ෆයිසර් එන්නත් ලක්ෂ 79ක් කල් පනී

80

කොවිඩ් වසංගතය මැඬලීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා මිල දී ගෙන තිබූ රුපියල් මිලියන 10,736ක් වටිනා ෆයිසර් එන්නත් මාත්‍රා හැත්තෑනව ලක්ෂ පනස්එක්දහස් හත්සිය දහයක් (7,951,710) ඉකුත් වර්ෂයේ (2022) ජුලි මස 31 දින වන විට කල් ඉකුත් වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධනයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

2022 වර්ෂයේ වාර්ෂික විගණන වාර්තාව උපුටා දක්වමින් මෙම තොරතුරු සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා මෙකී එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ බරපතළ ගැටලු පවතින බවත් මේ ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද හෙතෙම පවසයි. මෙකී එක් එන්නතක් සඳහා ඩොලර් 10 බැගින් ගෙවා ඇති බවත් මෙතරම් විශාල මුදලක් වැයකොට ගෙන්වනු ලැබූ එන්නත් කල් ඉකුත්වීම නිසා විනාශ කිරීම ජාතික අපරාධයක් බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කීවේය.

මෙම එන්නත් වසංගත රෝග විද්‍යායතනයට භාර දී තිබූ බව පවසන විශේෂඥ වෛද්‍යවරයා එන්නත් මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ යම් අක්‍රමිකතාවක් හා මුදල් අවභාවිතාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳ වගකිවයුතු බලධාරීන් සඳහා අධිකරණමය ක්‍රියාමාර්ග ගතයුතුව ඇති බව ද හෙතෙම පවසයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment