පොලිස් දුක (කලකට පසු කතා කරන පැරණි මාතෘකාවකි)

757

2024 මාර්තු මස 03 වැනිදා ඉරිදා

වැඩිදෙනා නොදැන හිටියාට මෙයට අවුරුදු 5000 ට පෙර ඊජිප්තු රාජධානිය තුළ පොලිස් දෙපාර්තමේන්තුවක් පිහිටා තිබිණ. මෙය ලොව පළමුවන පොලිසිය සේ හඳුන්වනු ලැබේ. එකල ඊජිප්තු රාජධානියේ යුද හමුදාවට පැවරී තිබුණේ රජතුමා සහ එම පවුලේ උදවිය සතුරු ආක්‍රමණවලින් බේරා ගැනීමටය. ඒ මිසක් සාමාන්‍ය ජනයාගේ ආරක්ෂාවට යුද හමුදාව මැදිහත් වුණේ නැත. මෙහි අවසන් ප්‍රතිඵලය වශයෙන් නෛතික ආරක්ෂාව නමැති සාධකය රජ ගෙදරට පමණක් සීමා විය. සාමාන්‍ය ජනයා නිදහසේ ගහමරාගත් අතර මරණ දණ්ඩනය වැනි දේවල් තනි මතයට සිය කැමැත්තෙන් ඉටු කළහ. එය බලය පිළිබඳ ප්‍රශ්නයකි. ඊජිප්තු රාජධානියේ කිසියම් පළාතක බලවත් පිරිස එම පළාතේම දුබලයන් පාලනය කරමින් ඔවුන්ගෙන් ධාන්‍ය සහ මුදල් සූරා ගත්හ. එවිට ප්‍රාදේශීයව කැරලි හටගත් අතර ඒවා මැඬපැවැත්වීම සඳහා හමුදාව යැවීමට රජුට සිදුවිය. මෙය විශාල කරදරයක් වීගෙන ආ බැවින් සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සඳහා හමුදාවෙන් පිට සිවිල් ආයතනයක් පිහිටුවිය යුතු බව රජු තීරණය කළේය. ඒ අනුව මෙයට අවුරුදු 5000 ට පෙර ඊජිප්තුව පාලනය කළ පාරාවෝ අධිරාජ්‍යයා සිය රාජ්‍යය අධිකරණ කොට්ඨාස 42 ට බෙදා ඒ එක් එක් කොට්ඨාසය බලා ගැනීමට සන්නද්ධ දෙපාර්තමේන්තුව බැගින් විවෘත කළේය. මෙතැන් සිට ඊජිප්තුවේ අපරාධකාරයන්ට උදා වූයේ නරක කාලයකි. මංකොල්ලකාරයකු අසුවූ විට ප්‍රාදේශීය සිවිල් බළකාය ඔහුගේ අත පය කඩා මරා දැමුවේය. මෙය තවත් ටිකක් දුරදිග යන විට යුද හමුදාව මාළිගාව බලා ගනිද්දී ඊජිප්තු සිවිල් ආරක්ෂක බළකාය රට පාලනය කරන තැනකට තල්ලු විය. සිවිල් ආරක්ෂකයන් හැම විටම සාමාන්‍ය ජනතාව කොල්ල කෑ බැවින් හැකි හැම විටම සිවිල් බළකායෙන් පළිගැනීමට සාමාන්‍ය ජනතාව පටන් ගත්තේය. නීති විරෝධී ලෙස රංචු ගැසුණු පුරවැසියන් රැළක් මැද්දට කොටුවුණු සිවිල් ආරක්ෂකයා හැම විටම මැරුම් කෑවේය. සිවිල් ආරක්ෂකයන්ට කෲර මරණයක් අත්වූ හැමවිටම මහජනතාව සතුටට පත්වූහ.

