පින් මතුවන භාවනා

417

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යනුවෙන් සියලුදෙනා කෙරෙහි දැඩි හිතවත්කමක් ඇතිකර ගැනීම මෛත්‍රී භාවනාවයි. උතුම් පැතුම් ඇති මෛත්‍රී භාවනාව බෞද්ධයන්ට අලුත් දෙයක් නොවේ. ගුණ නුවණ වැඩි දියුණු කර ගැනීමටත්, ජීවිත ගැටලු විසඳාගැනීමටත් හේතු වන මෛත්‍රී භාවනාව ගැන පැහැදිලි අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත්.

බුදුරජාණන් වහන්සේ මෙත් වැඩිය යුතු ආකාරය මෙසේ දක්වා ඇත.

‘මාතා යථා නියං පුත්තං – ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ
ඒවංපි සබ්බ භූතේසු – මානසං භාවයේ අපරිමානං”

මවක් තම එකම පුතු තම ජීවිතයට ද වඩා ඉහළින් රැකගැනීමට තරම් වූ සෙනෙහසක් දක්වන්නාක් මෙන් සියල්ලන්ට මෛත්‍රී කිරීමට උන්වහන්සේ අනුදැන වදාළහ.

මෛත්‍රිය යනු මිතුරු බවයි. අවංක මිත්‍රයා තම මිතුරාට දුකක් කරදරයක් වනවාට කැමති නැත. ඔහු නිරතුරුවම මිතුරාගේ සැප හා සතුට ප්‍රාර්ථනා කරයි. තම මිතුරා කෙරෙහි දක්වන සුහද හැඟීම් හා ආකල්ප තමාට සතුරුකම් කරන අය කෙරෙහි පවා දැක්වීමට උත්සාහ කිරීම මෙත් වැඩීමකි. මෛත්‍රී භාවනාවේදී කෙරෙනුයේ එවැනි උසස් මානසික තත්ත්වයකට සිත දියුණු කිරීමය.

භාවනා කරන්නා භාවනානු යෝගියාය. ඔහු හෝ ඇය මුලින්ම භාවනා කිරීමට සැරසෙන විට ඒ සඳහා නියමිත වේලාවක් වෙන්කර ගත යුතුය. භාවනාව ඇරඹීමට පෙර සැදැහැ සිතින් නමස්කාර පාඨය කියා තමා රකිනා සීලය සමාදන් වන්න. ත්‍රිවිධ රත්නයේ ගුණ කියා ශ්‍රද්ධාව උපදවාගෙන ප්‍රසන්න සිතින් භාවනාව අරඹන්න. සාමූහික භාවනාවකදී සියලුදෙනාම එක්ව පන්සිල්, අටසිල් ආදී සීලයන් සමාදන්වී තෙරුවන් වැද සිත පිරිසිදු කොට ගෙන භාවනාව ඇරැඹිය හැකිය. මෙසේ කලක් භාවනාව පුරුදු කළ පසු ඉඩ ලද හැමවිටම මෙත් වැඩීමට පුරුදු වන්න. විවේකීව සිටින ඕනෑම අවස්ථාවක මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළ හැක්කේ එවිටය.

මෛත්‍රී භාවනාව වැඩීමට වෙන්වූ ඉරියව්වක් නැත. හිඳීම, සිටීම, සක්මන් කිරීම හා සයනයේ දිගාවීම යන සිව් ඉරියව්වෙන්ම මෙම භාවනාව කළ හැකිය. නමුත් ආරම්භක අවස්ථාවේදී භාවනාවට වඩාත් සුදුසු වන්නේ කඳ කෙළින් තබාගෙන ආශ්වාස ප්‍රාශ්වාසය පහසු වන පරිදි හිඳ ගැනීමය. පුරුෂ පක්ෂය බද්ධ පර්යංකයෙන්ද ස්ත්‍රී පක්ෂය අර්ධ පර්යංකයෙන්ද හිඳීම සාමාන්‍ය සිරිතයි. මෙහිදී තමාට පහසු ඉරියව්වක් තෝරා ගැනීම කළ හැකිය. දෙඇස් ඇරගෙන භාවනාව කළ හැකි වුවද බාහිර අරමුණු සිතට නොඑන ලෙසට දෑස් පියාගැනීම භාවනා කිරීමට පහසුවකි. හිඳගෙන භාවනා කරන විට වම් අත්ල මත දකුණු අතේ පිටි අත්ල තබා ගැනීම වඩා සුදුසුය.

හිටගෙන භාවනා කරන්නේ නම් ශරීරය සෘජුව සිටින සේ සිටගත යුතුය. යම් ආධාරකයකට හේත්තු වී සිට ගැනීම පහසු නම් එසේ කිරීමෙහි වරදක් නැත. සක්මන් භාවනාවේදී සුදුසු විවේක ස්ථානයක එහා මෙහා ඇවිදිමින් මෙත් වැඩිය හැකිය. දෑස් පියාගත් විට ඇවිදීමට අපහසුය. දෑස් ඇරගෙන තම දෙපාවලට මදක් ඉදිරියෙන් ඇති ස්ථානයක් වෙත දෑස් යොමු කිරීම ඉතා සුදුසු වේ. සයනයේ දිගාවි භාවනාවේ යෙදීමට වඩාත් සුදුසු ස්ථානය නිවසයි. එවිට උඩු අතට හෝ පැත්තට හෝ හැරී සිරුර සෘජුව තබාගත යුතු වේ. අත්පා වකුටුකොට වැතිරීම හෝ මුනින් දිගාවීම සුදුසු නැත.

මෙත් වැඩීම පියවරෙන් පියවර කළ යුතුය. මෛත්‍රී භාවාවේ පළමු පියවර, තමා ගැන සිතා මෙත් වැඩීමයි. ඉන්පසු සිව් දිශාවටම, ඉන්පසු සදිශාවටම, ඉන්පසු දස දිශාවටම මෙත් වැඩීම පුරුදු කළ හැක. පළමුව විනාඩි හතරකට භාවනාව පුහුණු කරන්න. පිළිවෙළින් හිතවත් අයට මැදහත් අයට හා අහිතවත් අයට මෙත් වඩන්න. මෙහි හිතවත් අය යනු දෙමව්පියන්, ගුරුවරුන්, සොයුරු සොයුරියන් හා මිතුරන්ය. මැදහත් අය යනු තමා සමග මිතුරු නොවන, සතුරුත් නොවන බාහිර පිරිසයි. තමාට අහිතවත් පිරිස නොමිතුරන්ය.

මෛත්‍රී සහගත සිතිවිලි සිත තුළට කිඳා බැස ගත්විට සියල්ලන්ටම එකවර මෙත් වැඩීම කළ හැකිය. භාවනාව සඳහා නිහඬ නිසංසල බාහිර කරදර නැති විවේකී පරිසරයක් ඉතා හොඳය. රුක් මුල් වන සෙනසුන් ගංගා අසබඩ විවේකී ස්ථානද සුදුසුය. මෛත්‍රී භාවනාවට ඕනෑම ස්ථානයක් සුදුසුය. බස්රියේ, දුම්රියේදී ද මෙත් සිත වැඩිය හැකිය. රැකියා ස්ථානයේදී ද එය පහසුය. ගුවන් යානයකදී හෝ නිදිමත එනතෙක් ඇඳේ වැතිර සිටින විටදී ද මෙත් සිත වැඩිය හැක.

අවංක සිතින් මෙත් වැඩීම අපගේ කායික හා මානසික සුවයට හේතුවකි. මෛත්‍රී වැඩීමෙන් ද්වේශය නැතිවීමට පටන් ගනී. මිනිසා සසරට බැඳතබා ගන්නා ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් තුනෙන් එකකි ද්වේශය. එය සත්ත්වයා අමානුෂික දරුණු ක්‍රියාවලට පොළඹවයි. තරහව, වෛරය, ක්‍රෝධය යනු ද මේ අකුසල මූලයමය. මෙත් වැඩීමෙන් මෙවැනි දරුණු සිතුවිලි මර්දනය වේ. එයින් සමාජ සංවර්ධනයක් ද ඇති වේ.

බුදුරජාණන් වහන්සේ මෛත්‍රී සිත දියුණු කරන්නාට ලැබෙන අනිසංස එකොළහක් පෙන්වා දී ඇත.

  1. සුවසේ නින්ද යෑම
  2. සුවසේ අවදිවීම
  3. නරක සිහින නොපෙනීම
  4. මිනිසුන්ට ප්‍රියවීම
  5. අමුනුෂ්‍ය ගැහැටවලින් මිදීම
  6. දේව ආරක්ෂාව ලැබීම
  7. වස – විෂ – ගිනි – ආයුධ වලින් විපත් නොවීම
  8. ඉක්මනින් සිත එකඟවීම
  9. මුහුණ ප්‍රසන්න වීම
  10. හොඳ සිහියෙන් මරණයට පත්වීම
  11. මරණින් පසු බඹලොව ඉපදීම

මෛත්‍රී භාවනාව, ජාතියකට, ආගමකට, ගෝත්‍රයකට අයත් වූවක් නොවේ. ලොව තුළ වසන සෑම ජන වර්ගයකටම, සෑම ආගමිකයකුටම කළ හැකි භාවනාවකි. මෙලොවදී මෙන්ම පරලොවදී ආනිසංස ලැබිය හැකි උතුම් භාවනාවකි.

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා

දඩල්ල වාලුකාරාම වෙහෙරවැසි
ශාස්ත්‍රපති, – රත්ගම සුනීත හිමි
සංස්කරණය – සුසිල් ජයකොඩි

පින් මතුවන භාවනා


0722081522

advertistmentadvertistment
advertistmentadvertistment