කහ වර්ණයෙන් සැරසුණු ප්‍රේමදාස පිටිය චාමිකගේ ඉනිමෙන් වර්ණවත් වෙයි

609

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන දැඩි අර්බුධකාරී තත්ත්වය හමුවේත් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රිකට් තරගාවලියක නිරත වූ ඕස්ටේ්‍රලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ට කෘතගුණ සැලකීම පිණිස කහ පාටින් සැරසී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්ව සිටි අතිවිශාල ප්‍රේක්ෂකයන් හමුවේ තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු ප්‍රමාණය රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 160 සීමාවට රැගෙන ඒමට චාමික කරුණාරත්න ඊයේ (24 වැනිදා) සමත් විය.

අංක 8 පිතිකරුවා ලෙස පිටියට පැමිණ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස චාමික දැවී යන විට ඔහු තමන් මුහුණ දුන් පන්දු 75 තුළදී ලකුණු 75 ක් ලබාගෙන එම පන්දුවලින් පන්දු 8ක් හතරේ සීමාවටත් තවත් පන්දු දෙකක් හතරේ සීමාවට ඉහළිනුත් එල්ල කිරීමට සමත් වූයේය.

ලකුණු 85 කට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු අටක් බිඳ වැටී තිබියදී තම පළමු තරගයට ක්‍රීඩා කරන වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් සමග එක්ව නම වැනි කඩුල්ල සඳහා ලකුණු 58ක සම්බන්ධතාවයක් පැවැත්වීමට චාමික කරකරුණාරත්න සමත් වීම ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්ව සිටි ප්‍රේක්ෂකයන්ගේ අමන්දානන්දයට හේතු විය.

මානස් ලැබුශේන් විසින් තරගයේ ක්‍රියාත්මක කරන ලද 43 වැනි පන්දුවාරයේදී ලකුණු 14 ක් ලබා ගැනීමට චාමික කරුණාරත්න සමත් වූයේ එම පන්දුවාරයේ පන්දු දෙකක් හතරේ සීමාවෙන් එපිටට එල්ල කරමිනි.

මෙම තරගාවලිය තුළ පළමු වරට කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට ගත් තීරණය මත පිටියට පැමිණි ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ පටන්ම අගාධයට ඇද දැමූ ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නෝ ලකුණු 12ක් තුළ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයට යළි අසුන් පිණිස යවා තිබුණහ.

පෙර තරග දෙකට ක්‍රීඩා නොකළ ධනුෂ්ක ගුණතිලක මෙම තරගය සඳහා කැඳවා තිබූ අතර ඔහු ලකුණු 8කට දැවී ගිය අතර අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණ කුසල් මෙන්ඩිස් පමණක් මුල් පෙළ පිතිකරුවෙක් අතරෙන් ලකුණු විස්සේ සීමාව ඉක්මවාලීමට සමත් වූ එකම පිතිකරුවා විය. පිත්ත කඩුල්ලේ වැදීමෙන් ඔහු ලකුණු 26කට දැවී ගිය අතර මෙම තරගාවලිය තුළ පළමු වරට කණ්ඩායමට කැඳවා තිබූ දිනේෂ් චන්දිමාල් ලකුණු 6කට පිටියෙන් ඉවත් විය.

පෙර තරගයේ ශතකලාභී චරිත් අසලංක ලකුණු දාහතරකට දුවද්දී දැවී ගිය අතර පන්දු 8ක් තුළ ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4ක් දැවී යාමෙන් ලකුණු 62 ට කඩුලු හතක් බිඳවැටුණු ලකුණු පුවරුවක් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දිස් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයේ එක්දින තරග වරම් හිමිකර ගත් ප්‍රමෝද් මධුශාන් චාමික කරකරුණාරත්නට පසුව වැඩිම පන්දු ප්‍රමාණයකට මුහුණ දුන් පිතිකරුවා ලෙසින් පන්දු 51ක් තුළ සිය ඉනිම ආරක්ෂා කර ගනිමින් සිටියදී 52 වැනි පන්දුවේදී පන්දු යැවූ කැමරන් ග්‍රීන් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ඔහු ලබා ගත් ලකුණු 15 ශ්‍රී ලංකා ඉනිමට බෙහෙවින් උපකාරී විය.

මෙම තරගය සඳහා දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග සහ නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා නොකළ අතර ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් ජොස් හේසල්වුඩ්, මැතිව් කූනමන් සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවේදී ඕස්ටේ්‍රලියා කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුලු 04කට ලකුණු 50ක් ලබා සිටියේය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දුවාර 43.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 160 යි. ධනුෂ්ක ගුණතිලක – 08, පැතුම් නිශ්ශංක – 02, කුසල් මෙන්ඩිස් – 26, දිනේෂ් චන්දිමාල් 06, චරිත් අසලංක 14, දසුන් ශානක – 01 දුනිත් වෙල්ලාලගේ 4, චාමික කරුණාරත්න – 75, ජෙෆ්රි වැන්ඩසේ – 04, ප්‍රමොද් මධුශාන් – 15, මහීෂ් තීක්ෂණ – 02 (නොදැවී)

ඕස්ටේලියා පන්දු යැවීම

ජෝෂ් හෙස්ල්වුඩ් 7-3-22-2, ග්ලෙන් මැක්ස්වෙල් 10-0-38-1, මැතිව් කුනමන් 10-3-26-2, පැට් කමින්ස් 6.1-1-22-2, මිචෙල් මාෂ් 1-0-3-0, මානස් ලැබුගේන් 7-1-36-0, කැමරන් ග්‍රීන් 2-0-13-1

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment