නජ්මුල් සහ මුෂ්ෆිකුර් බංග්ලාදේශයට විශිෂ්ට ජයක් ලබා දෙති

426

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරඟය

නායකත්වයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නජ්මුල් හුසේන් ෂැන්ටෝ සහ පරිණත ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් දෙදෙනා විසින් පස් වැනි කඩුල්ල සඳහා ගොඩනගන ලද ලකුණු 165 ක අගනා නොබිඳුණු සම්බන්ධතාවය මත ශ්‍රී ලංකාව පරදවා කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබාගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම දෙරට අතර ඊයේ (13 වැනිදා) පැවති පළමු තරඟයේදී සමත් වූහ.

ලකුණු 256 ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම පන්දු වාර44.4 කදී කඩුලු 4ක් දැවී එම ඉලක්කය සපුරා ගත් අතර ඒ අනුව තරග තුනකින් යුත් තරගාවලියේ 1-0 ක් ලෙස සත්කාරකයෝ පෙරමුණ ගත්හ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු තෝරා බේරා අවශ්‍ය තැන ප්‍රහාරය දියත් කරමින් ඔවුන් දෙදෙනා ගොඩනැගූ එම ලකුණු සම්බන්ධතාවය කලකට අමතක නොවන පාඩමක් ශ්‍රී ලංකාවට ඉගැන්වීමට තරම් සමත් විය.

බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් සිය එක් දින දිවියේ තුන්වෙනි ශතකය වාර්තා කිරීමට ඊයේ සමත් වූ අතර නායකයකු ලෙස ඔහු ලබා ගත් පළමු ශතකයද එය වූයේය. පන්දු 108 කදී ඔහු ශතකය ලබාගත් අතර මුශ්ෆිකුර් රහීම් නොදැවී ලකුණු 73 ක් ලබා ගැනීමට සමත් වූයේය.

නජ්මුල් හුසේන් තරඟය නිමා වනවිට රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 122 කි.

බංග්ලාදේශ ඉනිමේ ආරම්භක ආරම්භක පන්දුවෙන්ම ලිටන් දාස් ගේ කඩුල්ල බිඳ දැමීමට ඩිල්ෂාන් මදුශංක සමත් වූ අතර තම දෙවෙනි පන්දුවාරයේදී සෞම්‍ය සර්කාර්ගේ කඩුල්ල බිඳ දැමීමටද ඩිල්ෂාන් සමත් වූයේය.

බංග්ලාදේශ තුන්වෙනි කඩුල්ල ලකුණු 23 දී ද හතරවෙනි කඩුල්ල ලකුණු 92 දී බිඳ වැටුණු අතර එහෙත් නජ්මුල් සහ මුශ්ෆිකුර් දෙදෙනා ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ඈතට ගෙන ගියහ.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම චිටොග්‍රෑම්හි තණතීරුවේ මුලින්ම පන්දුවට පහරදීම තෝරා ගත් අතර ඕවර 48.5 තුළ සියල්ලෝ ලකුණු 255 කට දැවී ගියහ.

ආරම්භක පිතිකරුවන්වන පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර පළමු කඩුල්ල ලෙස ලකුණු 33ක් ලබා සිටි අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේය. ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහරක් එල්ල කළේය.

මුළු ලකුණු සංඛ්‍යාව 72 දී ලකුණු 36කට පැතුම් නිශ්ශංක ද දැවී ගිය අතර ඔහුත් හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණි.

සධීර සමරවික්‍රමට ලකුණු 3කට දැවී ගිය අතර චරිත් අසලංක මෙහිදි හසන් මිරාස් එවූ පන්දුවකට සිය පා ඉන්න ගලවාගෙන ලකුණු 18කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස් සහ මැද පෙළ යොවුන් පිතිකරු ජනිත් ලියනගේ අතර ලකුණු 68ක සම්බන්ධතාවයක් 5 වැනි කඩුල්ල සඳහා ගොඩනැගුණි. කුසල් මෙන්ඩිස් ලකුණු 57කට දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ ජනිත් ලියනගේ ලකුණු 67 ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වූයේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩිම තර්ජනයක් එල්ල කළ පන්දු යවන්නා වූ ටන්සිම් හසන් සකීබ් පළමු කඩුලු තුනම දවා ගැනීමට සමත් වූයේය.එසේම ශොරිෆුල් ඉස්ලාම් සහ ටස්කින් අහමඩ් ද කඩුලු 3 බැගින් බිද දැමූහ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 255/10(48.5)

පැතුම් නිශ්ශංක 36 අවිශ්ක ප්‍රනාන්දු 33, කුසල් මෙන්ඩිස් 59, සදීර සමරවික්‍රම 03, චරිත් අසලංක 18, ජනිත් ලියනගේ 67, වනිදු හසරංග 13, මහීෂ් තීක්ෂණ 01, ප්‍රමෝද් මදුෂාන් 08, ලහිරු කුමාර නොදැවී 05, ඩිල්ශාන් මධුසංඛ 00

අතිරේක 12

පන්දු යැවීම

ශොරිෆුල් ඉස්ලාම් 9.5-51-3,ට ස්කින් අහමඩ් 10-60-3,ටන්සිම් හසන් සකීබ් 8.4-44-3, ටයිජුල් ඉස්ලාම් 8-54-0, මෙහිදී හසන් මිරාස් 10-33-1,සෞම්‍ය සර්කාර් 2.2-11-0

බංග්ලාදේශය 257/4(44.4)

ලිටන් දාස් 00,සෞම්‍ය සර්කාර් 03, නජ්මුල් හුසේන් ෂැන්ටෝ නොදැවී 122,ටව්හිඩ් රිඩෝයි 03,මහමුදුල්ලා 37,මුෂ්ෆිකර් රහීම් නොදැවී 73

අතිරේක 19

පන්දු යැවීම

ඩිල්ෂාන් මදුශංක 7-35-2 ප්‍රමෝද් මදුෂාන් 6-37-1, ලහිරු කුමාර 4-23-1 මහීෂ් තීක්ෂණ 6-32-0 වනිදු හසරංග 8-54-0, ජනිත් ලියනගේ 3-8-0

advertistmentadvertistment
advertistmentadvertistment