පොලිසිය සහ ජනතාව අතර තිබෙන වෛරය පොලිසිය පිළිබඳ මූලික සංකල්පය ඊජිප්තුවේදී ආරම්භ වී අවුරුදු 7000 ට පසු අදටත් එසේම පවතී. අදටත් හැම රටකම ජනතාව පොලිසිය සමග තරහ ය. ලංකාවේ අලුත්ම පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්ව සිටින මේ අවස්ථාවේදී වැදගත් යමක් කීමට අපි කල්පනා කර ඇත්තෙමු. ඒ වූකලී ඕනෑම පරිප්පුවක් කාගෙන ජන දුක ඇසීමට පොලිසිය සිටියද පොලිසියේ දුක ඇසීමට කවුරුවත් නැති බවය. පොලිසියේ ඉහළ ස්ථරයේ නිලධාරීන් සැපවත් ජීවිත ගතකරද්දී පොලිසියේ පහළ ස්ථරවල සිටින එස් අයි ලාත් සාජන්ලාත් රාළහාමිලාත් ජරා දුක් අනුභව කරති. මෙයට අවුරුදු කිහිපයකට පෙර කෙරුණු සමීක්ෂණයකින් හෙළිවූ පරිදි මේ රටේ පෙනහළු පිළිකා වැළඳෙන පිරිස අතර ඉස්සරහින්ම ඉන්නේ ට්‍රැෆික් පොලිස් රාළහාමිලාය. ඔවුහු දවසට පැය හත අටක් මහා පාරේ හිටගෙන වාහන වලින් නිකුත්වන කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය කරති. අප දන්නා පරිදි පොලිසියට තිබෙන එකම සෞඛ්‍ය රක්ෂණය පොලිස් රෝහල පමණි. අද පවතින තත්ත්වයට අනුව පොලිස් රෝහලට ගියත් මහා රෝහලට ගියත් බේත් ගැනීමට සිදුවන්නේ එළියේ තිබෙන ෆාමසියෙන්ය. කොන්ත්‍රාත් දාමරිකයන්ගෙන්, කුඩු ජාවාරම්කාරයන්ගෙන් සහ දේශපාලන බලවතුන්ගෙන් ගුටි කා අබල දුබල වූ පොලිස් නිලධාරීන්ද ඇසිඩ් පහරවල් සහ බෝම්බ පහරවල් කා තවමත් පණ තිබෙන්නා වූද පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීහු ඕනෑ තරම් සිටිති. එහෙත් ජනතාව පොදුවේ වෛරී දෑසකින් පොලිසිය දෙස බැලීමට පුරුදුව ඇති නිසා පොලිස් දුක නොපෙනී යට යන අතර සිවිල් ජන දුක පමණක් එළියට එයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඇති ලොකුම ප්‍රශ්නයක් වන්නේ ඉහළ නිලධාරියා විසින් පහළ නිලධාරියා පහත් කොට තැකීමය. ඇතැම් ඕ.අයි.සී ලා පහළ නිලධාරීන්ට කතා කරන්නේ ඉතාම නින්දා සහගත ලෙසය. තවත් සමහර ඒ.එස්.පී ලා සහ එස්. එස්. පී.ලා පහළ නිලධාරීන්ට කතා කරන්නේ ඉතාම කැත ලෙසය. ඉහළ පොලිස් නිලධාරියෙක් පොලිසියක නිරීක්ෂණ චාරිකාවක ගිය විට මුලින්ම කරන්නේ ඕ.අයි.සී ගේ පුටුවේ වාඩි වීමය. එවිට ඒ පොලිස් ලොක්කා ඉදිරියේ එස්.අයි ලාත් සාජන්ලාත් රාළහාමිලාත් සමග එක පෙළට හිටගෙන පොලිස් ලොක්කාගේ කැත කතා අසා සිටීමට ඕ.අයි.සී ට සිදුවේ. පොලිස් ලොක්කා සමහරවිට ඕ.අයි.සී ටද කුණුහරුපෙන් බනී. එතැන් සිට සිය පහළ නිලධාරීන්ට මුහුණ දීගත නොහැකිව ඕ.අයි.සී නන්නත්තාර වෙයි. මෙබඳු සිද්ධි දෙකක් යක්කල පොලිසියේදී හා වැල්ලවත්ත පොලිසියේදී සියැසින් දැකගැනීමට අපට හැකි විය. තමන්ට පහළ නිලධාරියකුගේ පුටුවෙහි ඉඳගැනීම ශිෂ්ට සම්පන්න උසස් නිලධාරීහු කවදාවත් නොකරති. මෙවැනි ඒ.එස්.පී ලා සහ එස්.එස්.පී ලා තමන් ඉදිරියෙහි අසරණ වන පහළ නිලධාරීන්ට පාට් දැමුවද කුඩුකාරයෙක් කඩුවක් ගෙන වැනුවොත් ඒ පාරෙන්වත් නොයති.

අපට හැඟෙන පරිදි පොලිසිය පගා ගහන්නේ නැති බැරි කමටය. හැබැයි පළාතේ මුදලාලිලා ලවා සිය තේ වත්තට නොමිලේ පොහොර ගෙන්වා දමාගත් ඩී.අයි.ජී ලාද මේ රටේ සිටියහ. ඔවුන් ඒ පගාව ගහන්නේ කැතකමට මිස නැති කමට නොවේ. පොලිසියේ පහළ ශ්‍රේණිවල වැටුප් වැඩිකරන ලෙස අපි අලුත් පොලිස්පතිතුමාගෙන් ඉල්ලමු. අතේ සල්ලි නැතිව කිසිම දෙයක් කළ නොහැක. දුප්පත් පොලිස් රාළහාමි කෙනෙක් පැමිණිල්ලක් දැමීමට එන මිනිහකු අල්ලාගෙන ඒකාගෙන් බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් ගැසූ විට අල්ලස් පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබේ. එහෙත් ව්‍යාපාරිකයන් අල්ලාගෙන කෝටි ගණනින් සුද්ද කරන ඉහළ නිලධාරීන්ට කිසිදු හෙණයක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment