පාණදුරාවාදයට වසර 150යි…නැවත පාණදුරාවාදයකට අවස්ථාව

284

ඓතිහාසික පාණදුරා වාදයට වසර 150 ක් සපිරෙයි. එය ජාතික ස්වෛරීත්වය අගය කරන ශ්‍රී ලාංකිකයන් විසින් කිසිදා අමතක කළ නොහැකි වන්නා වූ ආශ්චර්යවත් හැරවුම් ලක්ෂ්‍යයකි. යම් පමණකට මඳගාමී වී තිබුණ ද, අද පවා ජාතිකත්වයේ ජවරෝදය මෙපමණටවත් කරකැවෙන්නේ ඒ සංසිද්ධියෙන් ජනනය කෙරුණු විභවයට පින් සිදු වන්නට ය.

පාණදුරා වාදය බෞද්ධ හා මිෂනාරී ක්‍රිස්තියානි පාර්ශ්වයන් අතර සිදුවුණු සංවාදයක් බවට මතභේදයක් නැත. එහෙත්, එය හුදු දාර්ශනික ඉගැන්වීම් අතර මත ගැටුමක් පමණක් බව පැවසෙන හැඳින්වීම ඒ සංසිද්ධියට කරන නිගරුවක් මෙන් ම අවතක්සේරුවකි. පාණදුරා වාදය යනු බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව ස්වදේශිකයන් විසින් දියත් කරන ලද ජාතික නිදහස් විමුක්ති අරගලයේ පළමු ජයග්‍රාහී වෙඩි මුරයයි. දණින් වැටී කිසිවක් කර කියා ගත නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් තුළ, විශේෂයෙන් සිංහල බෞද්ධ දේශමාමකයන් තුළ, අප දේශයට සුදු පාලනයෙන් මිදිය හැකි බවට ආත්ම විශ්වාසය ජනනය කළ විප්ලවීය එන්නතයි. පාණදුරා මහා වාදය නොවන්නට ශ්‍රී ලාංකිකයන්ට ස්වෛරී හා නිවහල් ජාතියක් ලෙස කිසි දාක නැගිටීමට නොහැකි වීමට ඉඩ තිබිණි. ජාතික ස්වෛරීත්වය යළිදු වටයක් අවදානමට ලක් වී ඇති මෙවන් අවදියක පාණදුරා වාදය අනුස්මරණයන් ලද හැකි පන්නරය ඉතා ඉහළ හා කාලීන වටිනාකමක් සහිත වෙයි.

හෙළදිව බටහිර කොල්ලකරුවන්ගේ බලපෑමට ලක්වන්නේ 1505 ප්‍රතිකාල් හමුදාව රටේ මුහුදු තීරයෙන් කොටසක් සිය පාලනයට යටත් කර ගැනීමත් සමඟිනි. ඒ වන විටත් අභ්‍යන්තර බල අරගල නිසා එකමුතු බව බිඳී ගොස් තිබූ සිංහල රාජ්‍යය සහමුලින් යටත් කර ගැනීමට පෘතුගීසීන් අනුගමනය කළ උපායමාර්ගය වූයේ කෲරත්වය හා අවි බලය යොදා ගනිමින් තමන්ට අවනත නොවූ දේශීයයා මර්දනය කිරීමයි. දහහත් වන සියවසේ අග භාගයේදී මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසීන්ගෙන් උදුරා සිය ග්‍රහණයට නතු කරගත් ලන්දේසීන් තම පාලන තන්ත්‍රය රට තුළ තහවුරු කරගැනීමට උත්සාහ කළේ ප්‍රදාන, වරප්‍රසාද හා තානාන්තර ලබා දෙමිනි. මේ ආක්‍රමණිකයන් දෙවර්ගයටම හෙළයාගේ ආත්මශක්තිය සහමුලින් විනාශ කළ නොහැකි විය. පෘතුගීසි කාලතුවක්කුවට යට නොවූ ස්වදේශිකයා ඕලන්ද වරදානවලින් ද හීලෑ කර ගත නොහැකි විය. ඉන් අනතුරුව පැමිණි බි්‍රතාන්‍යයන් කන්ද උඩරට රාජ්‍යය යටත් කර ගැනීමට දියත් කරනු ලැබුයේ වෙනස්ම වූ උපායමාර්ගික ප්‍රවේශයකි. ස්වදේශික පාලකයන් අතර භේද භින්නතා ඇති කරමින් සහ රජුට එරෙහි මතවාදයන් පුරවැසියන් අතර පැලපදියම් කරමින් රජු රටවැසියාගේ පිළිකුලට ලක් කිරීම ඔස්සේ තමන් විසින්ම තම රජුට එරෙහිව අරගල දියත් කරමින් රාජ්‍යය පාවා දෙන තැනට දේශීය ජනයාගේ හා නායක කාරකාදීන්ගේ මනස සැකසීමට බි්‍රතාන්‍යයෝ සමත් වූහ. 1815 දී සිංහලයේ අවසන් රජු නින්දා සහගත ලෙස පාවා දී උඩරට ගිවිසුමක් හරහා රට සුද්දන්ට ලියා දුන්නේ ඒ අනුව ය.

තම ස්වෛරීත්වය පාවා දීමේ බරපතළ වරද අවබෝධ කර ගැනීමට ස්වදේශීය නායකයන්ට හා රටට ආදරය කළ ජනතාවට වැඩි කලක් ගත වූයේ නැත. උඩරට ගිවිසුමට යන්තම් වසර තුනක් ගත වෙද්දී 1818 ඌව වෙල්ලස්සේ සහ ඉන් අනතුරුව 1848 මාතලේ ජාතික නිදහස උදෙසා ඉස්මතු වූ අධිරාජ්‍ය විරෝධී සටන් ඊට නිදසුන් සපයයි. ඒවා මර්දනය කෙරුණේ ඉතා නිර්දය ආකාරයට ය. ඒ සටන්වල නායකයන් ඝාතනය කරන ලද්දේ තමන්ට උරුම තම රට විදේශික ආක්‍රමණිකයන්ගෙන් මුදා ගැනීමට යත්න දැරීමේ පාපයට ය. උඩරට ගිවිසුමේ කොන්දේසි ද අමතක කර දමමින් රට තුළ යටත් විජිත ග්‍රහණය තහවුරු කර තමන්ට අයත් නොමැති රටක් යකඩ සපත්තුවෙන් පාගා පාලනය කළේ අද ලෝකයට සාධාරණත්වය හා මානව හිමිකම් පිළිබඳ පාඩම් උගන්වන්න කැස කවන මේ අධිරාජ්‍යවාදීන් ම වීම සරදමක් නොවේ ද?

සිංහල බෞද්ධයන් සහ පොදුවේ ස්වදේශික ජන කොටස් ඉලක්ක කර ගනිමින් මිෂනාරී සංස්කෘතික ආක්‍රමණයක් රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් වන්නේ එම උපාය මාර්ගය ක්‍රියාත්මක වීමක් වශයෙනි. පන්සලේ හා පිරිවෙනෙහි අධ්‍යාපනයෙන් සිංහලයා විතැන් වෙන ආකාරයට ඉංගිරිසි මාධ්‍යයෙන් ලබා දෙන මිෂනාරී අධ්‍යාපනය ක්‍රමයෙන් පුළුල් කරනු ලැබී ය. ඒ අධ්‍යාපනය ලද්දවුන්ට රජයේ වරප්‍රසාද හිමි කෙරුණු අතර ඒ තුළින් එම මිෂනාරී අධ්‍යාපන ක්‍රමය දේශීයයන් අතර ආකර්ෂණීය කිරීමට ද අරමුණු කෙරුණා විය හැකි ය. එසේම, ස්වදේශිකයාගේ සහ විශේෂයෙන් සිංහලයාගේ චින්තන පදනම වූ බෞද්ධත්වය අවතක්සේරු කරමින් විවිධ වූ ප්‍රචාරයන් ද දියත් කෙරිණි. බෞද්ධ සංස්කෘතිය අවඥාවට ලක් කෙරෙන පත්‍රිකා ප්‍රචාරය වන්නේ ඒ අනුව ය. දහ නව වැනි සියවසේ මැද භාගය වන විට මෙම තත්ත්වය බරපතළ ලෙස ස්වදේශික ජන සන්තානයට බලපෑම් එල්ල කරමින් තිබිණි. සිංහල බෞද්ධයෝ දුර්මුඛව සිටියහ. සංස්කෘතික ආක්‍රමණයේ ප්‍රතිඵල ලෙස බටහිර ආකල්පයන් උසස් යැයි සැලකීමට වැඩි වැඩියෙන් ස්වදේශික ජනතාව ද යොමු වෙමින් තිබීම ඉංගිරිසි මිෂනාරී පාසල් රට පුරා ව්‍යාප්ත වීමෙන් පෙනී යයි. උපතින් ආගම බෞද්ධ වුව ද, සංස්කෘතියෙන් බටහිරීකරණය වූ හා ඉංගිරිසි වහරන්නා වූ ස්වදේශික ප්‍රජාවක් ක්‍රමයෙන් ස්ථාපනය වෙමින් පැවැතිණි. ජාතික උරුමයන් පිළිබඳ අගයයක් හෝ නිදහසක් – ස්වෛරීත්වයක් පිළිබඳ වුවමනාවක් – එවන් ස්වදේශික ජන සමාජයක චින්තනයේ ජනනය නොවීම අරුමයක් නොවේ. එවැනි පරපුරක් දෙකක් බිහි වූ කල ජාතික නිදහස් අරගලයකට තෝතැන්නක් රට තුළ සකස් විය නොහැකි ය. මිෂනාරී මතවාදී හා අධ්‍යාපනික උපායමාර්ගය ඔස්සේ සුදු යටත් විජිත පාලකයන් ඉලක්ක කරගත්තේ ශ්‍රී ලංකිකයන් බහුතරය සිය කැමැත්තෙන් බි්‍රතාන්‍ය යටත්වැසියන් ලෙස දිගින් දිගටම ජීවත් වන බව තහවුරු කිරීමයි. මෙම මිෂනාරීකරණ ව්‍යාපෘතිය හුදෙක් ආගමික මතවාදී පහර දීමක් පමණක් නොවන බවත් ඉන් ඔබ්බෙහි වූ අධිරාජ්‍යවාදී දේශපාලනික අරමුණක කොටසක් බවත් ඒ අනුව සක්සුදක් සේ පැහැදිලි වෙයි.

පාණදුරාවාදයට වසර 150යි…නැවත පාණදුරාවාදයකට අවස්ථාව

මෙම උපායමාර්ගික ප්‍රවේශය ඉතා සාර්ථක වෙමින් පැවැති බවට ලිඛිත සාධක තිබේ. පාණදුරේ – මාතර – අම්බලන්ගොඩ වැනි සීමිත ස්ථාන කීපයක හැර අන් සියලු ප්‍රදේශයන්හි සිය මිෂනාරී ව්‍යාපෘතිය අති සාර්ථක බව මිෂනාරී පූජකවරුන් ගේ වාර්තාවලින්ම පිළිබිඹු වෙයි. තව ද, දහනව වන සියවස අවසන් වන විට ලංකාවෙන් බෞද්ධකම අතුරුදන් වනු ඇති බවට 1850 දී ජේමිස් ද අල්විස් පඬිතුමා තම සිදත් සඟරා ප්‍රස්තාවනාව නම් කෘතියේ අනාවැකි පළ කර තිබීමෙන් බි්‍රතාන්‍ය රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කෙරුණු ඒ අධිරාජ්‍යවාදී උපායමාර්ගය අරමුණුගත ඉලක්ක ඉටුකරගනිමින් පැවැති බව වඩාත් තහවුරු කෙරෙයි.

එහෙත්, විසිවැනි සියවස ආරම්භ වන විට ඒ පුරෝකථනය අසත්‍ය වී තිබුණා පමණක් නොව බුදු දහම මෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතික පදනම ද වඩ වඩාත් දීප්තියෙන් බැබළෙමින් පැවැතුණි. අතුරුදන් වන බවට අනාවැකි පළ වී තිබුණු ශ්‍රී ලාංකේය බුදු දහමේ පණිවුඩය ඈත පෙරදිගටත් බටහිර කෙළවරටත් ව්‍යාප්ත වෙමින් පැවැතිණි. දුර්මුඛව – බලාපොරොත්තු රහිතව සිටි ස්වදේශිකයා තුළ දේශීයත්වය හා ජාතිකාභිමානයත් ජාතික නිදහස පිළිබඳ බලාපොරොත්තුවත් නැවත දැල්වෙමින් තිබිණි. වසර පනහක් තුළ අධිරාජ්‍යවාදී බල ව්‍යාපෘතියට තීරණාත්මක පරාජයක් අත්කරදෙමින් සිදු වී ඇති මේ විප්ලවීය විපර්යාසයට පාදක වූ සංසිද්ධිය කුමක් ද? ඒ අන් කිසිවක් නොව, 1873 දී පැවැති පාණදුරා මහා වාදයයි.

පාණදුරා වාදයට පසුබිම සකස් කිරීම අධිරාජ්‍ය ගැති මිෂනාරී ආක්‍රමණයන් තුළින් ම සිදු කෙරිණි. දිගින් දිගටම එල්ල කෙරුණු ප්‍රහාරයන් හමුවේ තවදුරටත් නිහඬව බලා සිටිය යුතු නැති බව වටහා ගත් ස්වදේශිකයෝ තම තමනට හැකි අයුරු ප්‍රතිරෝධයන් දක්වමින් සිටිය හ. බෞද්ධ භික්ෂූන් වහන්සේ මේ අතර මූලික කාර්යභාරයක් ඉටු කර ඇත. පාණදුරේ කේන්ද්‍රගත කර ගනිමින් සිය දාර්ශනික අධ්‍යාපන සේවය දියත් කළ වලානේ සිරි සිද්ධාර්ථ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහි ලා පුරෝගාමියෙකි. උන්වහන්සේ විසින් 1839 දී රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන පිහිටුවනු ලැබීම ස්වදේශික විඤ්ඤාණය අවදි කිරීමේ කඩඉමක් විය. ඒ බව වඩාත් තහවුරු වන්නේ එම පිරිවෙණෙහි පළමු ශිෂ්‍ය කණ්ඩායමෙහි සිටි හික්කඩුවේ සුමංගල හිමියන් ගේ සහ රත්මලානේ ධර්මාලෝක හිමියන් ගේ පසු කාලීන දාර්ශනික සේවය සැලකීමේ දී ය. පාණදුරා මහා වාදයේ බෞද්ධ පාර්ශ්වයේ දාර්ශනික මණ්ඩලයේ වැඩ සිටි ඒ ස්වාමීන් වහන්සේ දෙනම පිළිවෙළින් විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් පිහිටුවීමේ මූලිකත්වය ද දැරූහ. පාණදුරා වාදයේ දී මෙන් ම ඉන් පසුවත් ස්වදේශික ජන සමාජය තුළ බෞද්ධත්වය හා එහි දාර්ශනික පදනම තහවුරු කිරීම පිණිස මෙම නා හිමිවරුන් විසින් ගොඩනඟන ලද දැනුම් සම්භාරය මහෝපකාරී විය. 1865 දී පැවැති පැල්මඬුලු සංගායනාව තුළින් ද බෞද්ධ ආධ්‍යාත්මික ආලෝකයක් උදා වූ බව ද වාර්තා වෙයි. එසේම, තම වාග් චාතුර්යය මනා ලෙස යොදා ගත් වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන්වහන්සේ කොටහේනේ දීපදුත්තමාරාමයේ වැඩ වෙසෙමින් මිෂනාරී ප්‍රචාරයන්ට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වූ සේක. පාණදුරාවාදයට පූර්ගාමීව කැලණියේ වරාගොඩ, බද්දේගම, උදන්විට සහ ගම්පොළ යන ස්ථානයන් හි මෙවැනි වාදාභිමුඛ ප්‍රතිචාරයන් දක්වා තිබීම කැපී පෙනෙයි.

මෙම වාතාවරණය හමුවේ පාණදුරා වැසියන් ගේ සුවිශේෂීතාවය ද වැදගත් කාර්ය භාරයක් ඉටු කර ඇති බව පෙනී යයි. වෙනත් ප්‍රදේශයන්ට වඩා පාණදුරේ බෞද්ධයෝ ආධ්‍යාත්මිකව මෙන්ම ආර්ථිකමයව ද ශක්තිමත්ව සිට ඇත. එවක ගල්කන්දේ විහාරය ලෙස හැඳින්වුණු වර්තමාන රන්කොත් විහාරය එහි කේන්ද්‍රස්ථානය වී තිබේ. එහි වැඩ විසූ වල්පිට ගුණරතන තිස්ස නා හිමියන් හා වැලිගම සිරි සුමංගල නාහිමියන් බෞද්ධ බලය ඒකරාශි කිරීමේ මහඟු සේවයක් ඉටු කර ඇත. 1873 වසරේ මැද භාගයේ ඉරු දිනෙක පාණදුරේ වෙස්ලියන් දේවස්ථානයේ දී දාවිත් ද සිල්වා දේවගැතිතුමා විසින් බෞද්ධ පදනම විවේචනය කරමින් පවත්වන ලද දෙසුමකට පිළිතුරු දෙසුමක් කිසිදු තාක්ෂණික මෙවලමක් නැති සහ පා ගමනින් හෝ බර කරත්ත වලින් පමණක් ගමන් කළ යුතුව තිබූ යුගයක ඊට හරියටම සතියකට පසු ඉරිදා මිගෙට්ටුවත්තේ හිමියන් කොළඹ සිට වැඩමවා පාණදුරේ ගල්කන්දේ විහාරයේදී පවත්වා තිබීමෙන් පමණක් වුව ද මෙම සංවිධාන ශක්තිය මනාව පිළිබිඹු කෙරෙයි.

මුහුණට මුහුණ ලා පුරා දෙදිනක් තම තමන්ගේ ස්ථාවරයන් පිළිබඳව වාද කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත්තේ මෙම දෙසුම් දෙක පාදක කර ගනිමිනි. පාණදුරේ බෞද්ධ ප්‍රභූන් වූ පොන්නහැන්නැදිගේ ජෙරමියස් දියෙස් සහ කුරුකුලසූරියගේ කොර්නේලිස් ප්‍රේරා කරුණාරන්න මහතුන් ද, ක්‍රිස්තියානි පාර්ශ්වය වෙනුවෙන් පීතර් දානියෙල් සහ මත්තසේ සුවාරිස් ගුණවර්ධන නමැති මහතුන් ද, මේ සංවිධාන කටයුතුවලට මූලිකත්වය ගෙන ඇත. ජෙරමියෙස් දියෙස් මහතාට අයත් පාණදුරේ වෙරළබඩ පිහිටි දොඹගහවත්ත නම් භූමියේ ඉදි කෙරුණු වේදිකාවක් මත 1873 අගෝස්තු මස 26 හා 28 දෙදින පුරා වාදය පැවැත්වී තිබේ. බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් මිගෙට්ටුවත්තේ හිමියන් ද, ක්‍රිස්තියානි පාර්ශ්වය වෙනුවෙන් දාවිත් ද සිල්වා දේවගැති තුමා සහ සිරිමාන්න කතිසේරු තුමා ද, වාදාභිමුඛ වී තිබේ. බෞද්ධ පාර්ශ්වය සඳහා හික්කඩුවේ නා හිමියන් සහ රත්මලානේ නා හිමියන් සමඟ වස්කඩුවේ සුභූති, බුලත්ගම ධර්මාලංකාර හිමිවරුන් ඇතුළු විද්වත් සංඝ මණ්ඩලයක් මෙන්ම බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා ද, ක්‍රිස්තියානි පාර්ශ්වයට ගුණවර්ධන, ජයසිංහ සහ චාර්ලිස් සිල්වා ඇතුළු පාදිලි උන්නාන්සේලා ද දාර්ශනිකව හා මතවාදීමය සහය ලබා දී ඇත. වාදය නැරඹීමට දසදහසක පමණ පිරිසක් සහභාගි වූ බව ද, අවසානයේ එය අසා සිටි බෞද්ධ පාර්ශ්වය සිය ජයග්‍රහණය සනිටුහන් කරමින් පවත්වන ලද සාධු නාදය මුහුද ගොඩ ගලන්නා සේ ඇසුණු බව ද වාදය පිළිබඳ ලියැවී ඇති වාර්තා වල සඳහන් වෙයි. එම ස්ථානයේ දීම එඩ්වඩ් පෙරේරා නීතිඥතුමා විසින් සටහන් කෙරුණු වාද වාර්තාව සම්පූර්ණයෙන්ම සිලෝන් ටයිම්ස් ඉංගිරිසි පත්‍රයේ අතිරේකයක් ලෙස පළ කිරීමට එහි කර්තෘ ජෝන් කැපර් මහතා පියවර ගෙන තිබිණි. අමෙරිකාව තෙක් දෝංකාර දුන්නේ එම අතිරේකයේ අන්තර්ගතයයි.

පාණදුරා වාදයේ මහා ජයග්‍රහණය හුදු බෞද්ධ ආගමික ප්‍රබෝධයක් ලෙස බෞතීස්ම කිරීමට සූක්ෂ්ම බලවේග ක්‍රියාත්මක වී ඇති බව ද, ඒවා බොහෝ දුරට සාර්ථක වී ඇති බව ද මේ වන විට පෙනෙන්නට ඇත. බෞද්ධ පාසල් ඇරඹුණ ද ඒවා ආගමික ව බෞද්ධ වුවත් භාෂා මාධ්‍යයෙන් හා සංස්කෟතික හර පද්ධතීන්ගෙන් බටහිර අගයයන් ප්‍රතික්ෂේප නොකරන තත්ත්වයක් නිර්මාණය වී තිබීමෙන් ඒ බව පැහැදිලි වෙයි. ඒවායින් බිහි කෙරෙන අනාගත පුරවැසියන් දේශීය චින්තනය අගය කරන්නන් වීම වැළැක්වීම එම සූක්ෂ්ම ව්‍යාපෘතියේ අරමුණ වී තිබෙන්නට ඉඩ ඇති බවත්, ඒ අනුව යටත්විජිත මානසිකත්වයක් සහිත ජනසමාජයක් ගොඩනැඟීමේ අධිරාජ්‍යවාදී උපාය මැරෙන්නට නොදී සජීවීව පවත්වාගෙන යෑමට මඟ සැකසී ඇති බවත් පෙනී යයි. යම් දිනක සුද්දන් මේ රට අතහැර යන්නේ ඒ අය අනුව සිතන පතන කළු සුද්දන් පිරිසක් රට තුළ බිහි කිරීමෙන් පසුව බවත්, එසේ වූ කල ස්වදේශිකයාට විරවමින් සිටීමට සිදු වන බවත් අනගාරික ධර්මපාල තුමන් ප්‍රකාශ කළේ මේ තත්ත්වය කල් තබා ම වටහා ගත් නිසා විය යුතු ය.

ඉතිහාසය පුනරුච්චාරණය වන බව පාණදුරා වාදයේ පසුබිම සහ වර්තමානයේ ජාතික ස්වෛරීත්වය හමුවේ උද්ගතවෙමින් පවතින අභියෝග සැලකිල්ලනේ නිරීක්ෂණය කරන විට මනා ව පැහැදිලි වෙයි. මේ තත්ත්වයේ අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ ශ්‍රී ලාංකිකයාට නැවත වටයක් ශ්‍රී ලංකාව අහිමි වී යෑමයි. අලුත් පාණදුරා වාදයක් මේ මොහොතේ ඉතා කාලීන වන්නේ මීට වසර 150 කට පෙර මෙන් ම ස්වෛරීත්ව අවදානමේ සිටින ජාතිය නැවත අවදි කළ යුතුව ඇති බැවින් සහ ඊට අවශ්‍ය පන්නරය පාණදුරා වාදයේ පාඩමෙන් මනාව සැපයෙන බැවිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment