුරුදු 1 1/4 පමණ ගෙවී යන විට අපලයේ තදබල කොටස ආරම්භ වේ. එලෙස ආරම්භ වූ දැඩි අපලය ලග්න ඒරාෂ්ටකය අවසන් වීමට අවුරුදු 1 1/2 පමණ ඉතිරි වන තුරුම පවතී.

වසර 2 1/2 ක් බැගින්වූ ශනි ගෝචරය

ජන්ම ලග්නය මකර, කුම්භ, තුලා, ධනු, මිථුන, කන්‍යා වැනි ශනිට හිතකර රාශියක් නම් එවැනි ලග්න හිමියන්ට ඒරාෂ්ටකයේ බලපෑම නො ගැනිය හැකි තරම් ය. එහෙත් කටක, සිංහ, වෘශ්චික, මේෂ වැනි ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ටකය තදබල ලෙස අපලකාරී ය.

අෂ්ටම ඒරාෂ්ටකය – ශනි ග්‍රහයා ලග්නයෙන් 8 වැන්නට ගෝචරයෙන් පැමිණීම අෂ්ටම ඒරාෂ්ටකය යි. එම 8 වැන්නේ ගත කරන වසර 2 1/2 ක කාලය තුළ මෙම අපලය ඵලදේ. අපලය දැඩිවන්නේ ලග්නයෙන් 8 වැන්න කටක, සිංහ, වෘශ්චික, මේෂ වැනි සෙනසුරුට අහිතකර රාශියක් වී කේන්ද්‍රයේ ශනි ග්‍රහයා ද දුබල වූ විට ය.

වසර 2 1/2 ක ශනි ගෝචරය

ජන්ම ඒරාෂ්ටකය – මෙය චන්ද්‍ර ඒරාෂ්ටකය ලෙස ද හැඳින්වේ. උප්පත්ති චන්ද්‍රයාගෙන් 12 වැන්නට, චන්ද්‍රයා සිටින රාශියට හා චන්ද්‍රයාගෙන් දෙවැන්නට ශනි ගෝචරයෙන් පැමිණීම ජන්ම ඒරාෂ්ටකය යයි. මෙය ද ලග්න ඒරාෂ්ටකය මෙන් වසර 7 1/2 ක කාලසීමාවකි. ඒරාෂ්ටක වර්ග සතර අතුරින් බරපතළ ඒරාෂ්ටකය ජන්ම ඒරාෂ්ටකයයි. මෙහිදී අපලය ඉතාම තීව්‍ර වන්නේ උප්පත්ති චන්ද්‍ර ස්ථුපයේ සිට 30 බැගින් දෙපසට අයත් වන සීමාව හරහා ශනි ගෝචරයෙන් ගමන් කරන අවුරුදු 5 ක පමණ කාලයක් තුළ ය. මෙහි දී සඳු සමග ශනි සතුරු බැවින් ඒරාෂ්ටක තත්ත්වය බලපායි. උප්පත්ති සඳු සිටින රාශිය සෙනසුරුට අහිතකර කටක, සිංහ, වෘශ්චික, මේෂ වැනි රාශියක් වුවහොත් අපලය ඉතා ම බරපතළ ය.

වසර 2 1/2 ක් බැගින්වූ ශනි ගෝචරය

චන්ද්‍රාෂ්ටම එරාෂ්ටකය – උප්පත්ති චන්ද්‍රයා කෙරෙන් 8 වැන්නේ සෙනසුරු ගෝචරයෙන් ගමන් කිරීම චන්ද්‍රාෂ්ටම ඒරාෂ්ටකය යි. එය වසර 2 1/2 ක කාලයකි. ඒරාෂ්ටක යන වදනේ නියම අරුත සඳුගෙන් 8 වැන්න යන්න ය. ඒරා යනු සඳුට පර්්‍යාය පදයකි. මෙහි දී සඳුගෙන් 8 වැන්නට යෙදෙන රාශිය ශනිට හිතකර රාශියක් නම් අපලයේ අශුභ ඵල ඇති නොවේ. මෙම ඒරාෂ්ටකය ද ප්‍රබල ඒරාෂ්ටකයක් සේ සැලකේ.

වසර 2 1/2 ක ශනි ගෝචරය

ජ්‍යොතිෂවේදයකුට කේන්ද්‍රයක් දුටු සැණින් ලග්නයට හා චන්ද්‍රයාගේ පිහිටීමට සාපේක්‍ෂව අට වැන්නද සලකා ශනි පිහිටි ස්ථානය අනුව කේන්ද්‍ර හිමියා ඒරාෂ්ටකයකින් ඉපදුණා ද යන වග සිතාගත හැකි. එසේම උපතේ දී ශනි සමග සඳු එකම රාශියේ හෝ යෑම ද දෙපස රාශි දෙකෙන් එකක නම් ජන්මියා උපත ලබා ඇත්තේ ජන්ම ඒරාෂ්ටකයෙනි. මෙය ලග්න ඒරාෂ්ටකය හෝ අෂ්ටම ඒරාෂ්ටකය සමග යෙදිය හැක. කෙසේ වෙතත් කන්‍යා, තුලා, මිථුන, වෘෂභ, මකර, කුම්භ ලග්නවලට අෂ්ටම ඒරාෂ්ටකය බලවත් නොවේ.

තවද යමෙකු ඉපදුණේ ඉහත සඳහන් ඒරාෂ්ඨක සතරින් එකකින් නම් නැවත වසර 30 කට පසු එම ඒරාෂ්ටකය යෙදෙන විට එය පළමුවර තරම් අපලකාරී නොවේ. එහෙත් උප්පත්ති සෙනසුරු මතට ගෝචරයෙන් සෙනසුරු පැමිණීමද අශුභය. එහිදී ශනි දුබල නම් ඉතාම අපලකාරීය. එපමණක් නොව තදබල දරුණු ඒරාෂ්ටකයක් පවතින විට ඒ සමගම නරක අයහපත් දශාවක් ලැබුවහොත් මාරක ඇතිවී මරණය පවා ගෙනදිය හැක. එසේම සෙනසුරුගෙන් යෙදෙන ඒරාෂ්ටකය අපලයක් සමඟ ශනිගේ හෝ සඳුගේ දශාවක් පවතී නම් අයහපත්ය. අපල වැඩිය. එම ශනි හෝ සඳු 22 වන දෙර්කානාධිපති හෝ 64 වැනි නවාංශකාධිපති වන්නේ නම් මාරක අපලදායකය. එනිසා ඉතාම ප්‍රවේසම් වීම ඥාණාන්විතය.

බොහෝ ජ්‍යොතිෂ පොතපතවල ජන්ම සහ අෂ්ඨම ඒරාෂ්ටක තරමක තදබල අපල ගෙන දෙන බව සඳහන්ය. උපතේදී සඳු ලග්නයේ හෝ 8 වැන්නෙහි සිටින අයට ඒරාෂ්ටක දෙකක් එකවර යෙදිය හැක. උපතේදී ලග්නයේ සඳු සිටින විට ගෝචරයෙන් ශනි පැමිණීමේදී ලග්න ඒරාෂ්ටකයත් චන්ද්‍ර ඒරාෂ්ටකයත් එකවර යෙදේ. එසේම උපතේදී 8 වැන්නේ චන්ද්‍රයා සිටින විට ජන්ම ඒරාෂ්ටකය හා අෂ්ඨම ඒරාෂ්ටකය යන දෙක එකවර යෙදේ. ඉහත සඳහන් ලෙසට ඒරාෂ්ටක යෙදෙන විට අපලය ඉතා තදබලය. කෙසේ වෙතත් සෙනසුරු ඒරාෂ්ටකයට බියවී පලක් නැත. කළ යුතු වන්නේ හැකිතාක් ධාර්මිකව කුසල කර්මවල යෙදීම, ශනි අපලවලට අදාළ වත් පිළිවෙත් පුදපූජා ආදිය භක්තිමත්ව ක්‍රමවත්ව සිල්වත්ව සිදුකිරීම ආදියයි. එවිට ඵලදෙන අපල බොහෝදුරට මග හරවා ගත හැක. නොඑසේ නම් අපලයේ දැඩි බව සමහන් කරගත හැක.

සෙනසුරු ඒරාෂ්ටකය හඳුනාගමු

ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය
මහේන්ද්‍ර පල්ලෙබැද්ද,
පානදුර.
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment