අරාබියෙන් පහළ වූ දිව්‍යමය ආගම

3714

(මහම්මත්තුමාගේ උපන් දිනය නිමිත්තෙනි.)

අද ශුද්ධ වූ දිනයකි. අරාබි කැලැන්ඩරයට අනුව මහම්මත්තුමාගේ උපන්දිනය අදට යෙදී තිබේ. ඉස්ලාම් ධර්මය ලොවට හඳුන්වාදුන් මේ විශිෂ්ට ආගමික නායකයාගේ උපන්දිනය ලොව පුරා සිටින ඉස්ලාමීය ජනතාව මෙන්ම සර්වාගමික බැතිමතුන් විසින් මහත් ඉහළින් සමරනු ලැබේ. ග්‍රෙගරි පාප්තුමාගේ කැලැන්ඩරයට අනුව මහම්මත්තුමාගේ උපත සිදු වූයේ ක්‍රිස්තු වර්ෂ 571 අප්‍රේල් 20 දාය. සෞදි අරාබියේ මක්කමදී එම ශුද්ධ වූ උපත සිදු විය. ඉස්ලාමීය ජනතාව විසින් මහම්මත් නබිතුමාගේ උපත සමරන්නේ ඔවුන්ගේ සාම්ප්‍රදායික සහ ආවේණික කැලැන්ඩරයට අනුව අද දවසේ ය. ඉස්ලාමීය මතවාදයට අනුව මහම්මත්තුමා යනු ඒකදේවවාදය හෙවත් මේ ලෝකයේ සිටින්නේ එකම දෙවියෙකිය යන මතවාදය ප්‍රවර්ධනය කරන අනාගත වක්තෘවරයෙකි. දෙවියන්වහන්සේ විසින් මවන ලද පළමුවන ලෝකවාසී මනුෂ්‍යයා ලෙස ඉස්ලාම් භක්තිකයන් සහ කතෝලික භක්තිකයන් පිළිගන්නා ආදම් ද ඒකදේවවාදය පිළිගත් කෙනෙකි. එසේම යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම සහ සෙසු ඉස්ලාමීය මතවාදවල කේන්ද්‍රීය චරිතයක් මෙන්ම අනාගත වක්තෘවරයකුද වූ ආබ්‍රහම් විසින්ද එබඳුම තවත් වැදගත් අනාගත වක්තෘවරයකු වූ මෝසස් විසින්ද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ද ඒකදේවවාදය පිළිගන්නා ලදි. මෙය හින්දු ආගම සහ වෙනත් ආගම්වල ඇති බහුදේව වාදයට ඉඳුරාම පටහැනිය. හින්දු දේව මණ්ඩලය තුළ දෙවිවරු විශාල පිරිසක් වැඩ වාසය කරති. ලංකාවේ ආගමික සංස්කෘතියට අනුව දෙවිවරු තිස්තුන් කෝටියක් වෙසෙති. එහෙත් ඉස්ලාම් භක්තිකයන් ගනුදෙනු කරන්නේ එකම එක දෙවිකෙනකු සමග පමණය. තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් පිළිබඳ කතන්දරය original බුදුදහමේ තිබේද යන්න අප දන්නේ නැත. එය පසුකාලයේදී බුදුදහමට එකතු වූ විශේෂාංගයක් බවට ද විශ්වාස කෙරේ. කෙසේ වුවද ඉස්ලාම් භක්තිකයන්ගේ මතය වන්නේ මහම්මත්තුමා ලෝකයේ අවසාන අනාගත වක්තෘවරයා බවය.

මැද පෙරදිග බලසම්පන්න ගෝත්‍රික නායකයකුගේ පුත්‍රයා වූ මහම්මත්තුමා කුඩා වියේදීම දෙමාපියන් අහිමි වීම නිසා අනාථ විය. උන්වහන්සේ ගේ ළමා කාලය ඉතා දුෂ්කර එකකි. ඉස්ලාම් ආගම පහළවී නොතිබූ එකල මැද පෙරදිග ජීවත් වූ සමස්ත ජන සමූහයම විවිධ ආගම් ඇදහූ අය වූහ. ඒවා ආගම්වලට වඩා ඇදැහිලි විය. සමහරු ගෝත්‍රිකයන් ගස්වලටද තවත් සමහරු ගල්වලටද තවත් අය හිරුටද සඳුටද ගංගාවලටද ජලයටද යක්ෂයන් ලෙස හඳුනාගත් යම් යම් දේවලට ද වන්දනා මාන කළහ. මෙය සංවිධානාත්මක ඇදහිල්ලක් නොවේ. සෑම ගෝත්‍රික ප්‍රජාවක්ම ස්වකීය ඇදහිල්ල වෙත සෙසු ගෝත්‍ර නම්මා ගැනීම සඳහා කඩු පොලු ගෙන සටන් කළහ. මේ නිසා අරාබියේ කාන්තාර වැල්ල හැමදාම ලෙයින් තෙත්වූ බව කියනු ලැබේ. මේ කියන කාලයේදී දණ්ඩ නීති සංග්‍රහය යන සංකල්පය අරාබිකරයේ තිබුණේ නැත. කඩුව අතේ ඇති එකා විනිශ්චයකාරයාගේ තනතුරද අලුගෝසුවාගේ කාර්යයද ඉටු කළේය. අරාබිකරය සන්සුන් කිරීමට නම් සියලු ගෝත්‍රිකයන් එකම ආගමක් ඇදහීම කළයුතු වූ නමුත් කව්රුත් ඊට එකඟ නොවූ අතර හැමෝම තමන්ගේ ඇදහිල්ල promote කිරීමට උත්සුක වූහ. මේ වනවිට කුඩා දරුවකුව සිටි මහම්මත්තුමා මක්කමට කිට්ටු හෙජාස් පළාතේ පිහිටි කන්දක වූ හිරා නමැති ගුහාවකට ඇතුළු වී යාඥා කිරීමට පුරුදුව සිටියේය. ක්‍රිස්තු වර්ෂ 610 දී පමණ දවසක මේ ගුහාව තුළ යාඥා කරමින් සිටි, එවකට හතළිස් හැවිරිදි වූ මහම්මත්තුමාට ගේබ්‍රියල් දේව දූතයා හමුවිය. ගේබ්‍රියල් යනු සුර දූතයන්ගේ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සැලකේ. දෙවියන් වහන්සේ තමන්ට අවශ්‍ය දේශනා සියල්ල ඉදිරිපත් කරන ලද්දේ ගේබ්‍රියල් දේව දූතයා හරහාය. හීබෘ බයිබලය, අලුත් ගිවිසුම, කුරානය වැනි ශුද්ධ වූ ආගමික ලේඛනවල ගේබ්‍රියල් දේවදූතයා ගැන සඳහන් වේ. මහම්මත්තුමා හමුවීමට පැමිණි ගේබ්‍රියල් දේව දූතයා දෙවියන් වහන්සේ පිළිබඳ ශුද්ධ වූ පණිවිඩය මහම්මත්තුමාට දන්වන ලදැයි කියනු ලැබේ. ඒ ක්‍රිස්තු වර්ෂ 613 දීය. මෙතැන් සිට මහම්මත්තුමා එකම දෙවියකු පිළිබඳ සුබාරංචිය දේශනා කරන්නට පටන් ගත්තේය. දෙවියන් වහන්සේ පිළිබඳව මහම්මත්තුමාට එදා ලැබුණු සුබාරංචිය අද වන විට බිලියන දෙකකට කිට්ටු ලෝකවාසී ඉස්ලාමීය ජනතාව විසින් අදහනු ලැබේ. ඉස්ලාමය ලොව දෙවන විශාලතම ආගම ය. පළමුවන තැන ලැබෙන්නේ ක්‍රිස්තියානි දහමට ය. ශුද්ධ වූ කුරානය යනු ගේබ්‍රියල් දේව දූතයා විසින් මහම්මත්තුමාට දේශනා කළ ශුද්ධ වූ පණිවිඩයේ සවිස්තරාත්මක ස්වරූපය වේ. ඉස්ලාමීයයෝ කුරානයට දිවි හිමියෙන් සලකති.

ම්ලේච්ඡ ක්‍රියා අනුගමනය කළ අරාබි ගෝත්‍රිකයන් සන්සුන් සහ ශිෂ්ට මිනිසුන් බවට පත්කිරීමට ඉස්ලාම් ආගමට හැකි විය. පසුකාලයේදී ලෝකයේ විශිෂ්ටතම ගණිතඥයන්ද, තාරකා විද්‍යාඥයන්ද, පාරම්පරික වෛද්‍ය ක්‍රමයන්ද අරාබිකරයෙන් බිහිවිය. මහම්මත්තුමා යනු කිසි කලෙකත් අන්තවාදියකු නොවේ. උන්වහන්සේ මෙකල ද වාසය කළේ නම් සහරාන් වැනි අන්තවාදියකු බිහිවන්නේ නැත. එසේම පාස්කු බෝම්බය පුපුරන්නේ ද නැත. අයි.එස්.අයි.එස්. සංවිධානය, ඔසාමා බින් ලාදින්ගේ අල්කයිඩාව, බොකෝහරාම් වැනි තුට්ටු දෙකේ ත්‍රස්තවාදී සංවිධාන බිහිවන්නේද නැත. දෙවියන් වහන්සේ අතිශයින් බලවත් නමුදු මිනිසා යනු සියලු ඇදහිලි විකෘති කර තමන්ට අවශ්‍ය පරිදි හදාගන්නා නරුමයෙකි. මහම්මත්තුමා අද ජීවත්ව සිටියා නම් අන්තවාදීන්ට අවි ආයුධවලින් පිළිතුරු දීමේ ක්‍රියාවලියට කිසි කලෙකත් විරුද්ධ නොවන බව අපගේ විශ්වාසය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment