කෝටි 17ක රන් බිස්කට් පන්නන්න හැදූ ගුවන්තොටුපළ සේවකයා අත්අඩංගුවට

226

රුපියල් දහහත් කෝටි හැට ලක්ෂයක් වටිනා කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 700 ක් බරැති රත්තරන් බිස්කට් 66 ක් සිය යට ඇඳුමේ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ කාර්ය මණ්ඩල පිටව යන දොරටුවෙන් පිටව යමින් සිටි ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සේවකයෙකු 30 දින පස්වරු 04.30 ට පමණ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ වසර 15 ක සේවා කාලයක් සපුරා ඇති මොහු කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු මෙම රන් බිස්කට් තොගය සිය යට ඇඳුමේ විශේෂ රඳවනයක ආධාරයෙන් පාර්සල් දෙකක් ලෙස සකස් කර සඟවා ගෙන තිබුණි.

මොහුට මෙම රත්තරන් තොගය කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ ආපනශාලාවක් තුළ දී කිසියම් පුද්ගලයෙකු විසින් ලබා දී ඇති බව රේගු මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මෙම රන් බිස්කට් යට ඇඳුම් තුළ සූක්ෂම ලෙස රඳවාගෙන යාමට භාවිතා කරන විශේෂ ඉන වටා පළඳින තවත් පටියක් මොහුගේ සේවා ස්ථානයේ මොහුට අයත් කබඩ් එකක් තුළ සඟවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රන් බිස්කට් එකක් ග්‍රෑම් 116.62 ක් බරැති වූ අතර මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

(බලාත්මක) පීටර් ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ (සමාජ ආරක්ෂණ) ඊ.ජී. ඇන්ටන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.ජී.ඒ. කුමාරසිංහ යන මහත්වරුන් ද කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටියහ. කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment