විවාහයට විෂ, විෂ කන්‍යා යෝගය

288

උපත, විවාහය හා මරණය යනු මිනිස් ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථා තුනකි. මින් අපට සිතා මතා සැලසුම් කළ හැකි එකම කරුණ වන්නේ විවාහය පමණි. උපත හා මරණය යන දෙකම අපට පාලනය කළ නොහැක. එබැවින් විවාහය පිළිබඳව ගනු ලබන තීරණය ඉතාම නිවැරදිව, හොඳින් සිතා බලා ගැනීමට අපට අවස්ථාව තිබේ. මිනිස් වර්ගයාගේ අඛණ්ඩ පැවැත්මටත් ජීවිතයේ සතුට තෘප්තිය මෙන්ම දියුණුවටත් බෙහෙවින් වැදගත් වන විවාහය සම්බන්ධ වැදගත් කරුණු රැසක් ජ්‍යොතිෂ්‍යය තුළ දක්වා ඇත. ලෝකයාගේ හිත සුව පිණිස එම කරුණු එළි කොට ඇත්තේ බඹසර රැකි සෘෂිවරයින් විසිනි.

විවාහය සඳහා සුදුසු කාන්තාවන් පිළිබඳව දක්වන පුරාණ පඬිවරු,

විවාදශීලී ස්ව මූර්ධ වාසීනි
පරානු කුලී පරවාද භාෂිණි
අන්‍යාශීනි අන්‍ය ගෘහ ප්‍රවේශිනී
තජ්‍යන්තු නාරීස දස පුත්‍ර සුතං

යන ශ්ලෝකයෙන් නිතර විවාද කරන, උඩඟු ගති ඇති, අනුන්ගේ ගෙවල්වල ඇවිදින, නිතර කෑම කන ස්ත්‍රිය දරුවන් දහයක් ලැබුවත් සුදුසු භාර්යාවක් නොවන බව දක්වා ඇත. එමෙන්ම,

කාර්යේසු මන්ත්‍රී – කරණේසු දක්ෂී
රූපේසු ලක්ෂ්මි – සමයාන්ත රාඥා
සෙනසූ මාතෘ – ශයනේසු වෛශ්‍යා
ෂඞ්භිස්තු නාරී – කුලමුද භවන්තී

යන්නෙන් බ්‍රහස්පතිට සමාන ක්‍රියාශීලී බවෙන් යුක්ත ලක්ෂ්මි හා සමාන රූපශ්‍රීයෙන් යුක්ත, මව මෙන් සෙනෙහසකින් යුක්ත, සයනයේ වෛශ්‍යාවක් මෙන් සැමියා සතුටු කරන කාන්තාව කුලය බබුළුවන බවද දක්වා ඇත.

පැරණි පත පොතේ දැක්වෙන මෙබඳු කරුණු මෙන්ම වර්තමාන සංකීර්ණ සමාජය තුළ ඇති අභියෝග ගැන ද සලකන විට ස්ත්‍රී පුරුෂ දෙදෙනෙක් එක්ව සතුටුදායක ජීවිතයක් ගත කිරීමට නම් එම දෙදෙනා තුළ මනා කායික, මානසික සමබරතාවයක් තිබීම අත්‍යවශ්‍ය වේ. මෙකී යෝග්‍යතාවය පිළිබඳව පූර්ව නිගමනය සඳහා අතීතයේ සිටම යොදා ගන්නා ප්‍රධාන මෙවලම වූයේ විවාහ පොරොන්දම් පරීක්ෂාවයි. එහෙත් සාර්ථක යුග ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියලු කරුණු කාරණා විසි පොරොන්දම්වලින් පමණක් වඩාත් විද්‍යානුකූලව විවරණය නොවන අතර ඉන් ඔබ්බට ගොස් සලකා බැලිය යුතු තවත් විවාහ දෝෂ ගණනාවක් ජ්‍යොතිෂයේ පෙන්වා දී තිබේ. ඒවා අතරින් විෂ කන්‍යා යෝගය පිළිබඳව අද අප විමසා බලමු.

විෂ කන්‍යා යෝගය යෙදෙන්නේ උපත ලබා ඇති දින, තිථි, නැකැත් අනුවය. මෙම යෝගය සහිතව උපන් කාන්තාවන්ට නිතරම දුක් කරදරවලට මුහුණ පෑමට සිදු වේ. අසහනයෙන්, අවිවේකයෙන් ජීවත් වීමට සිදු වේ. ලැබෙන්න තිබෙන දේ පවා අහිමි වී යයි. සැප සම්පත් භුක්ති විඳීමේ වාසනාව ද අඩුය. අඳින පළදින දේවල්වල පවා අලංකාරයක්, නොපෙනේ. විවාහ ජීවිතයේ ස්වාමියා සමග ආදරයෙන් එකට සිටීමේ අවස්ථාවන් බොහෝ විට නොලැබී යයි. මෙම යෝගය දරුපල සම්බන්ධයෙන් ද ඉතාමත් අසුබ තත්ත්වයන් ඇති කරයි.

මෙම යෝගය සහිතව උපන් කාන්තාවක් පවුලක සිටී නම්, එම පවුලේ පිරිමි සහෝදරයින්ට පවා පිරිමි දරුවකු නොඉපිද පෙළපත පවත්වා ගැනීමට පවා අසීරු විය හැකිය. මෙම යෝගය කිසිවිටෙක කාන්තාවකට නොපිහිටිය යුතු යෝගයක් ලෙස සැලකේ.

දොළොස්වෙනි තිථිය සහිත ඉරිදා දිනයක කැති, අස්ලිස, සියාවස යන නැකතකින් ඉපදීමෙන්ද,

දෙවැනි තිථිය සහිත අඟහරුවාදා දිනක සියාවස නැකතින් ඉපදීමෙන්ද, හත්වැනි තිථිය සහිත අඟහරුවාදා දිනයක සියාවස හෝ විසා නැකතින් ඉපදීමෙන්ද,

දෙවැනි තිථිය සහිත සෙනසුරාදා දිනයක අස්ලිස නැකතින් ඉපදීමෙන්ද,

හත්වැනි තිථිය යෙදී ඇති සෙනසුරාදා දිනයක කැති නැකැතින් ඉපදීමෙන්ද

මෙම විෂ කන්‍යා යෝගය යෙදේ.

මීට අමතරව මේෂ ලග්නයෙන් ඉපිද වැන්නේ සෙනසුරු 1 වැන්නේ, කුජ හා කේතු 6 වැන්නේ පිහිටි විට ද

මේෂ ලග්නයෙන් ඉපිද 1 වැන්නේ කුජ, 6 වැන්නේ රවි රාහු පිහිටා ඇති විටද

මේෂ ලග්නයෙන් ඉපිද 1 වැන්නේ රාහු 6 වැන්නේ කුජ, ශනි පිහිටා ඇති විටද

සිංහ ලග්නයෙන් ඉපිද 1 වැන්නේ ශනි 6 වැන්නේ රවි, කේතු පිහිටා ඇති විටද

සිංහ ලග්නයෙන් ඉපිද 1 වැන්නේ කුජ, රාහු 10 වැන්නේ රවි, ශනි පිහිටා සිටි විටද විෂ කන්‍යා යෝගය යෙදෙන බව ජ්‍යොතිෂ්‍යයේ දැක්වේ. 1 වැන්නේ ශනි, 5 වැන්නේ රවි, 9 වැන්නේ කුජ පිහිටා ඇති විටද මෙම යෝගය යෙදේ.

එහෙත් විෂ කන්‍යා යෝගය කේන්ද්‍රයක තිබුණු පමණින්ම බිය විය යුතුද නැත. එම දෝෂය භංග වන අවස්ථා කිහිපයක් ද පවතී. හත්වැන්නාධිපති ග්‍රහයා හත්වැන්නේ සිටියදී ලග්නයේ හෝ සඳු සමග සුබ ග්‍රහයකු සංයෝග වීමෙන් විෂ කන්‍යා දෝෂය භංග වේ. එමෙන්ම වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර හෝ මීන යන ලග්නයක් වී සඳු, බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයින්ගෙන් වැඩි දෙනෙකු බලවත්ව සිටීමෙන් ද මෙම දෝෂය භංග වේ.

ජ්‍යොතිර්වේදී, වාස්තුවිද්‍යා උපදේශක, විදුහල්පති, දේශමාන්‍ය
ආචාර්ය කපිල ඉන්ද්‍රික ගුණදාස
මාලිබොඩ, දැරණියගල.
076 824 8000

advertistmentadvertistment
advertistmentadvertistment