රුසියන් හිම ගොඩේ ගල්වුණු ලංකාවේ කුලී හේවායෝ

3885

2024 අප්‍රේල් මස 28 වැනිදා ඉරිදා

රුසියාව සහ යුක්‍රේනය අතර හටගෙන තිබෙන නිමක් නැති යුද්ධයේ අවසන් වින්දිතයකු බවට පත්වීමට ලංකාවට සිදුව තිබේ. ලංකාවෙන් ගිය කුලී හේවායෝ මේ දෙරට හමුදාවලට එක්වී එකිනෙකාට වෙඩි තබාගැනීමට පටන්ගෙන ඇත. රුසියන් යුක්‍රේන් යුද්ධය එක බෝම්බයකින් ඉවර කිරීමේ හැකියාව රුසියන් නායක ව්ලැදීමීර් පුටින් ට ඇත. එහෙත් ඒ යුද්ධය නිමා කිරීමේ උවමනාවක් ඔහුට කිසිසේත්ම නැත. පුටින් යුක්‍රේනය ආක්‍රමණය කළේ එම රට නේටෝ සංවිධානයට එක්වීම වළක්වාලනු පිණිසය. යුද්ධය දිගින් දිගටම ඇදගෙන යෑමෙන් යුක්‍රේනයෙන් පසු නේටෝ සංවිධානයට බැඳීමට කල්පනාවෙන් සිටින තම සෙසු අසල්වැසියන් බියපත් කර තැබීම පුටින්ගේ අරමුණ වී තිබේ. ඒ නිසා මේ යුද්ධය සමහරවිට වියට්නාම් යුද්ධය මෙන් අවුරුදු 20 ක් හෝ ඊට වැඩි කලක් පැවතීමට ඉඩ තිබේ. රුසියානු ආක්‍රමණය නිසා අහල පහළ රටවල්වලට දැනටමත් කරදර රැසක් විඳින්නට සිදුවී ඇත. මේ කලාපයට අයත් නැගෙනහිර යුරෝපයේ රටවලට තෙල් ගෑස් සහ ධාන්‍ය වර්ග යවන්නේ රුසියාවෙන් සහ යුක්‍රේනයෙනි. යුද්ධය නිසා මේ සැපයුම් නතරවී ඇති අතර එම පාරිභෝගික භාණ්ඩවල මිල බෙහෙවින් ඉහළ ගොස් තිබේ. මේ සියලු ප්‍රශ්න විවිධ වක්‍රාකාර මාර්ගවලින් ලංකාවට බලපෑමක් ඇති කරයි. එහෙත් අපගේ හදවතට වඩාත් දැඩි ලෙස දැනෙන ප්‍රශ්නය වී ඇත්තේ අපේම රටේ මිනිසුන් කුලී හේවායන් ලෙස රුසියාවට හා යුක්‍රේනයට ගොස් එකිනෙකා මරා ගැනීමය. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවලින් විශ්‍රාම ගිය විශාල පිරිසක් මේ වන විට පෞද්ගලික ඒජන්තවරුන් අල්ලාගෙන කුලී හේවායන් ලෙස මේ දෙරටට පැනගෙන සිටිති. රුසියාවේ සහ යුක්‍රේනයේ තිබෙන දැඩි ශීත කාලගුණික තත්ත්වයට ඔරොත්තු දීමට ඝර්ම කලාපිකයන් වූ අපට නොහැක. අප යුද්ධ කිරීමට පුරුදුව සිටින්නේ සමශීතෝෂ්ණ දේශගුණික තත්ත්වයන් සහිත ප්‍රදේශවලය. අපේ ආරක්ෂක හමුදාවන් කොටි සංවිධානය සමග යුද්ධ කලේ උතුරු නැගෙනහිර පළාත්වලය. මේ පළාත්වල හිම පතනයක් නැත. එබැවින් අප පුරුදු වී ඇත්තේ කාෂ්ටක අව්වේ යුද කිරීම මිස සීතල හිමේ යුද කිරීම නොවේ.

රුසියාවට සහ යුක්‍රේනයට කුලී හේවායන් සැපයීම මේ වෙලාවේ කරනු ලබන්නේ ඒජන්සිකාරයන් කිහිපදෙනකු විසිනි. මේ අය දැනට ඉන්දියාවට පැමිණ සිටින අතර ඔවුන්ගේ සබ් ඒජන්තලා ලංකාවට පැමිණ රහසිගත මෙහෙයුම්වල යෙදෙමින් කුලී හේවායන් ලෙස වැඩ කිරීම සඳහා විශ්‍රාමික සෙබළුන් පොළඹවමින් සිටිති. රුසියාවේ යුද්ධයට සම්බන්ධ වන කුලී හේවායකුට රුපියල් ලක්ෂ 7 ක පමණ පඩියක් ලබාගත හැක. බොහෝ අවස්ථාවල කුලී හේවායන් රුසියාවට හා යුක්‍රේනයට ගෙන යනු ලබන්නේ ඒ රටවල යුද හමුදා පුහුණු කිරීමේ කටයුතුවල ඔවුන් යොදවන බව කියමිනි. හැබැයි හමුදා පුහුණු කිරීමේ කටයුතුවල නිරත වීමට ඔවුන්ට ලැබෙන්නේ දින කිහිපයක් පමණි. ඉන් පසු වහාම ඔවුන් සටන් පෙරමුණට යවනු ලැබේ. කුලී හේවායන් ලෙස කටයුතු කිරීමට යන තැනැත්තා ස්ථිර වශයෙන්ම තම සේවා යෝජකයා වෙනුවෙන් යුද කිරීමට බැඳී සිටී. කුලී හේවායින් සැපයීම ලෝකයේ දැනට තිබෙන ලොකුම ජාවාරම්වලින් එකකි. වැග්නර් බළකාය යනුවෙන් හැඳින්වෙන විශාල කුලී හේවා බළකායක් රුසියාවේ තිබේ. මේ බළකායට යුද්ධ ටැංකි සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ද ඇත. දිගුකලක් රුසියන් ජනාධිපති වෙනුවෙන් පෙනී සිටි ඒ කුලී හමුදාව මෙයට කලකට පෙර අර්බුදයකට ලක්විය. එයට හේතුව වැග්නර් හමුදාවේ අයිතිකරු සහ පුටින් අතර ගැටුමක් හටගැනීමය. අන්තිමේදී ගුවන් යානයකින් ගමන් කරමින් සිටි වැග්නර් ලොක්කා යානය කඩා වැටී මළේය. ඔසාමා බින්ලාදින් සිය ජීවිතය පටන්ගත්තේ ඇමෙරිකාවට කුලී හේවායන් සපයන්නකු ලෙසය. මෙයට දශක කිහිපයකට පෙර ඇෆ්ගනිස්ථානයේ සෝවියට් පාලනයට එරෙහිව සටන් කළ ඇෆ්ගන් හමුදාවට ඇමෙරිකාවේ අනුග්‍රහයෙන් කුලී හේවායන් සැපයීම භාරව බින්ලාදින් කටයුතු කළේය.

අප දන්නා පරිදි රුසියාවේ සිටින ශ්‍රී ලංකාවේ කුලී හමුදා සෙබළුන් බොහෝ දෙනෙක් මේ වන විටත් එක්කෝ මරණයට පත්ව සිටිති; එක්කෝ අධික සීතල ඉවසාගත නොහැකිව බැරැක්ක තුළට වී දුක්ඛිත ජීවිතගත කරති. මේ සියලු දෙනා රුසියාවට ගොස් ඇත්තේ ලක් රජයේ අනුග්‍රහයෙන් නොව සිය කැමැත්තෙනි. මේ නිසා ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමේ නෛතික වගකීමක් ආණ්ඩුවට නැති බව අපි දනිමු. එහෙත් මෙවැනි අවස්ථාවලදී තම ජනතාව කෙසේ හෝ මව් බිමට ගෙන්වා ගැනීම රජයේ යුතුකම බව අපි ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment