හාල් මිල සහ කීරි සම්බා රස

1848

හාල් පිළිබඳ ප්‍රශ්නය දවසින් දවසම උග්‍ර වෙමින් පවතී. විවිධ සහල් වර්ග වෙළඳපොළේ ඇති අතර කීරි සම්බා අදටත් ආගිය අතක් නැත. කීරි සම්බා යනු ක්‍රිස්තු වර්ෂ 2000 න් පසු මේ රටේ මාර්කට් එකට පැමිණි සහල් වර්ගයකි. ග්ලුටන් වලින් තොර ඇට ඇලවෙන්නේ නැති කීරි සම්බා දියවැඩියා රෝගීන්ට පවා සුදුසු සහල් වර්ගයක් ලෙස නිර්දේශ කරන අතර ලංකාවේම කෘෂිකර්ම පර්යේෂකයන් විසින් සොයාගන්නා ලද්දකි. 1980 වනතුරු මේ රටේ ගැමි ජනයා රතු හාල් සුදු හාල් සහ සාමාන්‍ය සම්බා කෑමට හුරුපුරුදුව සිටියහ. රටේ නාගරික පන්තියේ ඉහළම ස්ථරය සාද සම්භාෂණවලදී ද තරු පහේ හෝටල් ආහාර සම්පාදනයේදී ද බාස්මති යොදාගන්නා ලදී. එක්දහස් නවසිය අසූ ගණන්වලදීම පහළ වූ කීරි සම්බා වලින් බාස්මති මාර්කට් එකට පයින් ගසා සම්බා මාර්කට් එක විනාශ කරන ලදී. 1980 වන තෙක් ලංකාවේ හොඳම හාල හැටියට සාමාන්‍ය සම්බා මිලට ගත් ඉහළ නාගරික පන්තිය සහ ඉහළ මධ්‍යම පන්තිය කීරි සම්බාවලට කට හුරුවීමෙන් පසු එහිම ලැග සිටින්නට පුරුදු වූහ. අද වන විට කීරි සම්බා ආගිය අතක් නැත. ඉන්දියාවේ උපන් සම්බා සහල්වල ප්‍රභේදයක් ලෙස සැලකෙන කීරි සම්බා අද වන විට කිලෝව රුපියල් 500 ගණනේ හොරට විකුණනු ලැබේ. මේ සහල් වර්ගයට කුමක් සිදුවී දැයි දැන ගැනීම සඳහා එම සහල් වර්ගය ලොකුවටම වෙළඳාම් කළ ප්‍රමුඛ වෙළෙන්දා වූ ඩඩ්ලි සිරිසේනට කතා කරන විට ඔහු දුරකතනයට පවා උත්තර දෙන්නේ නැත. සිංහල අවුරුදු කාලයේදී සෑම පාරිභෝගික භාණ්ඩයක්ම මිල ඉහළ යෑම ඉතා සුලබය. එහෙත් රුපියල් 300 ට තිබූ බොම්බයි ලූනු කිලෝව රුපියල් 650 ට මිල ඉහළ යෑම තුළ ඇත්තේ අවුරුදු ප්‍රීතිය නොව වෙන කතාවකි. ඉන්දියාව සහ පාකිස්තානය මේ දිනවල ලොකු ලූනු රට පැටවීම තහනම් කර තිබේ. ඒ නිසා ලංකාවට බොම්බයි ලූනු එන්නේ නැත. හැබැයි යාපනෙන් එන රතු ලූනු ඕනෑ තරම් කිලෝව රුපියල් 280 ගණනේ වෙළඳ පොළෙහි ඇත. එහෙත් රතු ලූනු ගෙඩිය පුංචි බැවින් ඒවා සුද්ද කර කර සිටීමට ලංකාවේ ගෘහණියට වෙලාවක් නැත. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී මේ රටේ ජනතාවගෙන් බහුතරය පාවිච්චි කළේ රතු ලූනු පමණි. එකල රතු ලූනු රාත්තලක් සත 55 කි. හොඳම අල රාත්තලක්ද සත 55 කි. අද මෙරට අල කිලෝවක් රුපියල් 500 කි. කිලෝවක් යනු රාත්තල් දෙකකට සමාන බරක් බැවින් අද ගණන් හිලව් වලට අනුව අල රාත්තලක් රුපියල් 250 ක් පමණ වනවා ඇත. අවුරුදු පනහක් ඇතුළත මේ රටේ ජීවන වියදම ඉතා වේගවත් ලෙස ඉහළ ගොස් තිබේ. ලංකාව යනු විශාල වෙළඳ ආර්ථිකයක් ඇති රටක් නොවන නිසා ජීවන වියදම ඒ ආකාරයෙන් ඉහළ යෑම වැළැක්වීමට නොහැක්කේ අමු මිරිස්, කරපිංචා හා දෙහි හැර කුස්සියට අදාළ බොහෝ දේ පිට රටින් ගෙන්වීමට සිදුව ඇති නිසාය.

සිංහල අවුරුදු කාලයට සහල් මිල ඉහළ යන්නේ වී මෝල්කාරයන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි මතයක් සමාජගතවී ඇත. මේ තත්ත්වය තවදුරටත් විස්තර කෙරෙන ලිපියක් ඊයේ ඉරිදා දිවයින පුවත්පතේ ද පළ විය. සාමාන්‍යයෙන් ධනවාදී සමාජය තුළ වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සහ එහි මාර්කට් එක පවත්වාගෙන යෑම තීන්දු කරන්නේ මුදලාලි සංගමය විසිනි. සමාජවාදය තුළදී නම් මේ තත්ත්වය වැළැක්වීමට පුළුවන. බඩු මිල වැඩිකරන මුදලාලිලා දෙදෙනකු පැහැරගෙන ගොස් මරා දැමුණු විට වෙළඳපොළ බඩු මිල පහත හෙළා ගැනීමට පුළුවන් වේ. එහෙත් ධනවාදයේ දේශපාලන ස්වරූපය වන ප්‍රජාතන්ත්‍රවාදය තුළදී එවැනි ‘පකුම්’ ආදේශ කිරීමට නොහැක. ආණ්ඩුව හෝ වෙනත් බලවේගයක් තම බිස්නස් එකට කෙළවීමට සූදානම් වන බව වෙළෙන්දාට හැඟුණොත් ඔහු කරන්නේ තමන් සතු වෙළඳ භාණ්ඩය ඉතා හෙමිහිට වෙළඳපොළෙන් අයින්කර ගැනීමය. ඒ නිසා ධනවාදී ආර්ථිකයක් තුළ මිල පාලන රෙගුලාසිවලට හෝ වෙළෙන්දා මැඩපවත්වන නීති රීති වලට කළ හැකි යමක් නැත. තත්ත්වය මෙසේ නම් මේ අවුරුදු සමයේදී සහල් මිල කළමනාකරණය කිරීම සඳහා ඉතා ප්‍රවේශමෙන් වැඩ කිරීමට ආණ්ඩුවට සිදුවේ. සහල් මිල පාලනය කිරීමට නම් එම බිස්නස් එකේ සිටින වෙළඳ ප්‍රජාව සමග උසස් සංවාදයකට පිවිස කටයුතු කිරීම රජයේ වගකීම වෙයි. නැත්නම් සහල් වෙළඳුන් සියලුදෙනා අල්ලා හිරේ දමා ඒ වෙනුවට පාන් හඳුන්වාදීමට ආණ්ඩුවට පුළුවන.

advertistmentadvertistment
advertistmentadvertistment