දකුණු කොරියාවේ හැලොවීන් සැමරුමකදී තෙරපීමෙන් 151ක් මරුට : 82කට තුවාල

209

මියගිය අය අතර ශ්‍රී ලාංකිකයකු ඇතුළු විදේශිකයෝ 20ක්

දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හැලොවීන් සැමරුමක් අතරතුරේ ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 151ක් මරණයට පත්වී තවත් 82ක් බරපතළ තුවාල ලබා ඇත. හැලොවීන් සැමරුම පවත්වා තිබුණේ සෝල් අගනුවර අයිටේවොන් පළාතේ පටු වීදියකය. මේ සිද්ධියෙන් එක් ශ්‍රී ලාංකිකයකුද මරුමුවට පත්ව තිබේ. මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු 27 හැවිරිදි වියේ පසුවිය. එසේම තවත් විදේශිකයන් 19 දෙනකුද මියගිය පිරිස අතර වන බව කොරියානු මාධ්‍ය කියයි. පෙරේදා (29දා) රාත්‍රියේ මේ අවාසනාවන්ත සිදුවීම වාර්තා විය.

තෙරපීමෙන් තුවාල ලද පිරිස අතර වැඩි දෙනකු බරපතළ තත්ත්වයෙන් පසුවන නිසා මරණ තවත් ඉහළ යෑමට ඉඩ ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මියගිය සහ තෙරපී තුවාල ලැබූ වැඩි දෙනා නව යොවුන් වියේ තරුණ තරුණියෝ වෙති. මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට ඔවුන් සියලු දෙනා අවුරුදු 20ට අඩු අය වෙති.

සෝල් අගනුවර රාත්‍රී සමාජ ශාලා, අවන්හල් ආදිය බහුලව ඇත්තේ මෙම අයිටේවොන් පළාතේය. කොරෝනා වසංගතය හේතුවෙන් පනවා තිබූ සෞඛ්‍ය නීතිරීති ලිහිල් කිරීමෙන් පසු, එළිමහනේ සංවිධානය කෙරුණු මුහුණු ආවරණ අනිවාර්ය නොවූ පළමු හැලොවීන් සැමරුම් උත්සවය අවසානයේ ඛේදවාචකයක් විය.

මෙම සැමරුම සඳහා තරුණ තරුණියන් ගණන ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගිව සිටි අතර මොවුන් අතර සිටි කිහිපදෙනකු සිහිසුන්ව ඇද වැටෙද්දී, පිරිස නොසන්සුන් වී කබලයක් හටගත් අතර, ඉන්පසු තෙරපීම සිදුවුණ බව එරට මාධ්‍ය කියයි. සිද්ධිය ගැන කම්පාවට පත්වෙමින්, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අණ කර ඇත්තේ, සිදුවුණේ කුමක්දැයි වහා සොයා බලා තමන්ට ඒ බව දන්වන ලෙසය.

ඇමරිකාව කැනඩාව මෙන්ම බටහිර රටවල ඔක්තෝබර් 31 සන්ධ්‍යාව හැලොවීන් සැමරුම් සඳහා යොදා ගනී. හැලොවීන් යනු මළවුන්, ශාන්තුවරුන් සිහි කරමින් පැවැත්වෙන සැමරුම් උත්සවයකි. සැමරුමට සහභාගි වන බොහෝ දෙනා හොල්මන්, අවතාර, පිසාචයන් ලෙස විකට ඇඳුමින් සැරසෙති. මුල් කාලයේදී භූතයින් පළවා හැරීමේ අරමුණෙන් පැවති හැලෝවීන් සැමරුම් අද වන විට දරුවන්ට තරුණයන්ට විනෝදය සපයන උත්සවයක් බවට පත් වී ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment