පහසුවෙන් මුදල් උපයන්න කුරුඳු වවන්න

307

මුලදී ශ්‍රමය යම් පමණකින් කැපකොට ආරම්භ කරන ලද වගාවකින් විශේෂ නඩත්තුවකින් තොරව වසර සියයකට වඩා ඒකාකාරී ලෙස අස්වනු නෙළිය හැකි භෝගයකි කුරුඳු. කුරුඳු වගාව ජනතාවට ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකි හා රටට විදේශ විනිමය ඉපයිය හැකි පහසු මාර්ගයක් වන හෙයින් මේ සඳහා සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව සුවිශේෂී කාර්යභාරයක් කරන බව කිව මනාය. කුරුඳු වගාවට අවශ්‍ය සියලුම උපදෙස් සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව මගින් නොමිලයේ සපයනු ලබන අතර එහි නිලධාරීන් වගා බිමටද පැමිණ අවශ්‍ය උපදෙස් ලබාදෙනු ඇත. තවද ඒ සඳහා අවශ්‍ය කුරුඳු පැළ විශේෂ සහනාධාර මුදලකට ලබාදීමටද කටයුතු කරයි.

මෙම කාර්යයේ මූලික පියවර සැකෙවින් පැහැදිලි කරතොත්:

  1. මේ සඳහා සුදුසු භූමියක් තෝරාගත යුතුය. සුදුසු යනුවෙන් අදහස් කරන්නේ වෙනත් ලොකු ගස් බහුලව නැති සාමාන්‍ය පස ඇති ප්‍රදේශයකි. මෙය ජලය නොරඳන බිමක් විය යුතුයි.
  2. එම ඉඩමෙහි පළල හා ගැඹුර අඩි 1.5 බැගින් වූ කාණුවක් කපා ගත යුතුය. කාණුවේ දිග ඉඩමේ ප්‍රමාණය අනුව තීරණය කළ හැකිය. සාමාන්‍යයෙන් අක්කර ¼ ක ඉඩමක කාණු දික් අඩි 200/250 ක් පමණ කැපිය හැක. පැළ දෙකක් අතර පරතරය අඩි 4 හා 3 ක් වන පරිදි දිග පළල ගැඹුර අඩි 1 බැගින් වූ වළවල් කපා ගත යුතුය.
  3. වළට කොම්පෝස්ට් පුරවා පැළ සිටුවීම කළ යුතුය. පැළ සිටුවීමෙන් අනතුරුව පිදුරු, මකුලතා කොළ වැනි දෙයකින් පැළවලට වසුනක් යෙදිය යුතුය.
  4. ඉඩමේ වල් පැළෑටි මතුවූ විට ඒවා ඉවත් කිරීම වැනි දේවල් හැරුණ කොට විශේෂ නඩත්තු කටයුත්තක් නැත. වසරකට එක කුරුඳු ගසකට යෝගට් කෝප්පයකින් ½ ක් පමණ වූ රසායනික පොහොර දෙවතාවක් යෙදිය යුතුය. මුල් අස්වනු ලබා ගැනීම පැළ සිටුවා වසර දෙකකින් කළ හැක. සාමාන්‍යයෙන් තමාම වැඩ කරගන්නේ නම් අක්කර කාලක ඉඩමකින් අවම වශයෙන් මාස අටකට වතාවක් රුපියල් 360,000.00 ක පමණ ආදායමක් ලබාගත හැකිවේ.

මේ සඳහා සේවකයන් යොදා ගන්නේ නම් ලබාගත හැකි ආදායම මින් අඩක් පමණ වනු ඇත. මේ සඳහා අවශ්‍ය සියලු තොරතුරු හා උපදෙස් ඔබ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සිටින අපනයන කෘෂිකර්ම නිලධාරියා හමුවී ලබාගත හැක. ලිපිය සැකසීමේදී අවශ්‍ය තොරතුරු ලබාදුන් සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරී නිලංගා වර්ණසූරිය මහත්මියට ස්තුතිවන්ත වෙමි.

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment