අර්බුදය කොතැනද විසඳුම එතැනටද?

194

දේශපාලන බහුතර එකඟතාවයකින් ඇති කරගන්නා පොදු වැඩසටහනක් යටතේ මේ රට ඉදිරියට ගෙන යෑමට කටයුතු නොකළහොත් එහි අහිතකර ප්‍රතිඵලය ද විඳීමට සිදුවන්නේ නැවතත් මේ රටේ ජනතාවට මයි. මේ වන විට රටේ ආර්ථිකය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට සිදු කරගෙන යන ප්‍රතිපත්තිමය කාරණා සහ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම ඉතාම වැදගත් වනු ඇත.

මතු පිටින් බලන කෙනෙකුට පෙනෙන්නේ මේ වන විට ආර්ථිකය යම් ආකාරයකින් ශක්තිමත් වී ඇති මුහුණුවරකි. නමුත් එවැනි තත්ත්වයකට අප සම්පූර්ණයෙන්ම ගමන් කර නොමැති බව තේරුම් ගත යුතුව ඇත. මීට මාස 18 කට පමණ ඉහතදී ශ්‍රී ලංකාවේ ඇතිවූ ආර්ථික අර්බුදය මේ රටේ සියලුම ජනතාවට එක ලෙස බලපෑ බවත් එයට පොදුවේ සියල්ලම මුහුණ දුන් බවත් නැවත වරක් විග්‍රහ කිරීමට අවශ්‍ය නොවනු ඇත.

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වරින්වර දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමේ අහිතකර ප්‍රතිඵලය අපට 2021 සහ 20222 වසර තුළදී ප්‍රායෝගිකව අත් විඳීමට සිදු විය. දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ ආර්ථිකය දිගු කාලීන සැලසුමක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හා දේශපාලන උවමනාවන් මත ආර්ථිකය හැසිරවීම හේතුවෙන් අර්බුදයේ උච්චතම අවස්ථාවට මුහුණ දීමට රටක් වශයෙන් සිදුවිය.

ආර්ථික අවපාතයකින් රටක් පත්විය හැකි උච්චතම අවස්ථාව වන මානුෂීය අර්බුදය කරා ළඟාවීමේ අවාසනාවන්ත ඉරණමට අප නොවැටුණේ එක්තරා ආකාරයකට රටේ ජනතාවගේ වාසනාවට විය හැක.

වර්තමාන ගෝලීය ආර්ථිකය තුළ අර්බුදයේ ආරම්භය විදේශ සංචිත හීන වීම හා ණය බර ඉහළ යෑමයි.

ඉතිහාසය දෙස ආපස්සට හැරී බලන විට වසරින් වසර අපි මේ ආර්ථික අර්බුදයට කෙමෙන් කෙමෙන් යමින් තිබුණු බව පැහැදිලි ය. එදා වසර ගණනාවකට පෙර අපනයන ආර්ථිකයක් තුළ ශක්තිමත් වූ ශ්‍රී ලංකාව අද වෙනකොට අති විශාල ලේස යැපුම් ආර්ථිකයක් මත පදනම් වූ ආනයන මත රඳා පවතින තත්ත්වයකට පත්ව තිබුණි.

එහි අහිතකර ප්‍රතිඵලය අපිට 2022 වසරේ ඉන්ධන නොමැති වීම, ගෑස් නොමැතිවීම, ඖෂධ නොමැතිවීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟ වීම වැනි සාධකවලින් හා රට අභ්‍යන්තරයේ පොලී අනුපාතිකයන් ඉහළ යෑම, උද්ධමනය ඉහළ යෑම හා අධික ලෙස දේශීය වශයෙන් ජනතාව ණය වීම මගින් පැහැදිලි විය.

අපනයන ආර්ථිකය කෙමෙන් ආනයන ආර්ථිකයක් වෙත ගමන් කිරීම මෙන්ම තවත් සාධනීය කාරණාවක් නම් රටේ දේශීය හා විදේශීය ණය බර දරාගත නොහැකි ආකාරයෙන් විශාල ලෙස ඉහළ යෑමයි. 2022 වසර වන විට ශ්‍රී ලංකාවට එය කිසිසේත්ම එය ධාරා ගැනීමට නොහැකි අගයක් ගැනීම මේ අටේ අර්බුදය තවත් තීව්‍ර වීමට හේතු විය. අධික ණය බරත් සමග ඇතිවූ තවත් අහිතකර ප්‍රතිඵලයක් ලෙස රටේ මූල්‍ය ස්ථාවරත්වය අසාමාන්‍ය ආකාරයෙන් කඩා වැටීම හා බැංකු වැනි මූල්‍ය ආයතනවල ස්ථාවරභාවයට දැඩි ලෙස හානි වීමයි.

ණය ගෙවීමට හැකියාව නොමැති නැවත ණය අයකර ගැනීමට මූල්‍ය ශක්තිය නොමැති රටක් ලෙස ශ්‍රී ලංකාව නම් වීමත් සමග අපට රටක් ලෙස ඉදිරියට යෑම අසීරු කාරණාවන් විය. අධික ආනයන සහ විදේශ ණය හේතුවෙන් ඉතා අසීරුවෙන් ඉදිරියට ගිය රට ඉතා වේගයෙන් බංකොලොත් භාවයටම යමින් තිබුණි රට ආර්ථික වශයෙන් බංකොලොත් වීම… රටේ විදේශ සංචිත හීන වීම, දේශීය හා විදේශීය අධික ණය බර නිසා, ණය නොගෙවන රටක් ලෙස ප්‍රකාශ වීමත් සමග රටේ මූල්‍ය පද්ධතිය කඩා වැටී මූල්‍ය අස්ථාවර හේතුවෙන් රට තුළ ඊළඟ අර්බුදය වන දේශපාලන අර්බුදය ඇති විය.

2022 වසර තුළ ඇතිවූ දේශපාලන අර්බුදයේ භයානකකම සහ එහි බිහිසුණු බව අප කිසිසේත්ම අමතක නොකළ යුතුයි. ලෝකයේ ඕනෑම රටක මෙවන් ආර්ථික අර්බුද පසුබිමක් තුළදී බිඳවැටුණු රට නැවත ගොඩගැනීම සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් වේ. අප කතා කරන ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථා වන මානුෂීය අර්බුදයේ ආරම්භක පඩිපෙළට ළඟා වුණු අප රට, දිගින් දිගටම ගමන් කළේ අති බිහිසුණු ආර්ථික අර්බුදයන් කරාය.

දේශපාලන අර්බුදයෙන් ඔබ්බට ගිය ආර්ථික කඩා වැටීමක් හමුවේ මානුෂීය අර්බුදයට මුහුණ දුන් රටක් නැවත ගෙඩ නැගීම ඉතා අසීරු කාරණාවකි. එවන් අවාසනාවන්ත තත්ත්වයකට පත්වූ රටවල් තවමත් ආර්ථික හා සමාජීය වශයෙන් ගොඩ නැගී නැත.

රටේ යම්කිසි වාසනාවකට එවන් තත්ත්වයකට අප රට පත් නොවී අර්බුදය යම් ලෙසකට කළමනාකරණ කරමින් රට අවාසනාවන්ත තත්ත්වයකට පත් නොවී අර්බුදය පාලනය කිරීමට හැකි වී තිබීම ගැන අපට යම් සැනසිල්ලක් වනු ඇත. මානුෂීය අර්බුදයට අපට මුහුණ දීමට සිදු නොවීම පමණින් රට යම් ස්ථාවර තත්ත්වයක සිටන බව සිතීම හා එවැනි සිතුවිල්ලක් මත කටයුතු කිරීම හා එවැනි සිතුවිල්ලක් මත රටේ ජනතාව ක්‍රියාත්මක වීම සිදු නොවිය යුත්තක් ලෙස හැඳින්විය යුතුයි.

මෙම අර්බුදය කළමනාකරණය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය දැනුමට අතිරේකව ස්ථිර අධිෂ්ඨානයක් තිබීම හා ඒ වෙනුවෙන් අඛණ්ඩ ක්‍රමවේදයන් පවත්වාගෙන යෑම ඉතාමත් අත්‍යවශ්‍ය වනවා. රටේ සමස්ත ආර්ථික අර්බුදයම ජයගැනීම සඳහා දේශපාලන කණ්ඩායම් අතර කිසියම් සමගියක් හා ඒකාග්‍රතාවක් තිබිය යුතුමය.

2024 අයවැය ඉදිරිපත් කරද්දි එක්තරා තැනක දී මා සඳහන් කළ සිටියා 2023 වසරේ අය වැයට සමගාමී දිගුවක් ලෙස ඉදිරිපත් කළ අය වැයක් ලෙස 2024 අයවැය දකින බව. ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය තිබෙන්නේ යම් තැනකද, එතැනින් තවත් ඉදිරියට යෑමට නම් වසර කීපයක් ඉදිරියට ඇදෙන ආර්ථික ප්‍රතිසංස්කරණවලින් හා ස්ථිර රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තුළ ඉදිරියට යෑම අවශ්‍ය වේ.

ඒ වෙනුවෙන් ආරම්භ කර තිබෙන වැඩසටහනට ඇතුළත් කර පරිපූර්ණ ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් හදාගනිමින් එය අඛණ්ඩව ඉදිරියට ගෙන යායුතු බව මාගේ විශ්වාසයි. යම් හෙයකින් එම ක්‍රියාදාමයේ අඛණ්ඩතාවය බිඳ වැටීමක් සිදු වුවහොත් සිදුවන ආණ්ඩු පෙරළියක් පවා රට විශාල විනාශයකට තල්ලු කිරීමට හේතු විය හැක.

දේශපාලන බහුතර එකඟතාවයකින් ඇති කරගන්නා පොදු වැඩසටහනක් යටතේ මේ රට ඉදිරියට ගෙන යෑමට කටයුතු නොකළහොත් එහි අහිතකර ප්‍රතිඵලය ද විඳීමට සිදුවන්නේ නැවතත් මේ රටේ ජනතාවට මයි.

මේ වන විට රටේ ආර්ථිකය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට සිදු කරගෙන යන ප්‍රතිපත්තිමය කාරණා සහ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම ඉතාම වැදගත් වනු ඇත. මෙහිදී විශේෂයෙන් මතක් කළ තවත් කාරණාවක් ඇත. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

ශ්‍රී ලංකාවට ලබාදුන් උපදේශනයන් ය. බහුතරයක් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි ලෙස සඳහන් කළත් මා එය ඔවුන් ශ්‍රී ලංකාවට ලබාදුන් උපදෙස් මාලාවක් ලෙස සඳහන් කිරීමට කැමතිය.

ඔවුන් දෙන උපදෙස් මාලාව අනුව කටයුතු කිරීම හෝ නොකිරීමට පවතින ඕනෑම පාලනයකට තම දේශපාලන වුවමනාවන් මත සිදු කිරීමට හැකියාවක් ඇත. නමුත් විශේෂයෙන්ම ඉතිහාසය තුළ ආපසු හැරී බලන කල

ශ්‍රී ලංකාව මෙවන් ආර්ථික අර්බුදකාරී වාතාවරණයකට මුහුණ දීමට සිදු වීම පසුපස දේශපාලන වශයෙන් ගත් තීන්දු හා තීරණ බලපෑ බවත් එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 16 වතාවක් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සපයන විට ඔවුන් ලබා දුන් උපදේශනයන් නිසියාකාරව සිදු කරා නම් අද රට තුළ මෙවන් තත්ත්වයක් ඇති නොවීමට ඉඩ තිබුණි. රට තුළ සිදුවී ඇති සැබෑ ආර්ථක අර්බුදය හඳුනා ගැනීම දේශපාලඥයන්ගේ සහ පාලකයන්ගේ වගකීමක් වනු ඇත. අවශ්‍ය වෙන්නේ නිවැරදි ප්‍රතිපත්තිමය රාමුවක් යටතේ නිසි මූල්‍ය ප්‍රතිපත්තියක් හා විනයක් ලෙස ඉදිරියට යෑමයි. එය අඛණ්ඩව වසර කිහිපයක් තුළ ඉදිරියට යෑමට නොහැකි වූවොත් නැවතත් රට තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැක.

අපේ රටේ දේශපාලන බල හුවමාරුව රටේ අනාගත ප්‍රතිසංස්කරණ වැඩසටහනක් යම් ආකාරයකට ආපස්සට ඇද දැමීමකට හේතුවක්ද විය හැක. ආණ්ඩුවට හා විපක්ෂයට ජනතාව කෙරෙහි වගකීම දේශපාලන අරමුණුවලට ඔබ්බෙන් තිබිය යුතුමය. නිවැරදි නිසි ජාත්‍යන්තර පිළිගැනීමක් සහ ජාත්‍යන්තර විශ්වාසයක් මත සකස් වුණු ක්‍රමවේදයක් සහිත ආර්ථික ප්‍රතිපත්තිමය විකාශයක්, මූල්‍ය ක්‍රමවේදයක් රට තුළ තවත් වසර ගණනාවක් ඉදිරියට තිබිය යුතුය.

ආණ්ඩුවෙන් විපක්ෂයේ පොදු අරමුණ විය යුත්තේ ජනතාවගේ සහ රටේ ජයග්‍රහණයයි. මේ වෙනතුරු රට තුළ ක්‍රියාත්මක කර ඇති සහ ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය ඉදිරියට ගෙන ගෙනයෑමේ වගකීම රජය සහ විපක්ෂය සතුවේ. ඒ වෙනුවෙන් සුදුසුම ක්‍රමවේදය පිළිබඳව පොදු සාකච්ඡාවකින් සියලු දෙනාගේ පිළිගැනීමට හා එකඟතාවයෙන් සිදුකළ යුතුය.

නැවත වතාවත් ශ්‍රී ලංකාව තුළ සමස්ත ක්‍රමයේ විශාල බිඳවැටීමක් සිදුවුවහොත් රට නැවත බංකොලොත් හා අරාජික තත්ත්වයකට තල්ලුවී යනු ඇත. ලංකාව මුහුණ දී තිබෙන අභියෝගය ජය ගත හැකි එකම ක්‍රමය පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ සහයෝගය මත පදනම් වූ නිවැරදි ආර්ථික කළමනාකරණ ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යෑමයි. ජනාධිපතිවරයාට හා රජයට පමණක් මේ බර තනිව උසුලාගෙන යෑමට දීම, රට ලෝකය ඉදිරියේ ගෙන යෑමට තිබෙන ප්‍රබලම අභියෝගය වනු ඇත.

සැබෑ ලෙසම අර්බුදකාරී ලෙස විනාශ වූ ආර්ථිකය නැවත ගොඩ ගැනීමට හා රටේ ජනතාවගේ සුබසිද්ධිය අපේක්ෂා කරන දේශපාලන ප්‍රවාහයන් රට තුළ ක්‍රියාත්මක වනවා නම් සියලුම දෙනා එකම තැනක එකම අරමුණක සිට රට බංකොලොත් භාවයෙන් මුදා ගෙන යම් ස්ථාවරයකට ගෙන ඒමට කටයුතු කළ යුතුය.

අර්බුදය කොතැනද විසඳුම එතැනටද?

තුසිත පෙරේරා
ආර්ථික හා දේශපාලන විශ්ලේෂක

advertistmentadvertistment
advertistmentadvertistment