රාගය සහ විරාගය

875

ලෝකයේ සියලුදෙනා එකිනෙකාගෙන් වෙනස්ව උපදිති. සමහර කෙනකු රූපයෙන් අඩුවන අතර තවත් අයකු රූමත් වේ. සමහර කෙනකු ඥානවන්ත වන අතර තවත් සමහර කෙනකු අඥානවන්ත වේ. ධනවත්ව උපදින අය සිටින අතර දුප්පත් අයද සිටිති. මේ අයුරින් වෙනස් වෙනස් තත්ත්වයන් ඇති අය උපදින අතර රාගය ද එවැනිම සාධකයකි. රාගය අඩු වැඩි හා මධ්‍යස්ථ අය ද උපදින බව සමාජයෙන් පෙනේ. මෙය ලෝක ස්වභාවයයි. උපදින විට ඇතිවන එම තත්ත්වය හඳහනින් පෙන්නුම් කරයි.

ඥානවන්ත වීම නොවීම, ධනවත් වීම හෝ දුප්පත්වීම, රූප සම්පන්න වීම හෝ අවලස්සන වීම, රාගී වීම හෝ විරාගී වීම කෙනකු උපදින විට ඇතිවන දෙයකි. එය හඳහනට එයි. ලෙඩ රෝගවලින්, හදිසි අනතුරුවලින් සමහරවිට මේවා වෙනස් විය හැකිය. රාගය වැඩිවීම මිනිසා විසින් පාලනය කරගත යුතුය. රාගය වැඩිවීම හඳහනේ පෙන්නුම් කරන එක් අවස්ථාවක් වනුයේ හඳහනේ හත්වැන්නේ රවි, කුජ, රාහු යන ග්‍රහයකු තැන්පත්වීමය. විවාහයකදී බලවත්ම වනුයේ මේ ග්‍රහයන්ය. රාගය වැඩි අයකු විවාහ විය යුත්තේ එවැනිම අයකු සමඟය. විවාහ වන දෙදෙනාගෙන් එක් අයකුගේ රාගය අඩුවීමත් අනෙක් අයගේ රාගය වැඩිවීමත් ජීවිත දෙකම අවුල් කරයි.

එක් අයකු හඳහන් හතේ රවි හෝ කුජ සිටින විට අනෙක් අයගේ හඳහනේ හතේ රවි හෝ කුජ සිටීම ගැළපෙන පිහිටීමකි. එහෙත් හතේ රවි හෝ කුජ සිටින අයකුට හතේ රාහු සිටිනු අයකු ගැළපෙතැයි කිසිවකු කීවොත් එය පිළිගැනීමට ඉක්මන් නොවන්න. හතේ රාහු සිටින අයකු රවි හෝ කුජ සිටින අයකු මෙන් නොව, හතේ රාහු නැති අයකු හා විවාහ වුණොත් එම විවාහය කිසිදා සාර්ථක නොවේ. හතේ රාහු විකෘති කාමාශා ඇති කරයි. හතේ රාහු නැති අයකු හා විවාහ වුණොත් එක්කෝ තාවකාලිකව වරින් වර වෙන්වේ. නැත්නම් ස්ථිරවම වෙන්වේ. යම්කිසි අයුරකින් එකට සිටීමට සිදු වුණොත් ජීවිත කාලයම දුකෙන්, අසතුටින්, කරදර මැද්දේ සිටීමට සිදුවේ. ඒ නිසා හතේ රාහු සිටින අයකු හතේ රාහු සිටින අයකුම තෝරාගත යුතුය. වෙනත් විකල්ප නැත. බොහෝ දෙමව්පියන් කියනුයේ එවැනි අයකු සොයා ගැනීම ඉතා අමාරු බවයි. සොයා ගැනීමට අමාරු යැයි කියා නොගැළපෙන අයකු බැන්දොත් විශාල කරදරයකට මුහුණදීමට සිදුවන බව සිහියේ තබා ගත යුතුය.

මීට අමතරව හතේ කිසිම ග්‍රහයකු නැතිව හත්වැන්න සිංහ, මේෂ, වෘශ්චික යන රාශිවලින් එකක් වන අය සඳහා විවාහයට තෝරාගත යුත්තේ එවැනිම අයකු හෝ හතේ රවි හෝ කුජ සිටින අයකු ය.

රාගයේ මධ්‍යම අවස්ථාවට වැටෙනුයේ හතේ චන්ද්‍රයා, බුධ හෝ සිකුරු සිටින අයය. ඔවුන් ද විවාහයට තෝරාගත යුත්තේ එවැනිම පිහිටීමක් ඇති අයකුම ය. මීට අමතරව හතේ කිසිම ග්‍රහයකු නැතිව හත්වැන්න මිථුන, කන්‍යා, වෘෂභ, තුලා හෝ කටක යන රාශිවලින් එකක් වන අයකු විවාහයට තෝරා ගත යුත්තේ එවැනිම පිහිටීමක් ඇති අයකු හෝ හතේ බුධ, සිකුරු හෝ චන්ද්‍රයා සිටින අයකුය.

රාගයේ අඩුම අවස්ථාව හඳහනේ හතේ ශනි, ගුරු හෝ කේතු සිටීමයි. රාගය අඩුවීම හොඳ මදි අවස්ථාවක් නොවේ. කළ යුත්තේ හරියට ගැළපීමයි. ඉහත සඳහන් ග්‍රහයකු හතේ සිටින අයකු විවාහයට තෝරා ගත යුත්තේ හඳහනේ හතේ එම ග්‍රහයකුම සිටින අයකු ය. මීට අමතරව හතේ කිසිම ග්‍රහයකු නැතිව හත්වැන්න ධනු, මීන මකර හෝ කුම්භ වන අයකු විවාහයට තෝරාගත යුත්තේ එවැනිම පිහිටීමක් ඇති අයකු හෝ හතේ ගුරු, ශනි හෝ කේතු සිටින අයකු ය. හතේ ශනි සිටීම නරක පිහිටීමක් යන මතය සමාජයේ පවතී. ඇත්ත වශයෙන්ම එය එසේ නොවේ. විවාහ ජීවිතයේ ඇතිවන දහසක් ප්‍රශ්නවලට මුහුණදීමේ ශක්තිය හතේ ශනි ඇතිකරයි. හරියට නොගළපා විවාහ වුණොත් හතේ ශනි සිටින කෙනකුට පමණක් නොව ඕනෑම කෙනකුට බොහෝ කරදර ඇතිවිය හැකිය. ගුරු තමා සිටින තැන පමණක් නොව දකින තැන්වල පවා දෝෂ නැති කළත් හතේ ගුරු විවාහයේ පසු කාලයේදී දෝෂ ඇති කරයි. ඒ නිසා හතේ ගුරු සිටින අයකුට හතේ ගුරු සිටින අයකුම වඩා හොඳය. ශාරීරිකව හා මානසිකව දෙදෙනා දෙදෙනාට ගැළපී යහපත් විවාහ ජීවිතයක් ගතකිරීමට හැකිවන්නේ එවිටය.

ඉහත සඳහන් පිහිටීම්වලට අමතරව රාගය අඩු වැඩි වන අවස්ථා වෙනත් පිහිටීම් නිසා ද ඇතිවිය හැකිය. රාගය වැඩිවීම පිණිස කුජ සිකුරු යෝගය, රාහු සිකුරු යෝගය, රවි සිකුරු යෝගය පහේ කුජ හෝ චන්ද්‍රයා සිටීම හා හතේ කුජ හෝ රාහු සිටීම ද හේතු විය හැකිය. රාගය අඩුවීම සඳහා සිකුරු නීචවීම, කුජ කේතු යෝගය, රාහු හතේ හෝ නවයේ නීචවීම, හා සිකුරුට ශනිගේ බලපෑම ද හේතු විය හැකිය. සිකුරුට ශනිගේ බලපෑමට අයිති වනුයේ ශනි සිකුරු සංයෝගය, ශනිට සිකුරු යාව සිටීම, ශනිට සිකුරු හෝ චන්ද්‍රයා හෝ හත පෙනීම, විවාහ වන වයසේදී ශනි මහ දශාව හෝ කේතු මහ දශාව ලැබීම, ශනි තුලා රාශිගත වීම හා ශනි සිකුරු පරිවර්තන යෝගය ආදියයි.

ඉහත සඳහන් පරිදි ශාරීරිකව හා මානසිකව ගැළපෙන දෙදෙනකු එක්වීම ජීවිතයේ සතුටට හේතුවේ. එමෙන්ම නොගැළපෙන දෙදෙනකු එක්වීම ජීවිතයේ අසතුටට, ජීවිතය අවුල් වීමට හේතු වන බව සලකන්න. කෙනකු විවාහ වන්නේ සතුටින් ජීවත්වීම සඳහාය. එසේ නැතිව දෙමව්පියන්ගේ හෝ වෙනත් කෙනකුගේ හෝ සිත් සතුටු කිරීමට නොවන බව දෙමව්පියනුත් විවාහපේක්ෂිත තරුණ තරුණියනුත් සිහියේ තබා ගත යුතුය. නැත්නම් ජීවිත කාලයම දුකෙන්, අසතුටෙන් විඳවීමට සිදු වන්නේ තමන්ටම බව තේරුම් ගත යුතුය.

එඩී කරුණාතිලක
දු. අංකය 0717004360

advertistmentadvertistment
advertistmentadvertistment