සෙත්දෙන සෙත්කවි හඳුනාගනිමු

271

ශබ්ද විද්‍යාවේ අති සූක්‍ෂ්ම නිමැවුම වන “සෙත් කවිය” ඉතා යහපත් ප්‍රතිඵල ලබාදෙන විශ්මිත නිර්මාණයකි. එබඳු සෙත්කවි ශාස්ත්‍රානුකූලවම නිර්මාණය කරන්නාද සැබවින්ම විශ්වකර්මයෙකි. සෙත්කවි රචකයා සුපේශල, ශික්‍ෂාකාමී අයකු වන අතර පන්සිල් සුරකින සැබෑම බෞද්ධයෙකි. එසේ නොවන අය රචනා කරන සෙත්කවිවල බලය අඩුය. ආගම දහමට, දෙවියන්ට ලැදි සෙත්කවි රචකයන් කෙරෙහි දෙවියන්ගේ ඇල්ම හා බැල්ම යොමු වේ. එවැනි පුද්ගලයන් සෙත්කවියක් මගින් දෙවියන් වර්ණනා කොට ඉල්ලා සිටිනු ලබන සහනය, ශාන්තිය හෝ දියුණුව ලබාදීමට ඕනෑම මහේශාක්‍ය දෙවිකෙනකු වුවද පසුබට නොවේ.

ගුණගරුක, ධාර්මික සෙත්කවි රචකයා විසින්ම ඉතා නිවැරදිව වචන උච්චාරණය කරමින් සෙත්කවිය ගායනා කරන්නේ නම් ඉතා උසස් ප්‍රතිඵලයක් ලබාගත හැකිය. සෙත්කවියේ බල මහිමය සෙත්කවිය රචනා කරන්නාගේ බෝධිසත්ව ගුණය හා ගායනා කරන්නාගේ නිවැරදි පැහැදිලි උච්චාරණය සමඟ යහපත් ලෙස බද්ධ වී පවතී.

සෙත්කවි රචනා කිරීම බෝධිසත්ව ගුණෝපේත සත්පුරුෂයන් විසින් පමණක් සිදුකරනු ලබන අති පූජනීය මහෝත්තම කාර්යයකි. වස්කවිය මෙහි ප්‍රතිවිරුද්ධ සංකල්පය වන අතර ඒ මගින් බලාපොරොත්තු වන්නේ කිසියම් අපරාධකරුවකුට දේව දඬුවමක් ඉල්ලා සිටීමයි. වස්කවි රචකයන්ද සමාජයේ සිටින අතර ඔවුන්ද ශබ්ද විද්‍යාව මනා ලෙස දන්නා පිරිසකි.

සෙත්කවියකින් ඉල්ලා සිටිනු ලබන්නේ කිසියම් ව්‍යසනයකට පත්ව සිටින අයකු එම ව්‍යසනයෙන් මුදාගෙන සුගතියකට පැමිණවීම විය හැකිය. නැතහොත් කිසියම් ග්‍රහ අපලයක් හේතුකොට ගෙන කිසියම් අයෙකු වෙනුවෙන් සෙත්කවියක් ලියන්නේ නම් එකී අපලය දුරු කරන්නට වඩාත්ම සමත්කම් දක්වන දෙවිකෙනකු උදෙසා එම සෙත්කවිය ලිවිය යුතුය.

රවි අපලයට ඊශ්වර දෙවියන්ටද, සඳුගේ අපලවලට සමන්, පත්තිනි දෙවිවරුන්ටද, කුජ අපලයට කතරගම දෙවියන්ටද, බුධ අපලයට විෂ්ණු, දැඩිමුණ්ඩ දෙවිවරුන්ටද, ගුරු අපලයට විෂ්ණු, බ්‍රහ්ම දෙවිවරුන්ටද, සිකුරු අපලයට පත්තිනි දෙවියන්ටද, රාහු අපලයට සූනියම් දෙවියන්ටද, කේතු අපලයට කතරගම දෙවියන්ටද, ඉතා අමිහිරි අත්දැකීම් ලබාදෙන සෙනසුරු අපලයට හා ඒරාෂ්ඨක අපලවලට විෂ්ණු දෙවියන්ටද කන්නලව් කරමින් සෙත්කවි රචනා කළ යුතුය.

ලෙඩ දුක් සුවකර ගැනීමට, ග්‍රහ අපල දුරුකර ගැනීමට, සෙත් ශාන්ති ඇතිකර ගැනීමට, වෙළෙඳ ව්‍යාපාර දියුණු කරගැනීමට, විභාග ජය ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට, ප්‍රමාද වූ විවාහය ඉක්මන් කරගැනීමට, දරු සම්පත් ඉල්ලා සිටීමට සෙත්කවි රචනා කරවාගෙන ගායනා කිරීම ශ්‍රී ලාංකික සංස්කෘතියෙහි දක්නට ලැබෙන සුවිශේෂී දෙයක් වන අතර සිංහල භාෂාවෙන් හැර ලෝකයේ වෙනත් කිසිදු භාෂාවකින් සෙත්කවි ලියැවෙන්නේද නැත.

සෙත්කවි රචනා කිරීම හදිසියේ, කඩිමුඩියේ කළ නොහැකි බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. එබැවින් ඔබට සෙත් කවියක් හෝ දෙකක් රචනා කරවා ගැනීමක අවශ්‍යතාවක් තිබේ නම් ඒ බව කල් ඇතිව සෙත්කවි රචකයාට දැනුම් දිය යුතුය. සෙත් කවියකින් සෙතක්, ශාන්තියක් අපේක්‍ෂා කරන පුද්ගලයාගේ නිවැරදි පැහැදිලි කේන්ද්‍ර පිටපතක් සෙත්කවි රචකයාට ලබාදීමද අත්‍යවශ්‍ය වේ. සෙත්කවි අවශ්‍ය පුද්ගලයාගේ සම්පූර්ණ නමද, ඒ නමෙහි නිතර භාවිතා වන කොටසද සෙත්කවි රචකයාට දැනගන්නට සැලැස්විය යුතුය.

සෙත්කවි රචනා කිරීම මෙන්ම සෙත්කවි ගායනයද ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. සෙත් කවියක් ගායනා කළ යුතු වාර ගණන හා දින ගණන සෙත්කවි රචකයා විසින් පවසනු ලබයි. සෙත්කවි රචනා කරනුයේ එකී වාර ගණන සම්පූර්ණ කිරීමෙන් පසු ප්‍රතිඵලය ලැබෙන පරිදිය. සිද්ධි, සාධ්‍ය, සුසිද්ධ වශයෙන් අක්ෂර තෝරාගනු ලබනුයේ සෙත්කවිය අවශ්‍ය අයගේ නිතර භාවිතා කරන නමේ මුල් අකුර හා ස්වරය පාදක කරගෙනය. එමෙන්ම සෙත්කවිය ගායනා කළ යුතු වාර ගණනද ඒ සමඟම තීරණය කෙරේ. සෙත්කවි රචකයා ලබාදී ඇති මඟපෙන්වීම් නිවැරදිව අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. එවිට සෙත්කවියෙන් ඔබ බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ඉක්මනින් ලබාගත හැකි වනු ඇත.

සෙත්දෙන සෙත්කවි හඳුනාගනිමු

විශ්‍රාමලත් පාඨශාලාචාර්ය
අසෝක විජයසේකර
තලාව, ගා/වඳුරඹ
දු. අංකය 076-6827325.

advertistmentadvertistment
advertistmentadvertistment