කඩිසර සහ සුහුරු රටක් නිර්මාණය කිරීමට එක්වන්නැයි මිත්‍රත්වයේ දෑත් දිගු කරනවා

70

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස
සමගි ජන බලවේගය කොළඹ මැයි දින ජන රැලිය

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ නාමයෙන් කඩිසර සහ සුහුරු රටක් නිර්මාණය කිරීමට සියලුම දෙනාට තමන් සමග එක්වන ලෙස මිත්‍රත්වයේ දෑත් දිගු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01දා) පැවසීය. ‘සමගි රටක් – අනගි හෙටක්’ යන මැයෙන් සමගි ජන බලවේගය කොළඹ චැතැම් වීදියේදී පවත්වනු ලැබූ මැයි දින ජන රැලිය අමතමින් විපක්ෂ නායක මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

නොයෙක් බාධා මැස්දේ මෙවන් මැයි දින රැළියක් පැවැත්වීමට ශක්තිය දුන් ඔබ සියලුදෙනාටම පළමුව ස්තුතිය පුද කරන්න ඕන. අපි මේ මැයි රැලිය පවත්වන්නේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය වන වසරකයි. අපේ රටේ අතිශය තීරණාත්මක අවස්ථාවක් පොදුජනතාවට මේ වසරේ ලැබෙනවා.

කඩිසර සහ සුහුරු රටක් නිර්මාණය කිරීමට එක්වන්නැයි මිත්‍රත්වයේ දෑත් දිගු කරනවා

සමහරෙක් ඇතැම් විට කියනවා පොරොන්දු දේශපාලනය පිළිගන්නේ නෑ කියලා. මම කියන්න ඕනා එහෙම ප්‍රකාශයක් කරන්න පුලුවන් වන්නේ පොරොන්දු දීලා ඒවා ඉෂ්ට කරන්න බැරි වූ අයයි. 76 වසරක ඉතිහාසයක් ගැන අපි ලොකුවට කතා කරනවා. සමගි ජන බලවේගය ඔප සියලුදෙනාම මේ අවස්ථාවේ ඔබට ආඩම්බර විය හැකියි. අපි ඇත්තවශයෙන්ම ලංකාවෙන්ම අංක එක. මේ 76 වසරක් තුළ කිසිම දේශපාලන පක්ෂයකට, කණ්ඩායමකට, නායකයකු තනතුරු හෝ බලයක් නැතිව වැඩක් කරලා නෑ. ඇත්ත වශයෙන්ම සමගි ජන බලවේගය වශයෙන් මේ 76 වසරක ඉතිහාසය තුළ අද අපි අද අංක එක බවට පත් වෙලා තිබෙනවා. ඒ මොනවායින්ද අංක එක වුනේ බලයක් නැතිව වැඩ කරලායි. මම කියන්න ඕනා අපි සුහුරු පන්ති කාමර සඳහා පාසල් 169කට ලක්ෂ එක්දහස් අටසිය පනස්පහක් වියදම් කරලා ස්මාට් අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්න කැපවෙලා තිබෙනවා. ඒ වගේම පාසල් බස් රථ සඳහා ලක්ෂ 4242 ක් වැය කර තිබෙනවා. මේ රටේ දයාබර පුරවැසි පරපුරගේ සෞඛ්‍ය වෙනුවෙන් රෝහල් 57කට ලක්ෂ 1766ක් වටිනා රෝහල් උපකරණ සහ ඖෂධ පරිත්‍යාග කර තිබෙනවා.

ඒ නිසා අද මම අද ඔබ ඉදිරියට පැමිණියේ පොරොන්දු පත්‍රය ඉදිරිපත් කරන්නයි. රටේම ජනතාවට මම කියනවා ඔබ අපිව විශ්වාශ කරනවානම්, ඔබ අපේ පොරොන්දු පත්‍රයට එකතු වෙන්න. අපේ පොරොන්දු පත්‍රයත් සමග අත්වැල් බැඳගන්න. අපි ගැන අවිශ්වාශයක් තිබෙනවා නම් විකල්පයක් දෙස බලන්න පුලුවන්. හැබැයි විලකල්පයක් දෙස බලන විට 2019 දී ගත්තු විකල්ප තීරණය ගැනත් සිතන්න. අපි සියලුම ජාතීන්ට සහ ආගම්වල ජනතාවට නිදහස් නිවහල් ජීවිතයක් ගත කරන්න ප්‍රජාතන්ත්‍රවාදය අපි ආරක්ෂා කරනවා. භෞමික අඛණ්ඩතාවය අපි ආරක්ෂා කරනවා. රටේ ජනතාව ආරක්ෂා කරන රට නිදහස් දෙසට ගෙනියන අලුත් අයිඑම්එෆ් කොන්දේසි කරා යොමු කරනවා. රටේ සංවර්ධනය සඳහා ජනාධිපති කාර්ය සාධන බළකා ඇති කරනවා. විශේෂ කොමිසම් ඇති කරනවා. රටේ දූදරු පරපුර සහ මව්වරු වෙනුවෙන් අවශ්‍ය වැඩ සටහන් නිර්මාණය කරනවා. මාතෘ මූලික පවුල් සඳහා අපි විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ වගේම ලක්ෂ 17ක් වන ආබාධිත ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කරන්න කටයුතු කරනවා. ඒ වාගේම තාරුණ්‍යයට මුල් තැන දෙන ජාතික තරුණ ව්‍යාපෘතිය අපි ක්‍රියාත්මක කරනවා. තරුණ කොමිසමක් සහ තරුණ ජනාධිපති කාර්ය සාධක බළකායක් ඇති කරනවා. ඒ හරහා තාරුණ්‍යට සෞභාග්‍යය ඇති කරනවා. දූෂණය පිටු දකින නව ස්වාධීන ආයතන පිහිටුවීමම පමණක් නොවෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හරහා නොවෙනස්වන වගන්ති ඇති කර තනියෙන් හිටගත හැකි දූෂණ විරෝධී ස්වාධීන ආයතන අපි ඇති කරනවා.

කඩිසර සහ සුහුරු රටක් නිර්මාණය කිරීමට එක්වන්නැයි මිත්‍රත්වයේ දෑත් දිගු කරනවා

ඒ වාගෙම හොරා කාපු මුදල් නැවතත් රටේ ජනතාවට ලබා ගත හැකි වැඩ පිළිවෙළක් අපි ඇති කරනවා. තරාතාරම් බේදයෙන් තොරව මේ රටේ හොරු අල්ලනවා පමණක් නොවෙයි. ඒ හොරා කාපු මුදල් ටික අපි නැවත ලබා ගන්නවාමයි.

සමහරු අහනවා අපරාදෙනේ ෂෝට් කට් එකෙන් අගමැති සහ ජනාධිපති වෙන්න පුලුවන්කම තිබුනානේ කියලා. එහෙම අහන අයට මම කියන්න ඕනා ඔක්තෝම්බර් 26 කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න පෙර මට දහ වතාවක් ආරාධනා කළා අගමැතිකම ගන්න කියලා. ඒ වාගේම ඔක්තෝම්බර් 26න් පසුව 61 වතාවක් ආරාධනා ලැබුණා මට අගමැතිකම ගන්න කියලා. ඒත් මම තීන්දු ගන්නේ මගේ අභිප්‍රායන් ඉෂ්ඨ කරන්න මමත්වය මුල් කරගෙන් තීන්දු තීරණ ගන්නේ නෑ. මම හැම තීන්දුවක්ම ගන්නේ රටේ යහපත උදෙසායි. අපි ගන්නේ ප්‍රතිපත්තිගරුක තීන්දුයි. මම අද සතුටු වෙනවා කෙහෙළිය රඹුක්වැල්ල රැකගන්න මම පාර්ලිමේන්තුවේ කටයුතු කළේ නෑ. ඖෂධ වංචාවන් කරපු නිලධාරීන් රකින්න අපි ක්‍රියා කළේ නෑ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් රැකගන්න අපි ක්‍රියා කළේ නෑ. ඒ නිසා මේ රටේ අලුත්ම දේශපාලන බලවේගයක් ලෙස ආරම්භ වුනු සමගි ජන බලවේගය අවංක සහ පිරිසිඳු රජයක් ලෙස මේ රට ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කරනවා.

ඒ මගින් අපි මේ රට නොනිදන රටක් බවට පත් කිරීමට අපි කටයුතු කතරනවා. අපේ අරමුණ සුහුරු කෘෂිකර්මාන්තය ආරම්භ කරන්නයි. ගොවිතැනට නව තාක්ෂණය සහ නව ක්‍රමවේදය තුළ කාර්යක්ෂමතාව ව්‍යාප්ත කරලා ගොවිතැනේ නිෂ්පාදන ඵලදායිතාවය වැඩි කර ගන්නවා. ඒ වගේම වාරි තාක්ෂණය අපි යළි පෝෂණය කරනවා. සුහුරු ගොවියා වගේම අපි සුහුරු ධීවරයා අපි නිර්මාණය කරනවා. මේ රටේ වැඩිහිටි ප්‍රජාව රැකගන්න අපි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීම්වලට ඉහළ පොළියක් ලබා දෙනවා. කම්කරු අයිතිය අපි සුරක්ෂා කරනවා. ආයොජකයාගේ අයිතීන් ආරක්ෂා කරලා ඔවුන්ට රටේ හිතකර පරිසරයක් ඇති කරනවා.

අපි දැනටමත් රටේ අධ්‍යාපනය සුහුරු අධ්‍යාපනයක් බවට පත් කරන්න ක්‍රියා කර තිබෙනවා. එම සුහුරු වැඩ පිළිවෙළ අපි මේ වසරේ නැවතත් ජයග්‍රාහී ලෙස ආරම්භ කරනවා. මෙරට සෞඛ්‍ය පද්ධතිය, රෝහල් පද්ධතිය අපි නවීකරණය කරනවා. තිරසර පරිසර සංරක්ෂණයට අපි යොමුවෙනවා. අපි අනුගමනය කරන්නේ මැද මාවතයි. අපි අන්තවාදී ධනවාදය හෝ අන්තවාදී මාක්ස්වාදය ක්‍රියාත්මක කරන්න යන්නේ නෑ. මානුෂීය ධනවාදය තුළින් අපි රට දියුණු කරනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් යුක්තිය සාධාරණත්වය ඉටු කරනවා.

අපේ රට තොරතුරු තාක්ෂණයේ මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. සෑම රාජ්‍ය ආයතනයක්ම ශක්තිමත්, කාර්යක්ෂම ආයතන බවට පත් කරනවා. පාඩු ලබන රාජ්‍ය ආයතන අපි ලාභ ලබන ආයකන බවට පත් කරන්න ඕන. ඒත් අපේ රට වෙන්දේසිලන්තයක් බවට පත් කරන්න යන්නේ නෑ. අද බලන්න තමන්ගේ ගජ මිතුරන් රකින මේ කෙටි කාලයේ මහජන මුදල් හොරාකන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ.

පාස්කු ප්‍රහාරයේ සුලමුල අපි හොයා ගන්නවා. ඒ සඳහා විනිවිධභාවයෙන් යුතු වැඩ පිළිවෙළක් අපි නිර්මාණය කරනවා. ඒ සඳහා අපේ වැඩසටහන ඒ ආගමික නායකයන්ට ඉදිරිපත් කළා. අපි එය පාර්ලිමේන්තුව හමුවටත් ඉදිරිපත් කළා. ඒ විතරක් නොවෙයි මේ ප්‍රහාරය සිදුකළ සහ එය පසුව වසන් කළ සියලුම දෙනා නීතිය හමුවය ගේනවා. අපි ප්‍රචණ්ඩත්වයට ඉඩ දෙන්නේ නෑ. කිසිම ත්‍රස්තවාදයකට හෝ අන්තවාදයකට හිස ඔසවන්න අපි ඉඩ දෙන්නේ නෑ.

ඒ වගේම විශේෂයෙන්ම සිංහල නොවන ජනතාවට ඇති ප්‍රශ්න විසඳන්නත් විශේෂයෙන්ම 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න අපි ඇපකැප වෙනවා.

දැන් කතාවක් යනවා ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍ර ලබා ගත් විපක්ෂ මන්ත්‍රීවරු ඉන්නවා කියලා. ඒ මත්පැන් බලපත්‍ර ලබා දුන්නේ ආණ්ඩුවයි. අපේ රජයක් යටතේ ඒ අනීතික නව බලපත්‍ර සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න කටයුතු කරනවා. දැන් අපේ රටේ ඉඩම් කොල්ලයක් සිදු වෙන බවට අපි දන්නවා. අක්කර සීය දෙසීය හිතුමතේ බෙදාගෙන යනවා. මා කියනවා ඒ ගත්තු අයට අපේ රජයක් ඇතුළත ඒ ඉඩම් නැවත අත්පත් කරගෙන නව සැබෑ ව්‍යවසායකනයින්ට ලබා දෙන්න ක්‍රියා කරනවා වගේම අපේ රටේ ඉඩමක උරුමය නැති අහිංසක ජනතාවට ලබා දෙන්න ක්‍රියා කරනවා. අපේ රටේ මුඩු ඉඩම් රැසක් තිබෙනවා. අපේ රටේ කුඩා තේ ඉඩම් හිමියන් තමයි වැඩිම තේ නිෂ්පාදනයක් කරන්නේ . අපේ මුඩු ඉඩම් තේ ඉඩම් බවට පත් කරන්නත් ඒවා තරුණයින්ට සහ නව ව්‍යවසායකන්ට බෙදා දීලා නව තේ ඉඩම් හිමියන් ලක්ෂ ගණනින් නිර්මාණය කරනවා. අපේ රටට ධන අරමුදලක් අවශ්‍යයි. එය අවශ්‍ය වන්නේ අපේ රටේ මතු පරපුරටයි. ඒ සඳහා අපි ක්‍රියාත්මක වෙනවා වගේම, ජනසවියටත් එහා ගිය නව ජනසවියක් ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ නව නිවාස ඇති කරනවා. අපි දිස්ත්‍රික්ක විසි පහ තුළම නව ව්‍යාපෘති ඇතිකර ගම හදා රට නගන වැඩ පිළිවෙළක් ඇති කරනවා. ඒ වගේම මත් උවදුරින් අපේ රට මුදා ගන්නවා. මේවා තමයි අපේ පොරොන්දු.

අපි මේ පොරොන්දු පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ කයිවාරුවක් විදිහට නොවෙයි. අපි මේක මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරනවා. ඒ වගේම මගේ පියාගේ සිය වැනි ජන්ම දිනය ජුනි 23දාට අපි සමරනවා. අපේ අරමුණ සුහුරු රටක් නිර්මාණය කිරීමයි. එම නිසා රණසිංහ මහත්මාගේ සිය වැනි ජන්ද දිනය කේන්ද්‍රකර ගිනිමින් එක දිස්ත්‍රික්කයකට අලුතින් පාසල් සියය බැගින් තෝරාගෙන පාසල් 2500ක් නව සුහුරැ පාසල් බවට පත් කරන්න සූදානම්.

මම මේ මොහොතේ සියලුදෙනාට ආරාධනා කරනවා අප සමග එක් වෙන්න කියලා. මම මිත්‍රත්වයේ දෑත් දිගු කරනවා. අපි නියම රාජ්‍ය පාලනයක් ඇති කරනවා. ඊට ඔබත් ඒ සඳහා එක් වෙනවා. රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ නාමයෙන් අපි මේ රට ඉදිරියට ගෙනියනවා. මාව සල්ලිවලට ගන්න බෑ. මගේ කණ්ඩායම වරදාන, වරප්‍රසාදවලට යටවෙන්නේ නෑ. අපිට ලබා දෙන වැදගත් ජනවරම උපයෝගී කරගෙන අපි මේ රට ඉදිරියට ගෙනයනවාමයි. මේ වන විටත් අපිත් සමග විශාල පිරිසක් සිටිවනවා. ඒත් ඒ අයට වරදාන, වරප්‍රසාද ලබා දෙන්න පොරොන්දු වෙලා නෑ. අපේ පොරොන්දුව තමයි ජනතාවගේ අයිතීන් සුරැකීමයි. ඒ සඳහා වැඩ කිරීමයි. ඒ සඳහා අපිත් සමග එක්වී සුහුරු කඩිසර රටක් සඳහා මුලපුරමු.
අකිත පෙරේරා, ඡායාරූප කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment