දරුඵල අහිමිද? – අනුහස් පිරි විශේෂ පූජාවක්…

229

ස්ත්‍රි පුරුෂ දෙදෙනකු ප්‍රේමණීය හෝ යෝජිත විවාහයකින් එක් වහලක් වෙත සම්ප්‍රාප්ත වන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු පෙරදැරි කරගෙනය. ප්‍රජාවගේ පැවැත්ම වන්නේ යහපත් විවාහයයි. එහි අග්‍රඵලය නිරෝගි දරු සම්පතයි. ඒ අතර එම මනාල මනාලි යුවල ගේ මූලිකම අපේක්ෂාව වනුයේ හුදෙක් ලෞකික සැප සම්පත් විඳිමින් වාසනාවන්ත නිරෝගි දරු සිඟිත්තෙකුගේ මුහුණ බැලීමයි. මේ ලෝකයේ උතුම්ම සම්පත දරු සම්පතයි. නමුත් අපට වර්තමාන සමාජය දෙස අවධානය යොමුකිරීමේදී දරුවන් නොමැතිව කනගාටුදායක ජීවිත ගත කරන විවාහක විශාල පිරිසක් අප සමාජයේ දැක ගැනීමට හැකිය. ඔවුන් දරුවන් නොමැතිව මානසික පීඩනයට ලක්ව සුසුම් හෙළමින් සිටී. යහපත් සාර්ථක විවාහයක් තුළින් දරුවන් අපේක්ෂා කළ හැකිවුවත් පොරොන්දමට පමණක් සීමාවීම වී ග්‍රහ ගැලපීම් නොසලකා හැරීම තුළ මෙවැනි තත්ත්වයක් උදා වී ඇත. මෙවැනි තත්ත්වයක් උදාවූ විට බොහෝ අවස්ථාවල ඇඟිල්ල දිගු වන්නේ කාන්තාවට වුවද ඒ සඳහා පුරුෂයා ද වගකිව යුතුය. සෑම කාන්තාවක්ම විවාහයෙන් පසු දරුඵල අපේක්ෂා කළත් දරුඵල අහිමි කරන ග්‍රහ පිහිටීම් නිසා හැම කාන්තාවක්ම එම තත්ත්වයට පත් නොවේ. ලෝකයේ උත්තරීතර ම පදවිය වන මව් පදවිය ලබා ගැනීමට ප්‍රබල පින්බලයක් මෙන්ම වාසනා ගුණයක් ද පැවතිය යුතුය. දරුඵල රහිත පුරුෂයන් ද කොතෙකුත් අප සමාජයේ සිටී. අද සමාජයේ මෙම කාරණාව මතම බොහෝ විවාහ දෙදරායාමේ ප්‍රවණතාවයක්ද දක්නට ලැබේ. එම නිසා විවාහක දෙදෙනා එම තත්ත්වයට නොගොස් මේ පිළිබඳව උපේක්ෂාවෙන් බැලිය යුතුය. එවිට බොහෝ ප්‍රශ්න විසඳා ගත හැකිය. මෙම ලිපිය මගින් අප අවධානය යොමුකරන්නේ දරුඵල නොමැති වීම හා දරුඵල ප්‍රමාදය පිළිබඳ ජ්‍යොතිෂානුකූල විග්‍රහයක යෙදීමය. ගේ දොර ඉඩකඩම්, යාන වාහන, මිල මුදල්, රැකීරක්ෂා, දේපල යන මේ සියල්ල ලැබුණත් දරුවකු ලැබීමේ වාසනාව අහිමිව ඇත. නමුත් සමහරෙකුට ඒ සියල්ල නැති වුවද දරුවන් ලැබීමේ වාසනාව හිමිව ඇත. එසේ නම් මෙයට හේතුව කුමක්ද? එහි සරල තේරුම නම් අප පූර්ව ආත්ම භාවයේ කළ පව් පිං අනුව අපට මේ ආත්මයේ ලැබෙන නොලැබෙන දේ තීරණය වීමයි. එම නිසා අප පූර්ව ආත්ම යේ දැඩි ලෙස පව්කර ඇත්නම් මේ ආත්මයේ අවාසනාවන්ත ලෙස දරුවන් නොලැබී යෑමට ද හැකිය. නමුත් දරුඵල ප්‍රමාදයට ජ්‍යොතිෂයේ පිළියම් රාශියක් ඇත. ඒ සඳහා ස්ත්‍රී පුරුෂ දෙදෙනාම තම තමන්ගේ හඳහන් දක්ෂ අවංක ජ්‍යොතිෂවේදියෙකු ලවා පුළුල් පරීක්ෂාවකට ලක් කළ යුතුය. එවිට එයට අදාළ දෝෂය සොයා බලා ග්‍රහ ශාන්ති කර්ම කළ හැකිය.

ජ්‍යොතීෂානුකූලව දරුඵල පිළිබද විමසා බැලීමේ ක්‍රම රාශියකි. “සන්ථානදීපිකාව” නම් ග්‍රන්ථයේද මේ පිළිබඳව දක්වා ඇත. දරුවන් පිළිබඳව බැලීමේදී මූලිකවන්නේ කේන්ද්‍රයේ 5 වැන්නයි. එනම් ඔබගේ කේන්දර සටහනේ ලග්නයෙන් පස්වන කොටුව පුළුල්ව විමර්ශනය කළ යුතුය. මෙහිදි 5 වැන්නේ සිටින ග්‍රහයන්, එම භාවයට දෘෂ්ටි හෙළන ග්‍රහයන්, එහි අධිපති හා එම ග්‍රහයාගේ තත්ත්වය, පුත්‍රකාරක ගුරුගේ ස්වභාවය, 5 වැන්නෙන් 5 වැන්න, 5 වැන්න අධිපතියා ගෙන් පස්වැන්න හා පුත්‍ර කාරක ගුරුගෙන් පස්වැන්න පුළුල්ව විමර්ෂනය කළ යුතුය. ස්ත්‍රි කේන්ද්‍රයක සඳු, කුජ, සිකුරු ග්‍රහයන් අසුබව නීච හෝ සතුරුව පීඩාවට පත්ව සිටී නම් අදාළ ස්ත්‍රිය ලිංගික ක්‍රියාකාරකම්වලට පසුබසී. එම නිසා ද දරුඵල අපේක්ෂා කළ නොහැකිය. දරුවන් ගැන බැලීමේදී 5 අධිපතියා උච්චව හෝ ස්වක්ෂේත්‍රව බලවත්ම සිටීම නිසා වාසනාවන්ත දරුවන් අපේක්ෂා කළ හැකිය. ගුරු, සිකුරු උච්චව 5 වැන්නේ සිටීම ඉතාම සුභය. එවිට ගුණ නැණබලෙන් යුතු දරුවන් ලබයි. ගුරු නීචවීම දරුවන් අඩුවන අතර ඔවුන් මානව හිතවාදී නොවනු ඇත. බුද ග්‍රහයා ලග්නයෙන් 05 09 වී සෙසු ග්‍රහයෝ දුර්වල වූ විට පිරිමි දරුවන් ලබයි. ලග්නය සිංහ වී එහි රවි, සඳු දුර්වල ව කුජ හා ශනි ගේ දෘෂ්ටියට ලක් වූ විට අන්ධ දරුවන් බිහිවීමේ ප්‍රවණතාවයක් ඇත.

මීට අමතරව දරු ගර්භයක් හටගන්නේ ලිංගික සේවනයේ යෙදෙන විට රවි, සඳු, සිකුරු ස්වකීය නවාංශකවල සිටිනවිටය. ගුරු හෙවත් බ්‍රහස්පති කේන්ද්‍රයේ 05, 09 හෝ ලග්නයේ සිටීමෙන් දරුඵල උදාකරනු ඇත.

  1. කේන්ද්‍රයේ 5 වන භාවය තුළ රාහු දුර්වලව සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වීම
  2. 5 වැන්න අධිපති කුජ වී කේන්ද්‍රයේ 5 වැන්නේ සෙනසුරු සිටීම
  3. කේන්ද්‍රයේ පුත්‍රස්ථානය වන 5 වැන්නේ රාහු නීචව සිටීම
  4. සෙනසුරු 8 වැන්නාධිපතියා වෙමින් 5 වැන්නවන පුත්‍රස්ථානය දැකීම
  5. කුජ හා කේතු යන පාප ග්‍රහයන් දුර්වලව 5 වැන්නේ සිටීම
  6. රවි හා සඳු යන ග්‍රහයන් ගෙන් 5 වැන්නේ පාපීන් සිටීම
  7. මීට අමතරව සූර්ය හා චන්ද්‍ර කේන්ද්‍රයෙන් ද විමසා බැලිය යුතුය.

දරුවන් පිළිසිඳ ගැනීම ස්ත්‍රියකගේ මාසේ ශුද්ධියෙන් 06, 08, 10, 12, 14, 16, යන ඉරට්ටේ දිනවලත් 05, 07, 09,11, 13, 15, යන ඔත්තේ දිනවලත් පිළිවෙළින් පුතුන් හා දූවරුන් පිළිසිඳු ගනු ලබයි. දරුවන් පිළිසිඳ ගැනීමේ දී මාසේ ශුද්ධියෙන් 04 වන දිනයේ සිට උචිත දිනවල බිරිඳ හා ස්වාමි පුරුෂයා දිවා කළ නා පිරිසිදු වී රාත්‍රියේ දී පුරුෂයා දකුණු පසින් ද ස්ත්‍රීය වම් පසින් ද යහන් ගත වී එක්වීම ජ්‍යොතීෂානුකූලව ඉතා සුදුසුය. එවිට යහපත් දරුවන් පිළිසිඳ ගනු ඇත.

දරුඵල අහිමි අය තමන්ගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවාගෙන එම දරු ඵල ප්‍රමාදය දිගු කාලීන ද කෙටි කාලීනද යන්න පළමුව විමසා බැලිය යුතුය. ඇතැම් විට වසරක් දෙකක් හෝ තුනක් වශයෙන් හෝ පහ හය දහය වශයෙන් දිගු කාලයන්වලදී ද දරුඵල හට ගැනීමේ තත්ත්වයක් පවතී. කෙසේ නමුත් දරුඵල ඇති කර ගත හැකි ශාන්ති කර්මයක් හෙවත් අති විශේෂ බෝධි පූජාවක් පහත සඳහන් වෙයි.

දරුඵල නොමැති හා ප්‍රමාද වූ කාන්තාවන් වෙනුවෙන් ප්‍රබල ප්‍රතිඵල ලබා දෙන අති විශේෂ බෝධි පූජාව තමාට පහසුවෙන් යා හැකි ආගමික වතාවත් ඉටු කරනු ලබන අනුහස් ඇති බෝධීන් වහන්සේ නමක් තෝරා ගෙන එම ස්ථානය අතුගා පිරිසිදු කොට සුවඳ ධූපයක් අල්ලා එම ස්ථානය මේ සඳහා සුදුසු පරිදි සකසා ගන්න.

මෙම බෝධි පූජාව සතියේ සඳුදා හා සිකුරාදා දිනවල උදෑසන 6.00 ත් 8.00 ත් අතර කළයුතු අතර සවස (6.00 ත් 8.00 ත් අතර) කරන්නේ නම් කිරිබත් වෙනුවට පලතුරු යුෂ පමණක් පිදිය හැකිය. කෙසේ වෙතත් මෙම බෝධි පූජාව වඩාත් සුදුසු වන්නේ උදෑසන කිරීමය. ඒ සඳහා පිරිසිදුව සාදාගත් කිරිබත් පිඟානක් කිරි කළයක් (යෝගට් කෝප්පයක ප්‍රමාණයේ මැටියෙන් තැනූ කළයක් ) සුදු මල් වට්ටියක් සුදු කොඩියක් හොඳ ඉදුණු අඹ ගෙඩියක් ගිතෙල් පහනක් සුවඳ පැන් කළයක්, වී පොරි ස්වල්පයක් සුදුහඳුන් ස්වල්පයක් ද බන්දේසියක තබා ගිතෙල් පහනක්ද දල්වා බෝධියෙහි තැන්පත් කරන්න. බෝධි පූජා ගාථා කියමින් පූජාව තබන්න.

වී පොරි ස්වල්පයකට ගිතෙල් දමා අනා ඒවායින් බෝධිය වටා දුම් අල්ලන්න. බෝධිය නෑවීමේදී සුවඳ මිශ්‍ර පැන්වලින් බෝධිය නාවන්න. ඒ සෑම විටකම ඉහත කී අරමුණ සිතට ගන්න. පසුව බෝධි පූජාව තබමින් ඒ සියල්ල බුදුරජාණන් වහන්සේට පූජා කරන්න.

මෙම ශාන්ති කර්ම තුළින් ඔබ උපදවන්නේ අති ප්‍රබල කුසල කර්මයෙකි. බලගතු පිනකි. ඒ පින් බලයෙන් දරුඵල නැති කල අකුසල බලය දුරුවේවායි පතමින් අරමුණු කරමින් මෙම බෝධි පූජාව අවසන් කරන්න. එසේ අවසන් කර ඔබ උපදවා ගත් ඒ කුසලයේ අග්‍ර වූ භාගය සත්පත්තිනි මෑණියන්ට අනුමෝදන් කරන්න. එසේ අනුමෝදන් කර තමන්ට නිරෝගී දරු සම්පතක් ලබා ගන්නට අවහිර වන සියලු බලවේග බාධා සිඳ බිඳ දරුඵල ඇති කර දෙන ලෙස ඉල්ලා සිටින්න. පහත සඳහන් ගාථාව කියා පින් අනුමෝදන් කරන්න.

යං අම්මේහි කතං පුඤ්ඤං – සබ්බ සම්පත්ති සාධකං
සත්පත්තිනි දේව මාතානං – ඉමං පුඤ්ඤානු මෝදනං

(මෙම බෝධි පූජාව පවත්වන කාලයේදීවත් සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාර වේලක් ගත යුතු අතර කිලිවලට හසු නොවී ධාර්මික දිවි පෙවතක් ගත කළ යුතුය.)

දරුඵල අහිමිද? - අනුහස් පිරි විශේෂ පූජාවක්…

බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ
ජ්‍යොතිෂවේදී, “තසුනි” සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය.
නො. 49/ 1, විහාර මාවත, ගම්මන්පිල,
බණ්ඩාරගම. දුරකතන අංකය 0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment