සෞන්දර්ය කලා සරසවි ගුවනෙහි දිදුළන සුනිල සඳවත

373

බණ නම් නිබොරුය මුනිවරයන්නේ යන කවිය අප කියවන්නේ 1467 කාල වකවානුවේ වීදාගම මෛත්‍රිය හිමි විරචිත ලෝ වැඩ සඟරාව කවි එකතුවෙහි ය. බෞද්ධ සාහිත්‍යයයේ කියැවෙන බුදු බණ මෙන්ම ලොව අනෙකුත් ආගමික ශාස්තෘවරුන් විසින් දේශනා කරන ලද ධර්මය නම් සැමදා නිබොරු ය. ඔවුනට අමතරව එවන් නිබොරු ධර්මය ලෝ සතට කියා දුන් ශ්‍රේෂ්ඨයන් අතර සාහිත්‍ය, නාට්‍ය, සෞන්දර්ය කලා විෂයයෙහි ලෝ පතළ විශිෂ්ටයන් රැසකි. විලියම් ෂේක්ස්පියර්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, මක්සිම් ගෝර්කි මෙන්ම රබීන්ද්‍රනාත් තාගෝර් වැන්නන්ගේ නම්ගම් හා ඔවුන්ගේ ප්‍රකාශ අපට නිබඳව ම සිහියට නැගෙන අවස්ථා අපමණ ය. එබඳු ප්‍රකාශයක් සිහියට නැගුණු මෑත අවස්ථාවක් වූයේ දින කිහිපයකට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න පත් කළ බව කියැවුණු ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයයි. එසැණින් මතකයට නැගුණේ මහා නාට්‍යකරු, කවීන්ද්‍ර බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විරචිත හුණු වටයේ කතාව නාට්‍යයේ කථක පවසන මේ වදනයි. විසිහතර වියේ දී කාව්‍යකරණයට පිවිසෙන බ්‍රෙෂ්ට් නව තාලයක්, නව දර්ශනයක් සාහිත්‍යයට එක් කළ අතර 1948 දී නිෂ්පාදනය කළ හුණු වටයේ කතා පුවත අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් පොදු වූ සමාජ විවරණයක් බව නොකිවමනා ය.

දෙයක් වේ නම් යම්
සුදුස්සාට ම අයිති විය යුතු
කී ලෙස දන පොරණ
ලැබිය යුතු අය ම ය ලැබිය යුතු

රියදුරු මනා වූ
ලැබිය යුතු වූ සේ ම අස් රිය
ගොවි දන මනා වූ
දිනිය යුතු වූ සේ ම ගම් බිම්

ශ්‍රී ලංකාවාසී සෞන්දර්ය කලා ලෝලීහු අමන්දානන්දයට පත් කළ පුවත සනාථ කරන ලද්දේ සියවස් ගණනාවකට පෙර මහා නාට්‍යකරු බ්‍රෙෂ්ට් හුණු වටය නාට්‍යයේ ප්‍රකාශිත ඉහත පරම සත්‍යය ම නොවෙද? මෙකී පරම සත්‍යය ම මහැදුරු සුනිල්ට පෙර සෞන්දර්ය කලා සරසවියෙහි ප්‍රථම කුලපති ධුරය හෙබ වූ අපගේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ජාතියේ රන් ස්වරය ලෙස විරුදාවලී ලත් පණ්ඩිත් අමරදේව, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ම විසින් බිහිකරන ලද විශිෂ්ට නිපැයුමක් වූ මහාචාර්ය, සංගීත් නිපුන් සනත් නන්දසිරි ආදීන්ට ද නොඅඩුව ම අදාළ බව කිව මනාය. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න පෙර සඳහන් කුලපති ධුරන්ධර නාමාවලිය අතර වෙසෙසි වන්නේ සෞන්දර්ය කලා විෂය මතු නොව ඒ හා බැඳුණු කලා මාධ්‍ය රාශියකම නියැළී සිටි හා මේ මොහොතෙහිත් එකී ක්ෂේත්‍ර සමග සක්‍රීයව, ජවසම්පන්නව දායකත්වය පළ කොට සිටින්නකු බැවිනි. ඔහු මෙන් ම ක්ෂේත්‍ර
රැසකම විද්වතුන් සිටිය දී පසුගිය වකවානුවක ඔවුන්ගේ දේශපාලනයට සහාය දැක්වීම නිසා කීර්තිමත් කුලපති නාමාවලියක් තිබූ කොළඹ විශ්වවිද්‍යාලයට පත් කළ කුලපතිවරයාගේ පත්කිරීම සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් වූ රාජ්‍ය නායකයන් සිටි සමයක සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගනු ලැබූ කාලෝචිත හා නිර්භය තීරණය ප්‍රශංසාත්මක ය. සුනිල් ආරියරත්නගේ අතීත දේශපාලන භූමිකා මතකයට ගත් ඒ භූමිකා කරපින්නා සිටින කිසිදු පාලකයකු විසින් ඔහු මේ තනතුරට පත් කරනු ඇතැයි සිතිය නොහැකිය. එහෙත් සියවස් ගණනකට පෙර බ්‍රෙෂ්ට් කීවා සේ, විදාගම මෛත්‍රිය හිමි පැවසූ සේ දෙයක් වේ නම් යම් – සුදුස්සාට ම ලැබිය යුතු ය යන්න සනාථ වී තිබීම සොම්නසට හේතුවකි.

