ඉන්ධන පිරවුමේ ආරක්ෂාවට සිටි ගුවන් හමුදා නිලධාරියාගේ රාජකාරියට බාධා කළ අය රිමාන්ඩ්

283

මිනුවන්ගොඩ, කටුවැල්ලේගම ඉන්ධන පිරවුම්හලේ මහජන ආරක්ෂාව සඳහා රාජකාරියේ යෙදී සිටින ගුවන් හමුදා නිලධාරියකුට බැන තර්ජනය කර මරණීය තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ සැකකරුවකුව රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය.

කටුවැල්ලේගම, පලුගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිසිර කුමාර ද සිල්වා නැමැත්තකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. කටුවැල්ලේගම ඉන්ධන හල වෙත ඉන්ධන ලැබීමේදී ගුවන් හමුදා නිලධාරියා තම රාජකාරිය ඉටු කරමින් ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටින වාහන ක්‍රමානුකූලව හසුරුවමින් සිටියදී සැකකරු ගුවන් හමුදා නිලධාරියාට බැන වඳිමින් ගුවන් හමුදා නිලධාරියාගේ රාජකාරිය සැකකරු විසින් සිදුකරමින් වාහන පෝළිම සැකසීමට කටයුතු කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කීය. රජයේ නිලධාරියකුගේ

රාජකාරියට බාධා කරමින් කටයුතු කළ මෙම සැකකරුව එම අවස්ථාවේ එම ඉන්ධන හලේ ආරක්ෂාවට යොදා සිටි මිනුවන්ගොඩ පොලිසියට අනුයුක්ත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද අධිකරණයේ දී සදහන් විය. සැකකරු ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි ජනතාව ප්‍රකෝප කරවීමට උත්සාහ කළ බවටත් සැකකරුගේ ක්‍රියා කලාපය නිසා ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති වීමට ඉඩ තිබූ බවටත් පොලිස් බුද්ධි අංශ තොරතුරු මත අනාවරණය වූ බව පොලිසිය පැවසීය. පරීක්ෂණ අවසන් නොවන හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසට පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු රිමාන්ඩ් භාරයට පත් කළේය. සැකකරු වෙනුවෙන් කිසිඳු නීතිඥ සහායක් අධිකරණය හමුවේ නොවීය. මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් නිරෝෂන් එදිරිසිංහ(13860) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment