පොම්පකරු ඉන්ධන බලපත්‍රය ඉල්ලූ විට  ‘අපි ඇමැතිගේ මිනිස්සු…’  – තෙල් ගහපන් යැයි තර්ජනය කරලා

264

මහරගම ඉන්ධනහලට  කඩා වැදුණු මැරයෝ  කළමනාකරුට හා සේවකයන්ට පහරදී පලායති

මැර පිරිස පොම්පකරුවන්ට පහර දෙන  අයුරු ඡායාරූපවලින් දැක්වේ.

අපි ඇමැතිගේ මිනිස්සු යැයි මරණීය තර්ජනය කරමින් මහරගම ඉන්ධන හලකට කඩා වැදුණු මැර පිරිසක් එහි සේවකයන්ට සහ කළමනාකරුට පහර දී පළා ගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි.

ඉකුත් ඉරුදින 25 රාත්‍රියේ කුඩා වෑන් රථයකින් පැමිණ තිබූ පුද්ගලයකු ඉන්ධන ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී ඉන්ධන අවසර පත්‍රය පොම්පකරු ඉල්ලා ඇති අතර එහිදී ‘යකෝ අපි අහසින් වැටුණු මිනිස්සු නොවෙයි, ගහපන් තෙල් යකෝ” යැයි පවසා වෑන් රථයෙන් බිමට බැස පොම්පකරුට පහර දීමට උත්සාහ කර තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව පොම්පකරු එම පුද්ගලයාට පොම්පයෙන් පෙරලා පහරදීමට උත්සාහ කිරීමේදී සේවකයන් පැමිණ සිද්ධිය සමථයකට පත්කර ඇති අතර එම පුද්ගලයා නැවත එන බව පවසා වෑන් රථයෙන් පිටවී ගොස් ඇත.

පොම්පකරු සමග බහින්බස් වූ වෑන් රථ රියැදුරු තවත් කිහිපදෙනකු සමග මඳ වේලාවක් තුළදී ඉන්ධනහල වෙත පැමිණ තිබේ. එහිදී ‘යකෝ අපි ඇමතිගෙ මිනිස්සු’ යැයි කෑගසමින් සේවකයන් දෙසට පැමිණෙනවාත් සමග ඔවුන් තම ජීවිත ආරක්ෂාව පතා ඉන්ධන හලේ කාර්යාලය තුළට දුව ගොස් ඇති අතර මැර පිරිස කාර්යාලය තුළට කඩා වැදී එම සේවකයන්ට මෙන්ම කළමනාකරුටද පහර දී මරණීය තර්ජනයකර පිට වී ගොස් ඇතැයි ඉන්ධනහලේ සේවකයන් කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

වෑන් රථයෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයා පොම්පකරු සමග බහින්බස් වන අයුරු සහ මැර පිරිස පොම්ප කරුවන්ට සහ කළමනාකරුට පහර දෙන අයුරු ඉන්ධනහලේ සවිකර තිබෙන සීසීටීවී කැමරාවේ සටහන් ඇතැයි පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 

advertistmentadvertistment
advertistmentadvertistment