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න කුලපති ධුරයට පත් කළ පුවතින් පසු සමාජ මාධ්‍යජාලා ත්‍්ජැ ඊදදන ඇතුළු විවිධ පාර්ශව විසින් නව කුලපති පත්කිරීම පිළිබඳ ප්‍රශංසාත්මක ඇගයීම් මෙන්ම පැරණි ගනුදෙනු බේරා ගැනීමේ ආධ්‍යාශයෙන් කරනු ලබන ඇතැම් ද්වේෂසහගත කියුම් කෙරුම් දෙස අප බලා සිටියේ උපේක්ෂාවෙනි. එවැනි පාර්ශ්ව ඔහුගේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳ හුවා දක්වන අතර මෙබඳු ගෞරවනීය අසුනකට ඔහු කෙතරම් ප්‍රාමාණිකයකු ද යන්න පිළිබඳ නො ඇසූ කනින්, නො දුටු නෙතින් ඇතැම් දේශපාලන න්‍යායාචාර්යවරුන් ඇතුළු සුනිල් නන්දා විරෝධී පාර්ශව නගන ගොසට පිළිතුරු ලෙස ඔහුගේ පහත සම්ප්‍රදාන පිළිබඳ විමසන ලෙස යෝජනා කිරීමට කැමත්තෙමි. මහැදුරු සුනිල් විරචිත ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියකි. ඒවා අතර රාජ්‍ය හා බෞද්ධ සාහිත්‍ය සම්මාන දිනූ හා රාජ්‍ය සාහිත්‍ය සම්මාන විශිෂ්ට කෘති ලෙස නිර්දේශ වූ කෘති බොහොමයකි.
බයිලා කපිරිඤ්ඤා විමර්ශනය, සුළු කලිඟු දා වත හා ග්‍රැමපෝන් ගී යුගය, කැරොල් පසම් කන්තාරු, දෙමළ සාහිත්‍ය ඉතිහාසය, දෙමළ බෞද්ධයා, ඉන් කිහිපයක් පමණි. ගාන්ධර්ව පොත් පෙළ යටතේ රචනා කළ කෘති එකොළස අතර ලියැවුණු සංගීතඥ වතගොත සොයා යන්නෙකුට මෙම කෘති මාලාව අගනා හස්තසාර කෘති වේ. මොහොමඩ් ගවුස්, බී.එස්.පෙරේරා සිට මුත්තුසාමි, රොක්සාමි, එඩ්වින් සමරදිවාකර හා ආර්.ඒ චන්ද්‍රසේන, සෝමදාස ඇල්විටිගල, පී.ඩන්ස්ටන් ද සිල්වා, පී.එල්.ඒ.සෝමපාල, මොහොමඩ් සාලි, විශ්වනාත් ලෞජි, සාදිරිස් මාස්ටර්, රූපසිංහ මාස්ටර්, ඇම්.ජී.පෙරේරා, ලයනල් එදිරිසිංහ, ඩබ්ලිව්.ඩී.මකුලොලුව, සී ද ඇස්. කුලතිලක, සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, ලයනල්
අල්ගම හා ඔස්ටින් මුණසිංහ වැනි ගාන්ධර්වයන්ගේ නිර්මාණ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යනයකට මෙම කෘති හැර අන් කවරෙකු විසින් හෝ රචිත කෘති වේදැයි නොදනිමි. සාහිත්‍ය නිර්මාණ ක්‍ෂේත්‍රයෙහි සුනිල් ආරියරත්න විරචිත කෘති ෂානර කිහිපයකට අයත් වේ. නවකතා, කෙටිකතා, ගේය කාව්‍ය, චිත්‍රපට තිර නාටක ඒ අතර කැපී පෙනේ. රාජ්‍ය සාහිත්‍ය සම්මානිත ගේය කාව්‍ය සංග්‍රහ වූ මකරන්ද, විසිතුරුය රෑ අහස හැරුණ කල අරුන්දතී, ළා හිරු දහසක්, තනි යහනේදී, නවාතැන්පොළ, තුටු පඬුරු, ඇහි පිල්ලමක් අතර වැනි ගේය කාව්‍ය ඔස්සේ අර්ථාන්විත ගේය රචනා කලාවක හරස්කඩක නිර්මාණ රාශියක් පරිහරණයට මං පෑදෙන බව සඳහන් කළ යුතුය. නිර්මාණ ක්ෂේත්‍රයට අදාළ සෙසු සම්ප්‍රදාන අතර, ක්‍රිස්තු චරිතය, පත්තිනි, බිම්බා හෙවත් යශෝධරා ආදී කෘති වේ. සාහිත්‍ය හා නාට්‍ය පරිවර්තන ක්ෂේත්‍රය ද සුනිල් ආරියරත්න මහාචාර්යවරයාගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානයට අයත් තවත් කැපී පෙනෙන අංශයකි.

රාජ්‍ය සම්මාන දිනූ මහාචාර්ය සරච්චන්ද්‍ර හා එක්ව කළ යෙර්මා පරිවර්තනය, දෙමළ තෙළිඟු කන්නඩ මලයාලි ජනකතා, දෙමළ රාමායණය, දෙමළ මහාකවි භාරතී ඇතුළු තවත් පරිවර්තන රැසකි. සුනිල් ආරියරත්න විසින් සංස්කරණය කරන ලද සාහිත්‍යය, චිත්‍රපට ගීතය, පද්‍ය කාව්‍යය, නූර්ති, නාඩගම් පිටපත් හා එකතු (ජෝන් ද සිල්වා, සිරිසේන විමලවීර, ජාකෝමේ ගොන්සාල්ස්වෙස් ආදීන්ගේ) ,රාජ්‍ය සම්මානිත සංස්කරණ වූ මානවසිංහ ගීත නිබන්ධ හා මහින්ද ප්‍රබන්ධ ආදිය ද මහැදුරුතුමාගේ ශාස්ත්‍රීය අධ්‍යයන ව්‍යායාමයන්හි මහරු ඵල වේ. සෞන්දර්ය කලාවෙහි ම තවත් පැතිකඩක් ලෙස සැලකිය හැකි සිනමා ක්ෂේත්‍රය තුළ ද දස්කම් පානා මහාචාර්ය සුනිල් විසින් චිත්‍රපට විසිපහකට ආසන්න නිර්මාණ සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කොට ඇත. 1978 අනූපමා සමග ඇරැඹෙන ඔහුගේ සිනමා චාරිකාව තුළ සරුංගලේ, පොඩි මල්ලී, සිරිබෝ අය්යා, සුදු සෙවණැලි, යසෝධරා හා පත්තිනි ප්‍රේක්ෂක විචාරක නොමඳ ඇගයීමට හා කතාබහට ලක් වූ කෘති ලෙස සටහන් ව ඇත. මේ අතරින් ද සිරිබෝ අය්යා හා සරුංගලේ සිංහල සිනමා වංශ කතාවෙහි සුවිශේෂී කඩඉම් ලකුණු කොට ඇත.
ගේය කාව්‍ය රචනයෙහි සුනිල් ආරියරත්නගේ දස්කම් විස්කම් දකින්නට ලැබෙන්නේ 70 දශකයේ මුල් භාගයේ පමණ සිටය.

ගුවන් විදුලි සරල ගීතය, චිත්‍රපට ගීතය මතු නොව ටෙලිනාට්‍ය ගේය කාව්‍ය රචනයෙහි ද එක ලෙස නිර්මාණ කෞශල්‍යය ප්‍රකට කොට සිටින සුනිල් ආරියරත්න වැන්නෙකුගේ ප්‍රතිභාවට ළංවිය හැකි අන් කවර හෝ සරසවි ඇදුරකු සිටී යයි සිතීම උගහටය. ශාස්ත්‍රීය අධ්‍යයන පර්යේෂණ ක්ෂේත්‍රයෙහි, මෙන් ම නිර්මාණාත්මක ක්‍රියාකාරකම්හි ද එක සේ දස්කම් මොනවට ප්‍රකට කොට සිටින යෞවනයකු සේ අදත් ක්‍රියාශීලීව සිටින්නා වූ ශ්‍රී ජයවර්ධනපුර (විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි ) මෙතෙක් බිහි කළ අගනා ම වටිනා ම විද්‍යාර්ථියා ලෙස නිබය ව ම නම් කළ හැකි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙහි කුලපති ධුරන්ධර සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ඔහු සිප් හැදෑරූ විදුදය ( ජ‘පුර) සරසවියේ ම කුලපති වී නම් අපගේ සතුට අමන්දානන්දය නිම් හිම් නැත්තක් වන බවද ලියා තබමි. එනමුදු ඔහුගේ විෂය ක්ෂේත්‍ර සියල්ලම හා සෘජුව ම ඒකාත්මික වන අදාළ වන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වැනි ශාස්ත්‍රාලයක උස් අසුන හිමිවීම ඔහුට කරන ලද ගෞරවයක් මෙන්ම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හා පෙර දා සංගීත හා නැටුම්, චිත්‍ර හා මූර්ති සඳහා වූ රජයේ ලලිත කලා ආයතනයන්හි පුරෝගාමී වූ අධිපතීන් වූ පණීභාරත, ලයනල් එදිරිසිංහ, ජේ.ඩී.ඒ. පෙරේරා, ස්ටැන්ලි අබේසිංහ, මහගම සේකර, ආචාර්ය අනුරාධ සෙනෙවිරත්න, හා පසු කාලීනව ආයතනයෙහි මුලසුන් හෙබ වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා, තිස්ස කාරියවසම්, සුනන්ද මහේන්ද්‍ර ආදී වූ නාමාවලිය හෙබවූ උගතුන්ට හා නිර්මාණකරුවන්ට මෙන්ම මෙතෙක් කුලපති ධුරය හෙබවූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය පණ්ඩිත් අමරදේව, මහාචාර්ය සංගීත් නිපුණ් සනත් නන්දසිරි ආදීනට ද කළ ගෞරවයක් ලෙස දකිමි. දිගු කාලයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි දහස් සංඛ්‍යාත ශිෂ්‍ය මානව මානවිකාවන්ට දශක ගණනාවක් ශාස්ත්‍ර ඥානය නොමසුරුව බෙදා දෙමින් ඔවුන්ගේ දුක සැප සොයා බැලූ, නල මුදු සුවඳ වැනි ජ‘පුරට ම විශේෂ වූ කලා උලෙළ මගින් යෞවන කුසලතා පිබිද වූ මහැදුරාණෙනි. දිවයිනේ සමස්ත සරසවි ප්‍රජාවගේ සෞන්දර්ය කලා ඇතුළු නිර්මාණ කුසලතා සොයාගන්නට  එවකට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, ලේකම් සුනිල් ජයන්ත නවරත්න ආදීන්ගේ අනුග්‍රහයෙන් දෙවසරක් පැවැත් වූ කවිතා නිර්මාණ කුසලතා තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ ලෙස කළ මෙහෙවර හා එතුළින් සොයාගත් සරසවි මිණි කැට පිළිබඳ අප සිහිපත් කරන්නේ ඒ සඳහා ඔබගේ කැපවීම හා නායකත්ව ගුණය ද සිහිපත් කරමිනි. ආරණ්‍ය වාසයේ හුදෙකලාව වෙසෙමින් අලුයමින් පිබිදී සෞන්දර්ය ව්‍යායාමයන්හි නිරතවෙමින් ඔබ විසින් ඉටුකරනා අනලස් මෙහෙවරට එක් වූ නව දිගුව මගින් මෙරට සෞන්දර්ය කලා විෂයයෙහි නව පරිච්ඡේදයකට මං පෙත් විවරකරනු නියත බව අපගේ විශ්වාසයයි. ඔබට එය කළ හැකියි. සුපුරුදු ලෙසින් ම ශක්තිමත් ව නිර්භීතව ඉන්න. ගොස නගන්නවුන්ට පිළිතුරු දිය යුත්තේ ක්‍රියාවෙන්ම බව ඔබ හොඳින් වටහා ගෙන සිටින බව අපි දනිමු. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල ගුවනෙහි දිදුළ සඳවත සේ යෞවන යෞවනියන්ට මග පෙන්වන පහන් ටැඹක් සේ එළිය දෙන්න.

බුද්ධදාස ගලප්පත්ති
ඡායාරූපය – හර්ෂණ ජයතිලක

advertistmentadvertistment
advertistmentadvertistment