චීනයෙන් හමුදාවට ලැබුණු සයිනොෆාම් එන්නත් හමුදා සාමාජිකයන්ට සහ පවුල්වල අයට

718

මහජන චීනයෙන් ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට ලැබුණු සයිනොෆාම් එන්නත් 300,000 තොගය හමුදා සාමාජිකයන්, ආබාධිත හමුදා සාමාජිකයන්, රණවිරුවන්ගේ වැන්දඹුවන්/ ඔවුන්ගේ යැපෙන්නන්ට සහ විශ‍්‍රාමික රණවිරුවන් හට ලබාදීමට අපේක්ෂා කරන බව ශ‍්‍රී ලංකා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ‍්‍රාමික) මහතා පැවසීය.

 මෙම සයිනොෆාම් එන්නත් මාත‍්‍රා 300,000 ක තොගය පෙරේදා (28 දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ශ‍්‍රී ලංකා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ‍්‍රාමික) වෙත ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් විසින් නිල වශයෙන් භාරදෙනු ලැබීය.

 මේ වන විටත් හමුදා සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් එන්නත් කර ඇති හෙයින් ඉතිරි එන්නත් තොගයෙන් කොටසක් සාමාන්‍ය ජනතාවට ලබාදීමට පහසුකම් සලසාදිය හැකි බවට ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

 මේ අතර, කාලීන වශයෙන් ඉතා වැදගත් වන මෙම සහයෝගය වෙනුවෙන් මහජන චීන ජනරජය, චීන ආරක්ෂක අමාත්‍යාංශය සහ ඔවුන්ගේ ආරක්ෂක ඇමැති වෙත ජෙනරල් ගුණරත්න සිය කෘතඥතාව පළ කළේය.

 දෙරට අතර පවතින දිගුකාලීන සබඳතාවය පිළිබඳව සිහිපත් කරමින් ජ්‍යෙෂ්ඨ කර්නල් ඩොන්ග් පැවසුයේ, දුෂ්කර අවස්ථාවලදී ශ‍්‍රී ලාංකිකයන්ට තම සහයෝගය ලබාදීමට චීන ජනතාව පසුබට නොවන බවයි.

 කොවිඞ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම එන්නත් තොගය විශාල ලෙස සහාය වනු ඇති බවද ඔහු පැවසීය.

 චීන ආරක්ෂක ඇමැති ජෙනරල් වෙයි ෆෙන්ග්හි, මෙම වසරේ අපේ‍්‍රල් මස සිදුකළ නිල ශ‍්‍රී ලංකා සංචාරය අතරතුරදී ආරක්ෂක ලේකම් ජෙනරල් ගුණරත්න විසින් කරන ලද ඉල්ලීමකට අනුව මහජන චීන ජනරජයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම එන්නත් තොගය පරිත්‍යාග කරන ලදී.

 ජෙනරල් ගුණරත්න විසින් මෙම අවශ්‍යතාවය, දෙරටෙහි නිලධාරීන් අතර පැවති ද්විපාර්ශ්වීය සාකච්ඡුාවේදී පෙන්වා දෙනු ලැබුවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය මැ`ඩපැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් සිදුකරන විශාල කාර්යභාරය හේතුවෙනි.

 ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාෂල් ප‍්‍රසන්න පායෝ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment