මීහරක්

899

2024 අප්‍රේල් මස 07 වැනිදා ඉරිදා

තවත් සිංහල අවුරුද්දක් එළැඹෙමින් ඇත. එය අපට මතක් කර දෙනු ලබන්නේ කොහාගේ නාදය විසිනි. මෙවර සිංහල අවුරුද්ද ඒතරම් ගතියක් තිබෙන එකක් බවට දැනට නොපෙනේ. සල්ලි තිබෙන එකා ඇඳුම් පැළඳුම් සහ ආහාර වෙනුවෙන් විශාල මුදලක් වැය කළ ද සල්ලි නැති එකා අතපය පොරවාගෙන සිටින විලාසයක් පෙනේ. මුළු ලෝකයම පවතින්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක් මතය. මෙය ගිනි කන්දකි. මේ ගිනි කන්ද නොකඩවාම පුපුරමින් පවතී. ඒ පිපිරීම ලංකාවට ඉතා තදින් බලපා තිබේ. එම බලපෑම කොතරම් දරුණු ද යත් බොම්බයි ලූනු කිලෝව රුපියල් 650 දක්වා ඉහළ ගොස් තිබේ. බොම්බයි ලූනු මිල ඉහළ ගියේ ඉන්දියාව හා පාකිස්තානය බොම්බයි ලූනු පිටරට යැවීම නතර කළ නිසාය. ඒ වෙනුවට කිලෝව රුපියල් 300ට ගත හැකි යාපනයේ රතු ලූනු වෙළෙඳපොළෙහි ඇත. එහෙත් වත්මන් ගෘහණියට රතු ලූනු සුද්ද කිරීමට වෙලාවක් නැත. ඇයට ඇත්තේ බොම්බයි ලූනු ගෙඩියේ ලෙල්ල ඉවත් කිරීමට ගත වන තත්පර දහයක කාලය පමණි. ඒ නිසා ඇය රුපියල් 300 රතු ලූනු කිලෝව දෙසවත් නොබලා රුපියල් 650 බොම්බයි ලූනුවලට කෙළ හලමින් ආණ්ඩුවට හෙණ ඉල්ලන්නට පටන් ගනී. අපේ ජනයා 1970 න් පසු පත්වූ හැම ආණ්ඩුවකටම හෙණ ඉල්ලුවේය. අනුන්ට බැණ වැදීම හා සාප කිරීම ශ්‍රී ලාංකිකයාගේ ජාතික ගතියකි. ලංකාව යනු ස්වාභාවික සම්පත් ඉතාම අඩුවෙන් පවත්නා රටකි. අප කුමන බයිලාවක් කීවද තේ, පොල්, රබර් මාර්කට් එක ජාත්‍යන්තර තලයේදී බිමටම ඇද වැටී තිබේ. මැණික් පිටරට යවා රට සිංගප්පූරුවක් බවට පත් කළ හැකි බව දේශපාලනඥයන් කීවද මැණික් මුදලාලිට මිස රටට මැණික් කර්මාන්තයෙන් ප්‍රයෝජනයක් ලැබී නැත. ලංකාවට වැඩිම විදේශ විනිමයක් ගෙනෙන්නේ සංචාරක ව්‍යාපාරිකයන් සහ විදේශ ශ්‍රමිකයන් විසිනි. මීට අවුරුදු ගණනකට පෙර ඇඟලුම් ව්‍යාපාරය මගින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන ලද නමුදු අද එම ආදායම අඤ්ඤකොරොස් වී ඇත්තේ සුද්දන්ට ඇඳුම් ගැනීමට සල්ලි නැතිවීම නිසාය. ලෝක ආර්ථික අර්බුදය නිසා ලංකාව හැම පැත්තෙන්ම හිරවී ඇත. දැනට පවතින ප්‍රධාන යුද්ධ තුනක් නිසා අපේ ආර්ථික අර්බුදය තවදුරටත් සිරවෙමින් පවතී. හැබැයි කුඩා වැලි කාන්තාරයක්ව තිබූ සිංගප්පූරුව අපේ රට පසුකර බොහෝ දුර ගොස් ඇත. එසේම මාලදිවයින ද ක්‍රමයෙන් ශක්තිමත් ආර්ථිකයක් තිබෙන රටක් බවට පත්වෙමින් පවතී. ලංකාව මේ සිටින්නේ ආර්ථික අර්බුදයේ පීක් එකේ ය. අර්බුදයක් මේ මට්ටමට ගියවිට බැලන්ස් කරගැනීම ඉතා දුෂ්කරය. එකසැරේම අර්බුදය පීක් එකෙන් බිමට බාන්නට ගියොත් එය බිමට පෙරළී මුළු රටම සුන්වී යනවා ඇත. ඒ පීක් එකේම තබා ගතහොත් මහජනතාව කන්න නැතිව මැරෙනවා ඇත. මේ රටේ දේශපාලන පක්‍ෂවලට අවශ්‍ය වන්නේ බලය පමණි. ආර්ථිකය ගොඩගැනීමේ අවශ්‍යතාවක් ඔවුනට නැත. මේ රටේ විපක්‍ෂය කෑලි 30කට පමණ බෙදී වෙන්වී පවතී. එය එකතු කිරීම ඉතා දුෂ්කර ය.

ශ්‍රී ලංකාව යනු නාස්තිය හා දූෂණය සමස්ත ලංකා මට්ටමින් පවතින මඩ ගොහොරුවකි. ජනතාව නමැති මීහරකාට මේ මඩ ගොඩේ ලැගීමට සලස්වා සදාකාලික ෆන් එකක් ගැනීමට දේශපාලනඥයෝ ඉඩදී ඇත්තාහ. දීර්ඝ කාලයක් යකඩ දම්වැලින් බැඳී සිටින විට වහලා එම දම්වැල්වලට ආදරය කරන්නට පටන්ගනී. ඒ ආකාරයෙන් අපේ රටේ මීහරකුන් වැඩි දෙනා ද මඩටම ප්‍රිය කරති. මේ මඩ ගොඩෙන් ගොඩ එන ක්‍රමය සෙවීම ඔවුන්ට අදාළ නොවේ. ස්වකීය දේශපාලන ජීවිතයේ වැඩි කාලයක් මේ මඩෙහිම ලැග සිටි නිසා මේ රටේ දේශපාලනඥයන් වැඩි දෙනාට මේ මඩ ගොඩ හොඳට පුරුදු ය. මෙවර සිංහල අවුරුද්ද මාරම සිංහල අවුරුද්දකි. ආණ්ඩුවේ නැකත් කමිටුව මැදියම් රැයේදී උදාවන සිංහල අවුරුදු නැකත් ඉදිරිපත් කර ඇති අතර ඊට විරුද්ධ තවත් පිරිසක් සවස් කාලයට ගැළපෙන පරිදි නැකත් මාලාවක් ඉදිරිපත් කර ඇත. තමන් සිංහල අවුරුදු දිනයේදී අනුගමනය කළ යුත්තේ කාගේ නැකත් ද යන්න ගැන ජනතාව තුළ ව්‍යාකූලත්වයක් පවතී. දෙපාර්ශ්වයේ ප්‍රතිවිරුද්ධ නැකත්කාරයන් රූපවාහිනියට පැමිණ මරා ගන්නා ආකාරය අපි දුටුවෙමු. දෙදෙනකු ගහමරා ගැනීම දැකබලා ගැනීමට අපේ ජනයා ප්‍රිය කරති. ඒ ඔවුන්ට සුබ දසුනකි. බුද්ධිමතුන් කළ යුත්තේ නැකත්වලට බම්බුගසා ගන්න යැයි කියා අවුරුදු දවසේ උදෙන්ම නැගිට කිරිබතක් පිස අනුභව කර වැඩ පටන් ගැනීමය. මේ රටේ මීහරක් මඩ වළට අලුතින්ම අවතීර්ණ වූ අය නැකත්කාරයෝ වෙති. දිගින් දිගටම මේ මඩේ ලැග්ගොත් අපට සිදුවනු ඇත්තේ හඳුනා ගැනීමට පවා නොහැකි රෝග බෝවී මිය යෑමටය.

advertistmentadvertistment
advertistmentadvertistment