දෙමව්පියනි, නෙත් අරින්න – ඔබේ දරුවා බේරගන්න රටම ගිලගත් විද්‍යුත් දුම්වැටි ජාවාරමක්

306

විවිධ සුවඳ නිසා හඳුනාගැනීමට සුරාබදු නිලධාරීන්ට ද නොහැකියි
Online ක්‍රමයට අලෙවි කරයි
ශ්‍රාමීය පාසල් දරුවෝ වැඩි වශයෙන් ඉලක්ක වෙති

ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ තුළ ඉතා ශීඝ්‍රයෙන් විද්‍යුත් දුම්වැටි, උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි මහතා ඊයේ (11දා) පැවසීය.

දෙමව්පියනි, නෙත් අරින්න - ඔබේ දරුවා බේරගන්න රටම ගිලගත් විද්‍යුත් දුම්වැටි ජාවාරමක්

ඒ මහතා එසේ පැවසූවේ ගම්පහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජාඇළ විශේෂ සුරාබදු වැටලීම් ඒකකය මගින් සිදු කර තිබූ වැටලීමකින් පසුව අත්අඩංගුවට ගත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් පරීක්ෂා කිරීමේ නිරත වෙමින් සිටිය දීය.

මේ වනවිට කොළඹ, ගම්පහ, පානදුර වැනි අගනුවර කේන්ද්‍ර කර ගත් තදාසන්න ප්‍රදේශවල මෙම විද්‍යුත් දුම්වැටි වයස අවුරුදු 40ට අඩු පාසල් සිසුන් ඇතුළු පිරිස අතර භාවිත වන බව සිදු කරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

එහෙත් මේ වනවිට ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දුරබැහැර ප්‍රත්‍යන්ත ප්‍රදේශ කරා ද මෙම දුම්වැටි ව්‍යාප්ත වෙමින් පවතින බවට නිදසුනක් ලෙස රත්නපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවෙකු, මෙවැනි විද්‍යුත් දුම්වැටියක් තම පාසල තුළට රැගෙනවිත්, එක් වාරයක් දුම්පානය කිරීම සඳහා රුපියල් 20ක මුදලක් අය කර ගෙන ඇති බව දෙමාපියන් විසින් පාසලට, පොලිසියට සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිලි කර තිබේ .

මෙම විද්‍යුත් දුම්වැටි දැනට මාර්ගගත ක්‍රමයට (Online) අලෙවි කිරීම සහ බෙදාහැරීම සිදු කෙරෙන අතර එම දුම්වැටි ස්මාර්ට් අත්ඔරලෝසු, පෙන් ඩ්‍රයිව්, විදුලි බල ගබඩා (Power Bank), සුවඳ විලවුන් බෝතල් යන ආකාරවලින් නිෂ්පාදනය කර තිබෙන නිසා මෙය දුම්වැටියක් ලෙස හඳුනාගැනීමට අපහසු වී ඇති අතර මෙම දුම්වැටි පාසල් සිසුන් සහ තරුණයන් තම පරිගණකය අසල සුවඳ විලවුන් බෝතල් අසල තැබීමට වග බලා ගෙන තිබේ.

එම දුම්වැටි තුළින් සාම්ප්‍රදායික දුම්කොළ ගන්ධය නිකුත් නොවන අතර ඇපල්, දොඩම්, අඹ, කෙසෙල් සහ චෙරි සුවද වැනි සුවඳවල් නිකුත් වීම නිසා මෙය දුම්වැටියක් ලෙස සිතා අවශ්‍ය පියවර ගැනීමට අපහසු වී තිබේ .

මෙම දුම්වැටියක් තුළ දුම් වාර 50,000 ක් හෝ 60,000 ක් පමණ ඇති අතර වෙළෙඳ පොළේ විකිණීමට ඇති දුම්වැටියක් ආකාරයට දැල් වීමෙන් පසු එය දැල් වී අවසන් වන තෙක් පානය කළ යුතු වුවද, මෙම දුම්වැටි තමන් කැමති ඕනෑම වේලාවක පානය කිරීමට හැකි වීම විශේෂත්වයකි.

මෙම දුම්වැටි නැවත , නැවත විදුලිය ආරෝපණය කිරීම මගින් අවශ්‍ය වේලාවට දුම් පානය කිරීම සඳහා යොදා ගතහැකි අතර මෙම දුම්වැටි කෘතිමව දුම් නිෂ්පාදනය කරන බැවින් සහ විෂ සහිත බැවින් සහ දැඩි ලෙස ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන , උග්‍ර පිළිකා කාරක බව නිසා ම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය තහනමට ලක් කර තිබේ.

දැනට මෙම විද්‍යුත් දුම්වැටි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ වරාය සහ මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව තුළට පැමිණෙන බව ද සොයා ගෙන තිබේ .

මෙම විද්‍යුත් දුම්වැටි ක්ෂණිකව හඳුනාගැනීමට අධ්‍යාපන බලධාරීන්, පොලිසිය සහ සුරාබදු නිලධාරීන්ට නොහැකි වීම නිසා මෙම දුම්වැටි මර්දනය කිරීම ද අපහසු වී ඇති බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment