පාස්කු බෝම්බකරුට රිෂාඩ්ලා විශේෂ අනුග‍්‍රහයක් දීලා – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

653

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින් වැඩිදුර විමර්ශන සිදු කරනුයේ පාස්කු බෝම්බකරුවකු වන ඉන්ෂාෆ් අහමඞ් නමැත්තාට ඔවුන් විශේෂ අනුග‍්‍රහයක් දක්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වීම නිසා වන්නේ යැයි නීතිපතිවරයා ඊයේ (28 දා* ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය.

එකී බෝම්බකරුගේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පිහිටි තඹ කම්හල 2017 වසරේදී ආරම්භ කර ඇත්තේ රිෂාඞ් බදුර්දීන් කර්මාන්ත හා වානිජ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා එහිදී අධිකරණයට කීවේය. ක්ලෝසස් ලංකා පුද්ගලික සමාගම නමැති එම තඹ කම්හලට කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් අබලි ද්‍රව්‍ය හා ලෝහ ද්‍රව්‍ය වලින් සියයට 86 ක ප‍්‍රමාණයක් ලබාදීමට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ සන්මුගපිල්ලේ බාලසුබ‍්‍රමනියම් නමැත්තා ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් පවා නොතකමින් පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට කීවේය.

එකී බෝම්බකරුගේ තඹ කම්හලට සුවිශේෂී අනුග‍්‍රහය දැක්වීම සම්බන්ධයෙන් එවකට එම අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රිෂාඞ් බදුර්දීන් සහ ඔහුගේ සම්බන්ධිකරණ ලේකම් ලෙස කටයුතු කළ රියාජ් බදුර්දීන් බලපෑමක් නොකළ බවට විශ්වාස කළ නොහැක්කේ යැයි ද මාධව තෙන්නකෝන් මහතා එහිදී අධිකරණයට කීවේය. කොළඹ ප‍්‍රදේශයේ පිහිටි එක්තරා බැංකුවකින් එකී සමාගම රුපියල් කෝටි ගණනක මුදලක් ඩොලර් බවට පත්කර ඇති බවට තොරතුරු හෙළිවීම නිසා සන්මුගපිල්ලේ බාලසුබ‍්‍රමනියම් නමැත්තා ත‍්‍රස්තවාදී කටයුතු සඳහා අරමුදල් සැපයීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරා ඇතත් ඔහු විදේශගත වීම නිසා එම උත්සාහය ව්‍යර්ථ වී ඇතැයි ද මාධව තෙන්නකෝන් මහතා එහිදී අධිකරණයට පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමන් අධිකරණයට ඉදිරිපත් කිරීමට සහ මුදාහැරීමට නියෝග කරන ලෙස ඉල්ලා රිෂාඞ් බදුර්දීන් හා රියාජ් බදුර්දීන් යන මහත්වරුන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම විජිත් මලල්ගොඩ, මුර්දු ප‍්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (28 දා* සිදුකෙරිණි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ වැඩිදුර කරුණු දැක්වීම ලබන අගෝස්තු 25 වැනිදා දක්වා කල්තැබීමට අධිකරණය එහිදී නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment