ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත ගත් අයට රුධිර කැටි ඇති විය හැකියි

172

සමාගම උසාවියේදී පිළිගනියි

එංගලන්තයට හා ස්වීඩනයට අයත් දැවැන්ත බෙහෙත් සමාගමක් වන ‘ඇස්ට්‍රාසෙනෙකා’ සමාගම තමන් නිපදවූ කොරෝනා එන්නත හරහා දුර්ලභ අතුරු ආබාධ තත්ත්වයක් වන රුධිර කැටි ඇති වීමේ හා රුධිර පට්ටිකා අඩු වීමේ රෝගය හෙවත් ‘ත්‍රොම්බෝසීස් ත්‍රොම්බෝසයිටෝපේනියා සින්ඩ්‍රෝම් (ටීටීඑස්) රෝගය ඇති විය හැකි බව අධිකරණයට ඉදිරිපත් කළ ලියවිල්ලක් හරහා පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉකුත් පෙබරවාරි මාසයේදී එංගලන්තයේ මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද නීති ලියවිල්ලක් මගින් ඇස්ට්‍රාසෙනෙකා සමාගම මේ බව පිළිගෙන තිබේ.

ඇස්ට්‍රාසෙනෙකා සමාගම නිපදවූ කොරෝනා එන්නත විද ගැනීමෙන් බොහෝ දෙනකු මරණයට පත් වූ බවත් තවත් පිරිසකට දරුණු ආබාධ හටගත් බවත් පවසමින් එංගලන්ත මහාධිකරණය හමුවේ අදාළ සමාගමට එරෙහිව නඩු 51ක් ගොනු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම සමාගම මේ බව අනාවරණය කර ඇති බව එංගලන්තයේ පළ වන ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත පවසයි.

එහිදී පෙත්සම්කරුවන් වින්දිතයන් හා එන්නත විදීමෙන් අනතුරුව මිය ගිය අය වෙනුවෙන් ඇස්ට්‍රාසෙනෙකා සමාගමෙන් පවුම් මිලියන 100කට අධික වන්දි මුදලක් ඉල්ලා තිබේ. කෙසේ වුවද ඉකුත් 2023 වසරේ මැයි මාසයේදී ඇස්ට්‍රාසෙනෙකා සමාගමේ නීතිවේදීන් සමාගමට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවලට පිළිතුරු සපයමින් පවසා තිබුණේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් ත්‍රොම්බෝසීස් ත්‍රොම්බෝසයිටෝපේනියා සින්ඩ්‍රෝම් රෝගය ඇති වන බව පිළිගත් නොහැකි බවයි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් නිපදවූ කොරෝනා එන්නත ‘වැක්ස්සෙවේරියා’ හා ‘කොවිෂිල්ඩ්’ යන වෙළෙඳ නාමයන් යටතේ නිපදවා නිකුත් කරනු ලැබිය. මෙම එන්නත කොරෝනා ආසාදනයෙන් වැළකීම සඳහා නිපදවා තිබූ සෙසු එන්නත් 39ක පමණ සංඛ්‍යාවට වඩා ලොව වැඩි ජනතාවකට ලබා දී ඇති බව හෙළි වී තිබේ. විදෙස් මාධ්‍යවලට අනුව එම එන්නත් මාත්‍රා බිලියන 1.3කට අධික සංඛ්‍යාවක් කොරෝනා සමයේ ජනතාවට ලබා දී තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment