ඩී.ඇස්. සේනානායක විද්‍යාලයීය සම්ප්‍රදාය රටට අභිමානයක්!

113

ඩී.ඇස්. සේනානායක විද්‍යාලයීය 56 වැනි සංවත්සරය නිමිත්තෙනි

1967 සිට අද දක්වා දියුණු වෙමින් ආ කොළඹ, ඩී. ඇස්. සේනානායක විද්‍යාලය එවකට සිටි අධ්‍යාපන අමාත්‍ය අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මැතිඳුන් රාජකීය විද්‍යාලයට දරුවන් ඇතුළත් කර ගැනීමට පැවති අධික ඉල්ලුමට විකල්පයක් ලෙස මෙම පාසල නිර්මාණය කිරීමට යෝජනා කරන ලදුව ආර්. අයි. ටී. අලස් ගුරුපියාණන් මෙම පාසලේ ගමන් මග නිර්මාණය කළේ පළමු වෙනි විදුහල්පතිවරයා ලෙසිනි. 1967 පෙබරවාරි 10 දින සුභ මොහොතින් ආරම්භව “තමාට පෙර රට” යන ආදර්ශ පාඨයට අනුව යමින් මුළු මහත් සමාජයට උදාර සේවාවන් රැසක් සිදු කර උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, විද්‍යාඥයන්, මාධ්‍යවේදීන්, ක්‍රීඩකයන් හා දේශපාලනඥයන් ඇතුළු වටිනා රන් පුතුන් රැසක් දැයට දායාද කර ඇත. පනස් හය වසරක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම මා ලැබූ විශාල භාග්‍යයකි.

ඩී.ඇස්. සේනානායක විද්‍යාලයීය සම්ප්‍රදාය රටට අභිමානයක්!

ඩී.ඇස්. සේනානායක විද්‍යාලය මෙරට පාසල් අතරින් සුවිශේෂ වීමට හේතු ගණනාවක් තිබේ. අප පාසල ආරම්භයේ සිටම ජාතික, ආගමික සංහිඳියාව මුල් තැනක් දී කටයුතු සිදු කර ඇත. සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් විවිධ ජාතීන් සියලු දෙනාම එකම පාසල් භූමියක් තුළ කටයුතු කරන්නේ සමස්ත ශ්‍රී ලංකාවේ පැතිකඩක් නිරූපණය කරන්නාක් මෙන්ය. පාසල තුළ ඉදිකර ඇති බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමික ස්ථානයක් ඒකම පාසල් භූමියක ඉදි වී ඇති එකම පාසල ද මෙය වීම මෙහි ඇති විශේෂත්වයකි.

එදා ගුරු මෑණිවරු හා පියවරුන් 7 දෙනෙකුගෙන් ඇරඹි ආචාර්ය මණ්ඩලය අද වන විට ගුරු මෑණිවරුන් හා පියවරුන් 275 ඉක්මවා සිටි එදා මෙදා තුර, පාසල දෙවැනි නිවස ලෙස සලකා තමන්ගේ දරුවන් ලෙස සිසුන්ගේ නමින් නොව “පුතා” යන ළෙන්ගතු ආමන්ත්‍රණයෙන් ඇමතීම තවත් විශේෂත්වයකි. ඒ එම අධ්‍යාපනික දැනුම පමණක් නොව යහගුණයෙන් සුපෝෂිත කිරීම සඳහා මා හට මේ ආචාර්ය මණ්ඩලයෙන් ලැබෙන දායකත්වය ප්‍රශංසනීය වේ. මෙහිදී පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 දක්වා වන පැය 8 සේවයට පමණ සීමා නොවී

දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය සඳහා ගන්නා උත්සාහයන් රැසකි. පාසලක අධ්‍යාපන ප්‍රගතිය විනිශ්චය කරනු ලබන්නේ එම විදුහලේ සිසුන් මුහුණ දෙන ජාතික මට්ටමේ විභාග ප්‍රතිඵල තුළිනි. අද වන විට දිවයිනේ සියවසක් ඉක්මවා ඇති රාජකීය හා ආනන්ද විද්‍යාලවල විභාග ප්‍රතිඵල හා කරට කර සිටීමට අප විද්‍යාලය සමත්ව ඇත. එය මෙම පාසලේ සිටි හා සිටින ආචාර්ය මණ්ඩලයේ කැපවීම එයට හේතුව වී ඇත.

තවද ඉදිරි වසර කීපය තුළ දී මා බලාපොරොත්තු වන ඩී.ඇස්. සේනානායක නාමය දිවයිනේ අග්‍රගණ්‍ය පාසල් නාමාවලියේ ප්‍රමුඛස්ථානයට ගෙන ඒමටය. ඒ සඳහා මා ක්‍රියාත්මක කරන සැලසුම් අතර අ. පො. ස. (සා.පෙළ) ප්‍රතිඵලවල දැනට පවතින 96% සීමාව සමත් වීමේ ප්‍රතිශතය 100% දක්වා වැඩි කර සෑම දරුවෙකුට ම උසස් පෙළ හැදෑරීමට හැකියාව ඇති කිරීමටත් සා. පෙළ සමත් විශිෂ්ටයන් මේ පාසල තුළම රඳවා උ. පෙළ ප්‍රතිඵල ඉහළ නංවා විශ්වවිද්‍යාල වරම් ලබන ප්‍රතිශතය තවත් වැඩි කිරීමටය. ඒ සඳහා පාසල තුළ අවශ්‍ය සියලුම භෞතික සම්පත් මේ වන විට පාසලට දායාද වී ඇත. අපේ පාසලේ නිර්මාතෘ මුල් විදුහල්පති ආර්. අයි. ටී. අලස් විදුහල්පති ගුරුපියාණන් පැවසුවේ විද්‍යාලයේ සිසු, ගුරු, දෙමාපිය හා ආදි ශිෂ්‍ය යන සවිමත් කුලුනු සතර පාසලේ ප්‍රගතිය වෙනුවෙන් කැපවන බවය. එම කුලුනු හතරේ එකතුවෙන් අධ්‍යාපනික හා ක්‍රීඩා විෂය සමගාමී අංශවල දියුණුව වෙනුවෙන් කටයුතු කරයි. තාක්ෂණය අවභාවිතයෙන් තොරව අධ්‍යාපනයට තාක්ෂණය යහභාවිතාව සඳහා සුහුරු පන්ති කාමර සැකසීමේ ව්‍යාපෘතිය මේ වන විට ආදි ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වන්නේ සියලුම පන්ති කාමර සඳහ Smart Board සවිකර දීම තුළිනි. ඒ තුළින් අධ්‍යාපනය යාවත්කාලීන කරලීමට කටයුතු කර ඇත. එසේම අ.පො.ස. (උ.පෙළ) සඳහා තාක්ෂණ විෂය ධාරාව හැදෑරීමට අවකාශය අප පාසල තුළ ඇත. මේ අන්දමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය භෞතික සම්පත් අතින් අනූනව ඇත. ඩී. ඇස්. සේනානායක විද්‍යාලය තුළ සිසු දරුවන් තුළ පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අධ්‍යාපනය ප්‍රමුඛ කරලීම මාගේ අරමුණ වුවත් ක්‍රීඩා හා විෂය සමගාමී කටයුතු පාසල් අධ්‍යාපනයෙන් බැහැර කිරීමට ඉන් අදහස් නොවේ. සෑම දරුවෙක්ම විෂය සමගාමී ක්‍රියාකාරකම් 2 ක් සහ ක්‍රීඩාවක් හෝ ක්‍රීඩා 2 ක්, විෂය සමගාමී ක්‍රියාකාරකම් 1 ක් කිරීම අනිවාර්ය වන අතර ඒ සඳහා ලකුණු ලබාදීමේ ක්‍රියා පටිපාටිය මා යෝජනා කර ඇත්තේ දරුවන් ඒ සඳහා අභිප්‍රේරණය කිරීම සඳහායි. මෙහිදී පාසල තුළ ක්‍රීඩා 29 ක් ද නොයෙක් ක්ෂේත්‍රවලට අදාළ විෂය සමගාමී ක්‍රියාකාරකම් 50 කට අධික ප්‍රමාණයකට සහභාගී වීමට දරුවන්ට අවකාශය ලබා දී ඇත. ඒ සඳහා සියලු භෞතික පහසුකම්වලින් පිරිපුන් වී ඇති ඩී. ඇස්. සේනානායක විද්‍යාලයට ලැබුණු නවීන වෙඩිපිටිය එම භෞතික සම්පත් සඳහා එක් වූ අලුත්ම සම්පතකි.

ඩී.ඇස්. සේනානායක විද්‍යාලයීය සම්ප්‍රදාය රටට අභිමානයක්!

වසර 17 ක් පමණ ඉතිහාසයක් ඇති ඩී. ඇස්. මහානාම රන් මහා ක්‍රිකට් තරගය පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරගාවලියකි. මීට වසර 5 කට පෙර ප්‍රථම වරට දෙදින තරගය ජයග්‍රහණය කර ශූරතාවය ලබා ගැනීමට ඩී. ඇස්. පුතුන්ට හැකි විය. එම ශූරතාවය තවමත් තමන් සතුව තබා ගැනීමට හැකි වී ඇත්තේ එදා මෙදා තුර පැවති රන් මහා ක්‍රිකට් තරගයේ දෙදින තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට අප විද්‍යාලයට හැකි වූ නිසාය. තවද ක්‍රීඩා ක්ෂේත්‍රය ගත් විට ජාත්‍යන්තරයේ ලෝක පූජිත ක්‍රිකට් තරු බවට පත් වූ ක්‍රීඩකයන්ගේ නම ඉදිරියෙන් ඩී. ඇස්. නාමය සටහන් වී ඇත. අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න ප්‍රමුඛ වන අතර ඔවුන් අනුගමනය කරමින් කෝසල කුරුප්පුආරච්චි, පුබුදු දසනායක, නවීඩ් නවාස්, පුලස්ති ගුණරත්න, ඉසුරු උදාන හා බිනුර ප්‍රනාන්දු ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට ගිය සෙන්පති පුතුන් ය.

මෙසේ දිවයිනේ කීර්තිමත් පාසල් නාමාවලිය තුළ කියවෙන ඩී.ඇස්. සේනානායක විද්‍යාලය අද වන විට 56 වසක් සපුරමින් කීර්තියට පත්ව ඇත. මේ කිතුගොස සඳහා උරදුන් මේ පාසලේ සේවය කළ විදුහල්පතිවරුන් 9 කි. ටී. සමරසිංහ, පී. ධර්මසේන, එම්.ඒ.ජේ.ඒ. මායාදුන්න, සෝමබන්දු කොඩිකාර, ජී.පී.අධිකාරී යන විදුහල්පතිවරුන්ගේ කැපවීම ද අගය කළ යුතුය. තවද, ඉන්පසු විදුහල්පති ධුරය දැරූ අශෝක සේනානි හේවගේ විදුහල්පති ගුරුපියාණන්ගේ අවධියේ අලස් ශාලාව නවීකරණය කිරීමට ඇරඹී අතර පරිසර හිතකාමී ප්‍රාථමික අංශයක් නිර්මාණය කිරීම, විද්‍යාලයට පිහිනුම් තඨාකයක් සාදා නිම කිරීම, නව ක්‍රීඩා සංකීර්ණය නිර්මාණය කිරීම වැනි කටයුතු විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු වූයේය. ඉන් පසු ඩී.එම්.ඩී. දිසානායක, ආර්.එම්.එම්. රත්නායක හා ප්‍රසන්න උඩුමුහන්දිරම් යන විදුහල්පතිවරු එම තනතුරු දරමින් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළහ.

ඩී.ඇස්. සේනානායක විද්‍යාලයීය සම්ප්‍රදාය රටට අභිමානයක්!

වර්තමානයේ ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ 10 වන විදුහල්පතිවරයා ලෙස විදුහල්පති තනතුර දරන මා දිවයිනේ කීර්තිමත් පාසල් රැසක විදුහල්පති ලෙස සේවය කිරීමෙන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිපාලන සම්බන්ධ තනතුරු කිහිපයක් දැරීම නිසා ලැබූ අද්දැකීම් උපයෝගී කර ගනිමින් මෙම පාසල තවදුරටත් ඔසවා තැබීමට බලාපොරොත්තු වෙමි. එසේම සිසු, ගුරු, දෙමාපිය, ආදි ශිෂ්‍ය නැමති කුලුනු 04 එකමුතුකමින් හා කැපවීමෙන් මාගේ මේ අභිප්‍රාය මල්ඵල ගැන්වීම සඳහා අත්වැල් බැඳගනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.

advertistmentadvertistment
advertistmentadvertistment