යතුරුපැදියෙන් මෝටර් රථයෙන් ගොස් කරන අපරාධ පැය 48 කදී හඳුනා ගන්න පුළුවන්!

623

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ ගණයට අයත් අපරාධයන්ට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම අරමුණු කරගත් මාතර අපරාධ කොට්ඨාසය වැලිගම මිරිස්ස ප්‍රදේශයේදී විවෘත විය.

මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුකරන සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් හා විවිධ ගණයට අයත් අපරාධ සම්බන්ධයෙන් අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමේ කටයුතු මෙම අපරාධ කොට්ඨාසය මගින් සිදුකිරීමට නියමිතය. අපරාධ කොට්ඨාසයේ කටයුතු ආරම්භ කිරීම දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ( 14) පෙරවරුවේ සිදු කරන ලදි.

මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ ද පැවසීය.

වර්තමාන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සංකල්පයක් මත දකුණු පළාතේ සිදුවන අපරාධ මැඬලීම සඳහාත් අපරාධකරුවන් හඹාගෙන ගොස් ඒ පුද්ගලයන් පිළිබඳව විමර්ශනය කොට සාර්ථක නඩුකරණයක් අධිකරණය හරහා ගෙන යෑම සඳහා අපරාධ කොට්ඨාස දෙකක් දකුණු පළාතේ ස්ථාපනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාසය ආශ්‍රිතව තවත් දින කිහිපයකින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ මෙවැනි ඒකකයක් ස්ථාපනය කිරීමට නියමිතයි.

ඊට අමතරව මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුකරන අපරාධ මැඬපැවැත්වීම සඳහා වැලිගම මිරිස්ස ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මාතර අපරාධ කොට්ඨාසය පිහිටුවීම සිදුකරනු ලැබුවා.

යතුරුපැදියෙන් මෝටර් රථයෙන් ගොස් කරන අපරාධ පැය 48 කදී හඳුනා ගන්න පුළුවන්!

ඒ අනුව මෙම ප්‍රදේශයේ සිදුවන කප්පම් ගැනීම්, සංවිධානාත්මක අපරාධ, කුලියට මිනී මරන පුද්ගලයෝ, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා උපකාර කරන පුද්ගලයෝ, අපරාධ සඳහා රැකවරණය දෙන අය, හඹා ගෙන ගොස් අත්අඩංගුවට ගැනීමට ඒ පිළිබඳව නිපුණත්වයෙන් සහ වෘත්තීයභාවයෙන් විමර්ශනය කිරීමටත් හැකියාවක් තිබෙන ඉතාමත් දක්ෂ පොලිස් නිලධාරීන් තිස්දෙනකු පමණ යොදවා තිබෙනවා. ඊට අමතරව විශේෂ යතුරුපැදි කණ්ඩායමක් ජිප් රථ කණ්ඩායමක්, යොදවා තිබෙනවා, මෙම නිලධාරීන්ට විශේෂ ගිනි අවි පුහුණුවක් ලබාදී තිබෙනවා. ගූගල් තාක්ෂණය උපයෝගී කරගෙන අධි තාක්ෂණ ක්‍රම ඔස්සේ අපරාධකරුවන් හඳුනා ගත හැකි විශේෂ සන්නිවේදන උපකරණ ඔවුන්ට ලබා දීමට කටයුතු කරනවා.

අපරාධකරුවන් හිතන් ඉන්නේ අපරාධ කරනකොට අපරාධ සැලසුම් කරන විට එම අපරාධවලින් බේරෙන්න පුළුවන් කියලා. නමුත් කවදාවත් එම අවස්ථාව ලැබෙන්නේ නෑ. අපරාධකරුවන්ට මතක් කරන්න කැමතියි මේ රටේ නීතියේ නියමයන්ට අනුව ඔවුන් නීතිය ඉදිරියට ගේනවා වගේම අපරාධකරුවන්ට උදව් කරන සහ අනුබල දෙන අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා කියලා.

මෙම කොට්ඨාසයට සහකාර පොලිස් අධිකාරීවරයකු පත්කර තිබෙනවා. ඒ වගේම පොලිස් පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන් පත්කර තිබෙනවා. අපි

ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාවට පොලිසියෙන් විය යුතු සේවාව උපරිම ඉටු කරයි කියලා.

යතුරුපැදියකින් හෝ මෝටර් රථයකින් අපරාධයක් සිදු කළත් නව තාක්ෂණ ක්‍රමය ඔස්සේ පැය හතළිස් අටක කාලයකදී අපරාධකරුවන් හඳුනා ගන්න හැකියාව ලැබෙනවා.

වැලිගම එන්. එන්. මුරුතවලගේ

advertistmentadvertistment
advertistmentadvertistment