පෝද්දල දී පොලිසිය ත්‍රී රෝද රථයකට වෙඩි තබයි

601


ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පාතාල මැරයන් දෙදෙනකු ගාල්ල පෝද්දල නගරයේදී පොලිස් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් සමඟ පොරබදා සැකකරුවන් පලා ගොස් තිබේ.
එම අවස්ථාවේදී පලා ගිය ත්‍රිරෝද රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත.
පෝද්දල නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඊයේ පෙරවරුවේ සැකකටයුතු ත්‍රිරෝද රථයක් නවතා පරීක්‍ෂා කර ඇත.

එහිදී ත්‍රිරෝද රථයට අදාළ කිසිදු බලපත්‍රයක් නොමැති බව තහවුරු වීම නිසා එහි පැමිණි දෙදනා අත්අඩංගුවට ගැනීම සඳහා අත්මාංචු දැමීමට සූදානම් වූ අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පිටුපස සිටි පුද්ගලයා පොලිස් නිලධාරීන් සමඟ පොරබදා පලාගොස් ඇති අතර ඒ සමඟම ත්‍රිරෝද රථය පදවාගෙන පැමිණි අනෙක් පුද්ගලයාද රථය පණගන්වා පලා ගොස් ඇත.

ත්‍රිරෝද රථය ඉදිරියට යෑමේදී එක් පොලිස් නිලධාරියකු එයට වෙඩි තබා ඇතත් වෙඩි ප්‍රහාරයද නොතකා ඉදිරියෙන් පැමිණි වෙනත් ත්‍රිරෝද රථයකද අනතුරට ලක්කරමින් එහි සිටි සැකකරු ත්‍රිරෝද රථය නොනවත්වා වේගයෙන් ගාල්ල උළුවිටිකේ දෙසට ධාවනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එහිදී තුවාල ලැබූ අනතුරට පත් ත්‍රිරෝද රථයේ රියැදුරා රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර පසුව පලා ගිය සැකකරු ත්‍රිරෝද රථය ගාල්ල උළුවිටිකේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ නිවස ආසන්නයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පෝද්දල පොලිසිය විමර්ශන සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment