රවිඳු වෙදආරච්චි

2447

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වීරකැටිය බැදිගම අන්තර් හුවමාරුවට කැබ් රියකින් පිවිසුණු රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ සුපේශල ශික්‍ෂාකාමී බිරිය නැටූ නාඩගමක් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ දැකබලා ගැනීමට හැකිය. මේ දෙදෙනා කැබ් එකක ෆ්‍රිජ් එකක් පටවාගෙන අධිවේගී මාර්ගයට ඇතුළු වූහ. පොලිසිය විසින් එය නවත්වන ලදි. එවිට වෙදආරච්චි යුවළ පොලිස් නිලධාරීන් ඉදිරිපිට අමුතිත්ත කුණුහරුප වැසි වස්සවන්නට පටන් ගත්හ. මේ සංවාදය පිළිබඳව විගණනයක් කළහොත් හෙළිවන්නේ වෙදආරච්චි යුවළ අතරින් වැඩියෙන්ම කුණුහරුප කියා ඇත්තේ සුපේශල ශික්‍ෂාකාමී බිරිය බවය. රවිඳු වෙදආරච්චි යනු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයකු වූ දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා ය. දිලිප් වෙදආරච්චි ගැන අප මුලින්ම දැනගත්තේ තරු පහේ හෝටලයක තිබූ වෙඩිමක පිඟන් බිඳීම සම්බන්ධයෙනි. ඒ මීට අවුරුදු පහළොවකට පමණ පෙර ය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිගැනීමෙන් පසු දිලිප් වෙදආරච්චි නැවතත් මතු විය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටවුණු තෙල් සහ අනෙක් රසායනික ද්‍රව්‍ය නිසා මුහුදේ පළාතක් ම විස වී ඇති බවත්, ඒ නිසා මුහුදු මාළු ආහාරයට ගැනීම නුසුදුසු බවත් එකල මතයක් ලෙස පැතිරිණි. මේ මතය බිඳීම සඳහා අමු මුහුදු මාළුවකු රැගෙන ප්‍රෙස් කොන්ෆරන්ස් එකකට පැමිණි දිලිප් වෙදආරච්චි එම මාළුවා අමුවෙන්ම අනුභව කර පෙන්වීය. ලංකාවේ මුහුදු මාළු විෂ නැති බව පෙන්වීම ඔහුගේ අරමුණ විය. මෙය කිසිසේත්ම ප්‍රායෝගික නොවූ, විකට ජවනිකාවක් හා සමාන වැඩකි. මාළුවා අමුවෙන් අනුභව කිරීමෙන් පසු වෙදආරච්චිට කී වතාවක් බඩ ගියා දැයි අපි නොදනිමු. වස වර්ගයක් අනුභව කළ සැනින් කෙනෙක් මැරෙන්නේ නැත. එය ක්‍රියාත්මක කිරීමට විනාඩි කිහිපයක් ගත වේ. එබැවින් වස කෑ එකා සෑහෙන වේලාවක් කෙළින් සිටී. පියා අනුගමනය කළ මෝඩ වැඩ රවිඳු වෙදආරච්චි අනුගමනය කළ යුතු නැත. කලකට පෙර රවිඳු තංගල්ල නගර සභාවේ සභාපති ලෙස කටයුතු කළේලු. ඒ කාලය මාර කාලයක් වන්නට ඇති!

දේශපාලනඥයන්ගේ පුතුන් පිස්සු කෙළීම විශාල අර්බුදයකි. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුතුන්ගෙන් සෑහෙන පිරිසක් යක්කු වෙති. එසේම ඇතැම් දේශපාලනඥයන්ගේ බිරින්දෑවරුන් විසින් ද තම සැමියාගේ දේශපාලනය විනාශ කර දමන ලදි. මේ රටේ දේශපාලන පුතුන් අතර අංක එකේ පුත්‍ර සමූහය වන්නේ රාජපක්‍ෂ පුත්‍ර සමූහයයි. මේ පුතුන්ගේ චර්යාවන් සම්බන්ධයෙන් චෝදනා රාශියක් තිබේ. දළදා මාලිගාව ඉදිරිපිට කාර් රේස් යෑමට තැත් කිරීම, වසීම් තාජුඩීන් මරණය ඇතුළු සිද්ධි ගණනාවක් ඔවුන්ගේ නම් සමග සම්බන්ධ වී තිබේ. සමහර විට මේ චෝදනාවලින් වැඩිහරියක් දේශපාලන ඉරිසියාකාරයන් විසින් පතුරුවන ඒවා විය හැකිය. එහෙත් දේශපාලන පුතුන්ට එරෙහිව නැඟෙන චෝදනා සියල්ලම බොරු නොවේ. මේ චෝදනාවලින් සියයට දහයක් සත්‍ය නම් එම සියයට දහයෙන් රටට විය හැකි ඩැමේජ් එක ඉතා විශාලය. පසුගිය කාලයේදී ඇතැම් අවස්ථාවලදී ලංකාවේ ප්‍රසිද්ධ වෙරළාසන්න හෝටලයකදී ඉහළ පෙළේ දේශපාලනඥයකුගේ සහ පොලිසියේ ලොක්කකුගේ පුත්තු මිනීමරා ගන්නට වූහ. මෙයට හේතු වූයේ එක් පුතකුගේ ලව් එකට අනෙක් පුතා ප්‍රවේශ වීමට තැත් කිරීමය. ප්‍රේමය යනු ඉතා බලගතු කාරණයකි. ප්‍රේම සාධකය වෙනුවෙන් මිනී මරා ගැනීම ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම පැවතින. මෙයට අවුරුදු 500 කට පෙර මේ ප්‍රශ්නය කෙළින්ම විසඳන ලද්දේ කඩු පහරින් හෝ වෙඩි පහරිනි. එහෙත් අද ඒ ඒ පාර්ශ්වයට අයත් දාමරිකයන් විසින් අත්බෝම්බ ගසා හෝ ඇසිඩ්වලින් මේ ප්‍රශ්න නිරාකරණය කරනු ලැබේ.

දේශපාලනඥයකුගේ අව හැසිරීමෙන් ඔහුගේ පවුලට හානියක් නැති බවත්, ඔහුගේ පවුලේ අයගේ අව හැසිරීමෙන් දේශපාලනඥයාට හානියක් නැති බවත් කියන මතයක් තිබේ. මේ මතය මුලින්ම ඉස්මතු වන්නේ බිල් ක්ලින්ටන් – මොනිකා ලුවින්ස්කි නඩුවේදී ය. බිල් ක්ලින්ටන් ජනාධිපති පදවිය දැරූ කාලයේදී මොනිකා ඔහුගේ කාර්ය මණ්ඩලයේ සීමාවාසික පුහුණු කාලයක් ගත කළාය. ඒ අතර ක්ලින්ටන් සහ මොනිකා අතර කායික සම්බන්ධයක් ඇති විය. මොනිකා ලුවින්ස්කි මේ බව දුරකථනයෙන් සිය මිතුරියකට කීවාය. මිතුරිය එම දුරකථන ඇමතුම පටිගත කළාය. පසු කාලයේදී මේ රහස හෙළි වූ අතර, ජනාධිපතිතුමා චර්යාත්මක නොවන ලෙස හැසිරුණු බවට චෝදනාවක් කරමින් කෙනත් ස්ටාර් නමැති නීතිඥයකු නඩුවක් පැවරීය. එහිදී ක්ලින්ටන්ගේ නීතිඥයන් කීවේ මොනිකා සමග තිබූ සම්බන්ධය ක්ලින්ටන්ගේ පුද්ගලික වැඩක් බවත්, එමගින් සමාජයට බලපෑමක් නැති බවත් ය. එහෙත් කෙනත් ස්ටාර් එම තර්කය කැඩුවේය. ඔහු කීවේ ජනාධිපති යනු පොදු චරිතයක් බවයි. ඔහු බලයට එන්නේ පොදු ජනතාවගේ ඡන්දයෙනි. ඒ නිසා ඔහුට පෞද්ගලික ජීවිතයක් තිබුණත් එම පෞද්ගලික ජීවිතය චර්යාත්මක නොවේ නම් එමගින් සමාජයට බලපෑමක් සිදුවන බව නීතිඥ කෙනත් ස්ටාර් තවදුරටත් සඳහන් කළේය. අන්තිමේදී ජාතිය අමතා පාපොච්චාරණයක් කිරීමට බිල් ක්ලින්ටන්ට සිදුවිය.පුතා කරන දේ තාත්තාටත්, තාත්තා කරන දේ පුතාටත් බලපාන අන්දම බිල් ක්ලින්ටන් නඩුවෙන් පැහැදිලි ලෙස විස්තර කරනු ලැබේ. මේ නිසා රවිඳු වෙදආරච්චි සිය ශික්‍ෂාකාමී බිරිඳ සමග එක්ව පොලිසියට කුණුහරුපයෙන් බැණීමෙන් දිලිප් වෙදආරච්චිට අනිසි බලපෑමක් හටගනී. මෙය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ADVERSE IMPACT යනුවෙනි. මේ ඉම්පැක්ට් එක පරමාණු බෝම්බයක විභවය තරමට ම බරපතළ ය.

advertistmentadvertistment
advertistmentadvertistment