අපේ අම්මා, අත්තම්මා, අගමැතිනිය සිරිමාවෝ කැටුව එන්නී අනෝමා ය

2395

අනෝමා රාජකරුණා සිනමාවේ බොහෝ ඉසව් හා දිගු කාලීන අත්දැකීම් හා නිපුණත්වයක් ප්‍රකට කොට සිටින කලාකාරියකි. වරෙක ඈ ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට සඟරාවෙහි සංස්කාරිකාව වෙමින් පළමු සිනමා සඟරා සංස්කාරිකාව වන්නීය. Agenda 14 අධ්‍යක්ෂිකාව වන අනෝමා කෙටි චිත්‍රපට ෂානරය තුළ හපන්කම් පාන්නී පමණක් නොව, නව පරපුරෙහි කුසලතා සොයා ගනු වස් වාර්ෂිකව කෙටි චිත්‍රපට උලෙළ ද සංවිධානය කරන්නී ය. වාර්ෂිකව යාපනය සිනමා උලෙළ සංවිධානය කරමින් සිනමාවෙහි ක්‍රියාශීලී කාන්තා භූමිකාවෙහි නිරතුරු ව ම රැඳී සිටින්නී ය. ඇගේ නවතම සිනමා ව්‍යායාමය වන්නේ මෑතක දී 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළෙහි දී හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මානයෙන් පිදුම් ලද අපේ අම්මා, අත්තම්මා, අගමැතිනිය සිරිමාවෝ නම් අර්ධ වාර්තාමය චිත්‍රපටය නිර්මාණය කිරීමයි. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමයෙහි බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ සිනමා ශාලාවෙහි දී ද පෙර දිනෙක PVR සිනමා සංකීර්ණයෙහි දී ද නැරැඹීමෙන් අනතුරුව මේ සටහන ලියා තබන්නට සිත් විය.

ලෝක සිනමා ඉතිහාසයෙහි බොහෝ අවස්ථාවල ජගත් කීර්තියට පත් දේශපාලන චරිත පිළිබඳ නිර්මාණය වූ වාර්තා චිත්‍රපට වන බව අපි දනිමු. ජෝන් එෆ්. කෙනඩි, රිචර්ඩ් නික්සන්, බිල් ක්ලින්ටන් ආදීන් පිළිබඳව මෙන් ම ඉන්දිරා ගාන්ධි, බෙනසීර් භූතෝ වැනි නායිකාවන් පිළිබඳ ව ද වාර්තාමය චිත්‍රපට බිහි වී ඇත. 1960 දී ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස වාර්තාවක් පිහිටුවා ඇති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1970 -77 කාලය තුළ යළිත් අගමැතිනිය ලෙස ද 1989 දී විපක්ෂ නායිකාව ලෙස ද 1994 – 2000 කාලය තුළ අගමැතිනිය ලෙස ද මෙරට පාර්ලිමේන්තු හා දේශපාලනය ඉතිහාසයෙහි අතුල්‍ය භූමිකාවක් නිරූපණය කොට ඇති වනිතාව ලෙස ඉතිහාසගත වී සිටින්නී ය. ඈ පිළිබඳ නිර්මාණය වී ඇති වාර්තාමය චිත්‍රපට රාශියක් රජයේ චිත්‍රපට අංශයෙහි ඇතත් ප්‍රසිද්ධ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වූ මෙවන් වාර්තා චිත්‍රපටයක් වේ යයි නොසිතමි.

එනයින් සලකා බලන කල්හි අනෝමා රාජකරුණා සිනමාකාරියගේ මෙම නිර්මාණය ඓතිහාසික අවශ්‍යතාවක් ඉටු කෙරෙන කාලීන සිනමා කාර්යයක් ලෙස හඟිමි.

අපේ අම්මා, අත්තම්මා, අගමැතිනිය සිරිමාවෝ කැටුව එන්නී අනෝමා ය

අනෝමා විසින් මෙම චිත්‍රපටය හඳුන්වා දී ඇත්තේ ලොව ප්‍රථම අගමැතිනියගේ ජීවිතය ඇගේ සමීපතමයන්ගේ ඇසින් යනුවෙනි. අපේ අම්මා, අත්තම්මා, අගමැතිනිය සිරිමාවෝ චිත්‍රපටය හඳුන්වා දී ඇති නාමයයි. අපේ අම්මා පිළිබඳ තතු පවසන්නේ දියණියන් දෙදෙනා වන සුනේත්‍රා හා චන්ද්‍රිකා බණ්ඩාරනායක (කුමාරතුංග) විසිනි. අත්තම්මාගේ භූමිකාව අප හමුවට ගෙන එන්නේ විමුක්ති හා යසෝදරා කුමාරතුංග මුනුබුරා හා මිනිබිරිය යි. අගමැතිනියගේ භූමිකාව පිළිබඳ තතු පවසන්නෝ කවරහු ද? සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගේ පෞද්ගලික ලේකම් ලෙස ඉතා දීර්ඝ කාලයක් ඈ සමීපයෙහි සේවය කළ ධර්මසිරි පීරිස් හා අධිකරණ අමාත්‍යාංශයෙහි ලේකම් ධුරය හෙබ වූ නිහාල් ජයවික්‍රම නම් වූ නිලධාරී දෙපොළ ය. පුස්තකාල දර්ශන ආශ්‍රයෙන් ඉදිරිපත් වන රූපාවලිය අර්ථ ගැන්වීමට පසුබිම් කථනයක් හෝ කථකයෙක් නොවේ. සුනේත්‍රා චන්ද්‍රිකා දියණියන් දෙදෙනාගේ සංවාද ඔස්සේ පසුබිමින් පෙනෙන රූපාවලිය අර්ථ ගැන්වේ. විමුක්ති හා යසෝදරා අය්යා හා නංගී තම අත්තම්මා පිළිබඳ ඔවුන්ගේ මතක මාවතෙහි ඇවිද යමින් ඈ හා ඔවුන් දෙදෙනා අතර වූ ළෙන්ගතු බව ඔස්සේ ඔවුන් දෙදෙනා අත්තම්මා කෙලෙස දුටුවාදැයි අපට ඒත්තු ගන්වති. විමුක්තිගේ මතක තුළින් ඔහුගේ අත්තම්මාගේ චරිතයෙහි ඔහු දුටු නිර්භීත බව ප්‍රේක්ෂකයන්ට සමීප කරවයි. මිනිබිරිය යසෝදරා අත්තම්මාගේ කුළුණු ගුණය, ආදරය සිහිපත් කරන්නී ප්‍රේක්ෂක හද සසල කරන‘යුරිනි. චතුර ලෙස ඉංග්‍රීසි බසින් ද එලෙසම සිංහල බසින් ද ඉදිරිපත් වන සංවාද ඔස්සේ සිරිමාවෝ බණ්ඩාරනායක අත්තම්මා කෙබඳු ගතිගුණ හෙබි කාන්තාවක ද යන්න පසුබිමින් විස්තර කෙරෙන කථකයකුගේ විස්තර කියවීමකට වඩා ප්‍රබල ව හැඟීම් දැනවී යයි සිතිණ.

සිරිමාවෝ, අපේ අම්මා පිළිබඳ සුනේත්‍රා චන්ද්‍රිකා සංවාදය චිත්‍රපටයෙහි ජීව ගුණයෙන් සපිරි ම විනාඩි කිහිපය ලෙස දකිමි. ඔවුන් දෙදෙනාගේ සංවාද ඔස්සේ සිරිමාවෝ නම් වූ රාජ්‍ය නායිකාවගේ සිතැඟි, දරු සෙනෙහස හා ඔවුන් දෙදෙනා ගේ ඇතැම් ප්‍රශ්න හමුවේ අගමැතිනියක ලෙස නොව සාමාන්‍ය මවක ලෙස උපදෙස් දුන් ආකාරය හා මැදිහත් වූ ආකාරය ආදර්ශමත් මවකගේ පෞරුෂය පිළිබිඹු කරන්නකි.

දියණියන් දෙදෙනා ම අතිශයින් ම නිර්භීත ව හා විවෘතව කළ සංවාද ඔස්සේ මධ්‍යස්ථව ජීවිතය දෙස බලන්නට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සතු වූ මධ්‍යස්ථ බව, දුර දක්නා නුවණ, යථාර්ථවාදීව ජීවිතය දැකීමේ ගුණය මොනවට පසක් වී ද කියා සිතිණ. චන්ද්‍රිකා ඇගේ ස්වාමිපුරුෂයා ලෙස විජය කුමාරතුංග තෝරා ගැනීමෙහි දී මවක් ලෙස ඇගේ ප්‍රතික්‍රියා කෙබඳු වී ද කියා චන්ද්‍රිකා දියණියගේ මතකාවර්ජනය ඇදහිය නොහැකි තරම් ය. රත්වත්ත වලව්කාරියකගේ දියණියක් ඔවුන්ගේ කුලයට, ආගමට නොගැළපෙන තරුණයකු හා විවාහ වීම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ප්‍රශ්නයක් නොවූයේ ඈ ජීවිතය දෙස විවෘත හා නවීන දෘෂ්ටියකින් දකින්නට සමත් වූ වනිතාවක වීම නිසා ම නොවෙද? 70-77 සමයෙහි මැතිනිය විසින් අරඹන ලද වගා සංග්‍රාමයෙහි අනිටු ඵල පිළිබඳ දියණි චන්ද්‍රිකා විවෘතව ම කතා කරන්නී ය. අම්මාගේ අරමුණ යහපත් වූවත්, හාල් පොලු, මිරිස් පොලු ආදී සීමා නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත් ව සිටි බව චන්ද්‍රිකා දියණිය පවසන්නී ය.

එලෙසම ඇගේ මවගේ සාධාරණ තීරණ හා සෘජු ගති පැවතුම් සිහිපත් කරමින් දියණි චන්ද්‍රිකා පවසා සිටියේ ඈ මිතුරියකගේ සාදයකට යාම සඳහා පවුලේ ගමන් බිමන් සඳහා වෙන් කොට තිබූ වාහනය නොමැති වූ මොහොතක තවත් වාහනයක් පාවිච්චි කිරීම පිළිබඳ උරණ ව ඇයට දොස් නැගූ බවයි. සිරිමාවෝ මැතිනිය ඇගේ පාලනයෙහි ද එකී ගුණාංග ප්‍රගුණ කළ බව ප්‍රේක්ෂකයන්ට සිහිපත් වූවා නොඅනුමාන ය. සුනේත්‍රා දියණියගේ මතකාවර්ජන ඔස්සේ ද වැඩිහිටි මවකගේ භූමිකාවෙහි අරුත අපට කියා දුනැයි මට සිතිණ. ඇගේ විවාහය දෙදරා ගිය මොහොතක,

සැමියාගෙන් වෙන් වීමට තීරණය කළ බව මවට දැන් වූ මොහොතෙහි මවගේ හැසිරීම සුනේත්‍රාත් චන්ද්‍රිකාත් මතකයට නැංවූයේ ඈ නම් සැබෑ මවක් බව සිහිපත් කරමිනි. ‘තව ටිකක් හිතන්න තිබුණ නේ ද, එකපාරටම ඔය වගේ තීරණයක් ගන්නෙ නැතුව’ ඒ මවගේ ප්‍රතික්‍රියාවයි. සුනේත්‍රාගේ අදහසට චන්ද්‍රිකා එක් කළේ මෙවන් අදහසකි. ‘අම්මගෙයි තාත්තගෙයි අතරත් පොඩි පොඩි ප්‍රශ්න තිබුණා, ඒව විශාල ප්‍රශ්න නොවී විසඳගන්න ඒ දෙන්නට පුළුවන් වුණා, අම්ම හිතන්න ඇත්තෙ ඒ විදියට ඔයාගෙ ප්‍රශ්නෙත් විසඳ ගන්න තිබුණ කියල වෙන්නැති’. මහ පොළොවේ දෙපා තබාගෙන ජීවත් වූ මවකගේ අවංක ප්‍රතික්‍රියාවක් නොවී ද එය? රාජ්‍ය පාලනයෙහි වුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රගුණ කළේ මෙවන් තීන්දු තීරණ ගැනීමේ ක්‍රමය ම නොවෙද කියා අපට සිතෙන වාර බොහෝ ය.

අපේ අම්මා, අත්තම්මා, අගමැතිනිය සිරිමාවෝ කැටුව එන්නී අනෝමා ය

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ භූමිකාවෙහි අභ්‍යන්තර තතු විවරණය වූයේ ඇගේ ලේකම්වරයා ව සිටි ධර්මසිරි පීරිස් හා අධිකරණ අමාත්‍යාංශ ලේකම් නිහාල් ජයවික්‍රම දෙදෙනාගේ සංවාද හා සාකච්ඡා ඔස්සේ ය. නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඕ තම පාලන කාලය තුළ නොබැඳි ජාතීන්ගේ සමුළුව ශ්‍රී ලංකාවෙහි පවත්වමින්, ෆිදෙල් ක්‍රස්තෝ, මාෂල් ටිටෝ, ගඩාෆි ආදී ලෝක නායකයන් ගේ ඡන්දයෙන් සමුළුවෙහි සභාපතිනිය වීම ඇගේ පාලන සමයෙහි සිදු වූ ඓතිහාසික සිදුවීමක් ලෙස රාජ්‍ය නිලධාරීන් දෙදෙනා විසින් සිහිපත් කරනු දුටුවෙමි. චීන සංචාරයේ දී එතුමිය ලද රාජ්‍ය ගෞරවය මෙරට කිසිදු නායකයකුට විදේශයකින් නොලද ගෞරවාදරයක් බව ඔවුහු සිහිපත් කළහ. 1970 දී රජය පත් වී වසරක් පමණ කාලයක් තුළ 1971 දී ඇති වූ තරුණ පිබිදීම මර්දනය කළ‘යුරු හා තරුණයන්ගේ ප්‍රශ්න වටහා ගනිමින් ඔවුන් පුනරුත්ථානය කිරීමෙන් නොනැවතී හය අවුරුදු සැලැස්ම යටතේ උගත් තරුණයන්ගේ විරැකියා ප්‍රශ්නය විසඳීමට ගත් විධිමත් ක්‍රියා මාර්ග පිළිබඳ නිලධාරීන්ගේ ඇසින් පැවසූ තොරතුරු චිත්‍රපටයෙහි අගය වැඩි කළ අවස්ථාවකි. 1971 අප්‍රේල් සමයෙහි කතරගම සිදු වූ යෞවනියකගේ ඝාතනය පිළිබඳ තොරතුරු ලද සැණින් අගමැතිනිය ක්‍රියා කළ ආකාරය නිලධාරීන්ගේ සංවාද මගින් කියැවිණ. ජාතීන් අතර සහයෝගය සංහිඳියාව අගය කළ මානව හිතවාදී කාන්තාවකගේ රුවගුණ කෙරෙහි උතුරේ ජනතාව ඇයට දැක්වූ ආදරය සටහන් වූ රූපාවලියක් 1974 දී යාපනය විශ්වවිද්‍යාලය විවෘත කළ අවස්ථාවේ දී දකින්නට ලැබිණ. සිරිමාවෝ බණ්ඩාරනායක යනු සුනේත්‍රා, චන්ද්‍රිකා හා අනුරගේ අම්මා පමණක් නොව ශ්‍රී ලංකා වාසී පොදු ජනතාවගේ ම අම්මා ය යන හැඟීම අනෝමාගේ වාර්තා චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක සිත්හි ඇති කර තිබෙනු දකිමි.

චිත්‍රපටයෙහි පළමු භාගය තුළ අගමැති බණ්ඩාරනායක ඝාතනය සිදු වූ සිදුවීම් මාලාවට ඇතුළත් රූපාවලිය හද කම්පා කරවන ප්‍රේක්ෂක නෙතට කඳුළක් නංවන පුස්තකාල දර්ශනාවලියකි. මනාව සංස්කරණය වී තිබුණු දර්ශන හා තෝරාගත් උචිත ම දර්ශන මගින් සිරිමාවෝ අපගේ අම්මා ය යන්න අපූරුවට කියවී තිබිණ. අගමැතිනිය භූමිකාව සඳහා නිලධාරීන් දෙදෙනාට අමතරව ජනතා නියෝජිතවරයකු නියෝජිතවරියකගේ සංවාදයක් වී නම් අනෝමාගේ ප්‍රයත්නය වඩාත් අර්ථවත් හා සම්පූර්ණ වන්නට තිබුණා යයි සිතිණ. කෙසේ වූවත් සිරිමාවෝ වාර්තා චිත්‍රපටය අගනුවරින් බැහැර ඈත ගම් දනවුහි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විසින් නැරැඹිය යුතු ම චිත්‍රපටයක් ලෙස දකිමි. ආර්ථික ලාභයකින් තොර චිත්‍රපටයක් මගින් මෙවැනි උදාර චරිතාපදානයක් සිනමාවට නැගීම වෙනුවෙන් අධ්‍යක්ෂ අනෝමා රාජකරුණාට කෘතවේදීත්වය පළ කරමි.

බුද්ධදාස ගලප්පත්ති
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment