යකඩ යායක පිපුණු මිනිස් මල්!

482

රස්සාවට “රස්සාව” කරන උදවිය සහ “එදා වේල” ගේම ගහන උදවිය

අමුතුම භාෂා සංස්කෘතියක්…

වෙළදාමක දකින්නම නැති අපූරු සහයෝගය..

අහස සිප ගන්නට තරම් උසට ඉදිවුණු ගොඩනැගිලිවල සිට අරුමෝසම්, පාට පාටින් හැඩ වුණු ජනී ජනයාගෙන් ද පුහු අටෝපවලින් දැවටුණු සිහින මාළිගා රැසක නිජ බිම වන්නේ ද කොළම්තොටයි. වෙළෙඳුන්ගෙන් සහ මඩිය තර කර ගන්නට වෙර දරන විවිධ පන්නයේ මිනිසුන් නිසා පුරුදුකාරයෙක්ට හැරෙන්නට නුහුරුකාරයෙක්ට නම් මේ කොළොම්පුරේ කරක්ගසනවා බොරුය. දහවලේ හිරු රැසටත් රාත්‍රියේ සඳේ සිසිලටත් මැදිව තනි නොතනිය මැද නිදි වර්ජිතව සිටින කොළොම්තොට බොහෝ දෙනාගේ සිහින පුරයක්. දුර බැහැර බොහෝ දෙනෙක් කොලොම්පුරය ගැන කුමන සිහින දුටුවද සැබෑව ඊට වෙනස්ය. ඒ යථාර්ථය හරියටම අවබෝධ කරගන්නට නම් ඔබ එක වරක් හෝ “පංචිකාවත්තේ” රස්තියාදුවක් ගැසිය යුතුය. “උඹව මම කෑලි කපලා පංචිකාවත්තට දානවා දැනගනින්” බොහෝ දෙනෙක් කට චනයෙන් පංචිකාවත්ත ගැන කරන විග්‍රහය එතරම් රළු ඇයි?

කතාවට අනුව, මේ පංචිකාවත්ත කියන්නේ කෑලි එකතු කරන තැනක් ද? පංචිකාවත්ත කියන්නේ මොන වගේ තැනක්ද? පංචිකාවත්තේ මිනිස්සු දැඩි හිත ඇති මිනිසුන්ද.? ඒ ගැන සොයන්නට පංචිකාවත්තට යා යුතුමය. පංචිකාවත්තට පය ගැසූ මොහොතේ සිට මේ මිනිසුන් අතර තියෙන මනුස්සකම ගැන පුදුම හිතුනා. රටේ මොන තැනක ගියත් මෙතරම් සහයෝගීතාවයෙන් තමන්ගේ ව්‍යාපාර එකමුතුව කරන තැනක් හොයාගන්න බැහැ කියන බවක් පෙන්න තියෙනවා. මේ තරම් අපුරුවට “බිස්නස්” බෙදා හදාගෙන කරන මිනිසුන් කොටසක් හොයන්න අමාරුයි.

● කතා රිද්මය

“මහත්තයා අපි ළඟ නම් බඩු ඉවරයි. ඉස්සරහ කඩේ බලන්නකෝ,” කුමක් හෝ දෙයක් මිල දී ගැනීමට පැමිණි පුද්ගලයකුට ව්‍යාපාරිකයෙක් දුන් පිළිතුර ඒ සහයෝගිතාව පෙන්නන අවස්ථාවක්. ජාති, බේද බින්න නොමැතිකම සහ ඔවුන්ටම ආවේණික වාග් විලාසය. ‘හ අකුර ශබ්ද නොකර කතා කිරීම සහ වාක්‍යක් අවසන් කරන රිද්මය කොළොම්පුරයට ම ආවේණිකය. “මහත්තයා මේවා හොඳ බඩු” යන්න ඔවුන් වහරන්නේ “මාත්යා මේවා ඕද බඩු” යනුවෙනි.

යකඩ යායක පිපුණු මිනිස් මල්!

සිංහල දෙමළ මුස්ලිම් මේ සියලු දෙනා එකට ජීවත්වෙන මේ යකඩ පිබින යාය තුළ එවැනි භාෂා සම්මිශ්‍රණයක් ගොඩනැගී එවැනි භාෂා විලාශයක් ගොඩනැගුණා වන්නට ද පුළුවන.

මේ සියල්ල මුසු වුණු කොළොම්පුරය තවත් සුවිශේෂි වීමට කාරණාව කුමක් ද. පැමිණි කාර්යය අවසන් නොකර මේ යකඩ යායේ ඒ මේ අත ඇවිදිමින් සිටින අපට යකඩ තරමටම සවිමත් මිනිස්සු මුණගැහුණා. පංචිකාවත්තේ ඇවිදිනකොට තමයි ඇත්තට ම හුඟක් කටකතා බොරු කියලා හොඳට ම තේරුණේ. පංචිකාවත්ත කියන්නේ ගිනි කාෂ්ඨක කට්ට අව්වේ, හිසට හෙවණක් තියා වෙහෙස නිවාලීමට සිසිල් බීම කඩයක් නැති කාර්මීකරණයේ හිණිපෙත්තට ම ගිය රළුබව හොඳින් ම දැනෙන තැනක් කියලයි දැනෙන්නේ. හිත්පිත් නැති වාහන ස්පේයාර්පාට්, අරුමෝසම් වාහන සහ හිතත් ගතත් යකඩ වූ මිනිසුන් තමයි එතැන ඉන්නේ. හිත් පිත් නැති යකඩ ගොඩකට පණ දෙන මේ මිනිසුන්ගේ කතාව අහන්නත් ප්‍රිය උපදවන සුළුයි. රටේ වාහන ප්‍රමාණය ඉතා වේගයෙන් වැඩිවීම නිසාම, රට පුරාම අමතර කොටස් වෙළෙඳසල් බිහිවීමේ ප්‍රවණතාවක් ඇතිවුණා. එහෙම තත්ත්වයක් තිබියදී වාහන අමතර කොටස් ගන්න එන කෙනෙක් විශාල මුදලක් වියදම් කරගෙන “පංචිකාවත්තේ යකඩ යායට”ම එයි කියන එක විශ්වාස කරන්න බැරි තරම්.

මා එක්ක මුලින් ම කතාවට වැටුනේ එස්. කජේන්ද්‍රන්. හරියට ම පංචිකාවත්ත හන්දිය ඉදිරිපිට තමයි කජෙන්ද්‍රන්ගෙ කඩ කෑල්ල තියෙන්නේ. පරම්පාරවෙන් ආ දැනුම් සම්භාරයත් සමඟ පාරම්පරාගත වෙළෙඳ පවුලකින් පැවතගෙන එන කජේන්ද්‍රන් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් හැටියටයි අපි දැක්කේ. යකඩ ඇණ, ස්ප්‍රිං, දැති රෝද, රේසර් ආදී වාහන කොටස් එක්ක අවුරුදු 20කට වැඩි කාලයක් පංචිකාවත්තේ වෙළඳාම් කරන ඔහු දැන් යම් ස්ථාවර ජීවිතයක් ගොඩනාගත් ව්‍යාපාරිකයෙකි. “මගේ අම්මයි තාත්තගෙයි උපන්ගම මේ තමා. එයාලත් ඒ කාලේ ඉඳලම කළේ වාහන කෑලි විකුණපු එක තමයි. පොඩි කාලේ ඉඳල ම අපි දැක්කේ මේ රස්සාව ම තමයි. ඒත් මේ රස්සාව කරනවට අම්මයි තාත්තයි කැමති වුණේ නෑ. අපිට හොඳට ඉගැන්නුවා. මං මුලින් වැඩ කළේ රජයේ කර්මාන්ශාලාවක. පස්සේ එකෙන් අයින් වෙලා තමයි මම මේ ව්‍යාපාරය කරන්න පටන් ගත්තේ. මේක නිසා මම හොඳ ජීවිතයක් ලැබුවා. මගේ ළමයිනුත් දැන් ගොඩක් හොඳ තැන්වල ඉන්නවා. “ඔහු කතාව පටන් ගත්තේ එහෙමයි. අවුරුදු විස්සකටත් වැඩි කාලයක් තිස්සේ මෙතැන ඉන්නවා කිව්ව නිසා අපිට ඕනේ වුණේ ඔහුගෙන් අතීත මතකය ගැන රසවත් කතා ගොන්නක් අහන්නයි.

● ජේ. ආර් – ප්‍රේමදාස නිසා දියුණු වුණු පංචිකාවත්ත

යකඩ යායක පිපුණු මිනිස් මල්!

“ජේ ආර් මත්තයයි ප්‍රේමදාස මහත්තයයි නිසා තමයි අද මෙච්චර හොඳට පංචිකාවත්ත දියුණු වුණේ. ඉස්සර මෙතැන තිබිලා තියෙන්නේ පොඩි ගමක් වගේ. ඒ කාලේ ඉතින් එමටයි කියලා දැං වගේ වාහන තිබ්බේ නෑ මේ වගේ. “ඔහු පාරේ එහෙ මෙහෙ අත දිවයන වාහන දෙස අත දිගු කරමින් අපට කියයි. දැන් කාලේ වගේ නෙවෙයි ඒ කාලේ තිබුණේ ඉංග්‍රීසි වාහන, ජර්මන් වාහන ඒත් ටිකයි. වාහනවලට වඩා තිබ්බේ කරත්ත තමයි.” අවුරුදු ගාණක් ඉන්නකොට මෙතැන වෙනස් වුණේ කොහොමද කියලා අපි කජේන්ද්‍රන්ගෙන් ඇහුවා.

“මෙතැන ඉස්සර පොඩි පොඩි කඩ තිබුණා. කාලයත් එක්කම මෙතැන ස්පෙයාපාර්ට්වලට ම වෙන් වුණ තැනක් වුණා. මේ වගේ විශාල කඩ තිබ්බේ නෑ ඉස්සර. පොඩි පොඩි වාහන ස්පෙයාපාර්ට් කඩ තිබුණේ. ජේ ආර් මාත්යා ඇවිල්ලා බලන් ඉන්දැද්දි තමයි වාහන වැඩි වෙන්න ගත්තේ. දැන් කොයි වේලේ බැලුවත් වාහන යායක් ම මෙතැන තියෙනවා. මේ විදිහට වාහන වැඩි වෙන්න, වැඩි වෙන්න වාහන ස්පෙයාර්පාට් වැඩියෙන් ඕනේ වුණා. මෙතැන වාහන වැඩි වෙනවත් එක්කම ඉල්ලුමට සැපයුම දෙන්න ඒ හා සමානව වාහන ස්පෙයාර්පාට් කඩ වැඩි වුණා. බලාගෙන ඉන්නැද්දි තමයි ව්‍යාපාරිකයන් ට සරු වුණේ. පුංචි කඩ කරපු ඈයෝ විශාල කඩ කරන තත්ත්වයට ම තියුණු වුණා. මේවා දැකලා තව තවත් අය මේ බිස්නස් එකට එන්න ගත්තා. මේ හන්දියේ ඉදලා ආමර්වීදිය පැත්තටත්, මරදාන පැත්තටත් කඩ පොලිම් දික් වෙන්න පටන් ගත්තා. අවුරුදු විස්සක් වගේ කාලයක් ඇතුළත තමයි මේ විදිහට පංචිකාවත්ත වේගයෙන් මේ තත්ත්වයට ආවේ. “ කජේන්ද්‍රන් මේ විදිහට ඔහු දැකපු වෙනස විස්තර කරන්න ගත්තා.

● ජස්ටින්

යකඩ යායක පිපුණු මිනිස් මල්!

පංචිකාවත්ත හන්දියේ ඉන්න අයට දැකලා හුරු පුරුදු රූපයක් තමයි ජස්ටින්. වයස අවුරුදු පනහකට ආසන්න නමුත් ඊට වඩා වයස පාටක් මුහුණින් දිස් වන කළු ගැහුනු හීන්දෑරි මිනිස් ශරීරයක් ඔහුට හිමියි. ඔහුගේ වෘත්තිය වාහන අලුත්වැඩියා කිරීම. ඔහු එක්ක කතා කරන්න උත්සාහ කළා.

සිංහල චවන හරියාකාරව ගැට ගසා ගැනීමට නොහැකි නිසා මුලින් ඔහු අදි මදි කළත් පසුව අපගේ පෙරැත්තය නිසාමදෝ මන්දා ඔහු දිගින් දිගටම කතා කරන්න පටන් ගත්තා.

“මං දැන් මේ තැන රස්සාව පටන් අරගෙන අවුරුදු 25කට එහා. මේ කඩවලින් ගන්න ස්පෙයාර් පාට් ඒවෙලෙම වාහනයට සෙට් කරලා දෙන එක තමයි මගේ ජොබ් එක. මුලින් ම මෙතැන පුංචි පුංචි තහඩු කඩ තිබ්බේ. වාහන වැඩි වුණ නිසා. බිස්නස් එක ටොප් එකට ම දියුණු වුණා. දැන් බලන්න එපැයි ඉස්සර තිබ්බ තහඩු කඩ දැං බිල්ඩින් වෙලා තියෙන හැටි.”

මීට අවුරුදු විසිපහකට කලින් ඉතා වේගයෙන් වාහන වැඩි වෙන්න පටන් අරගෙන තියෙන්නේ මේ අල්ල පනල්ල තුළමයි. ජස්ටින් අවුරුදු විසිපහකට කලියෙන් පටන් ගත්ත වාහන රෙපෙයාර් කඩය අද වෙනකොට ඉතා හොඳ තැනකට ඔහු ඒ ව්‍යාපාරයෙන්ම තම ජීවිතය සාර්ථක කරගත්ත මනුස්සයෙක්. නමුත් මේ වෙනකොට ඔහුගේ පෙර ලැබූ ආදායම දැන් ඔහුට නොලැබෙන බවත්, ආදායම ටිකක් අඩු වී ඇති බවත් ඔහු කීවේ තරමක කළකිරීමකින්. පංචිකාවත්තේ ඉන්න ව්‍යාපාරිකයන්ට අමතරව කඩවල අත්උදව්වට එන අයත් දෙවිදියක්. ඇතැමෙක් මේ වෘත්තිය කෙසේ හෝ ඉගෙනගෙන දියුණු වීමේ අරමුණින් ම මෙහි පැමිණෙන අය. තවත් සමහරෙක් කිසිදු අරමුරණක් නැතිව එදිනෙදා ජීවිකාව ගෙන යෑම සඳහා පමණක්ම “යකඩ යායට” පැමිණෙන අයයි. ඒ විදිහට අපට හමුහුණු “අත්උදව්කරුවන්” දෙදෙනෙක් තමයි රුවන් සහ නාදන් කියන්නේ. ඔවුන් දෙදෙනාගේ වෘත්තිය එකම වුණත් ඔවුන් දෙදෙනාගේ සිතුවිලි හරියට අහසයි පොළොවයි වගේ. රුවන් අපට හමුවුණේ බයිසිකල් අමතර කොටස් විකුණන කඩයක් ඇතුළේ දී.

“නෝනා ටීවී එකේ ද වැඩ කරන්නේ.” කරුණු සොයමින් යකඩ ගොඩවල් අතර එහෙ මෙහෙ අත ඇවිදිමින් සිටි අප සමඟ රුවන් කතාබහට වැටුණේ ඒ විදිහටයි. වයස අවුරුදු විසිපහ නොඉක්ම වූ මේ තරුණයා තැන්පත් ගතිගුණ ඇති පුද්ගලයක් විදිහටයි මට පෙණුනේ. රුවන් පංචිකාවත්තේ වැඩට ඇවිත් අවුරුදු තුනක්. ඔහුගේ එකම අරමුණ මෙහි වැඩ අල්ලා ගැනීම.

“මම මෙතැන ඉන්නේ වැඩ ඉගෙන ගන්න ඕනේ නිසා. මම දැන් මෙතැන වැඩට ඇවිල්ලා අවුරුදු තුනකට කිට්ටුයි. මං හරි ආසයි මගේ ම කියලා බිස්නස් එකක් පටන් ගන්න. මේ අවුරුදු තුනට මං සෑහෙන්න වැඩ මෙතැනින් ඉගෙන ගත්තා. තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මේ ගැන පොත්පත් කියවලා ඉගෙන ගන්න බෑ. වැඩ කරලම පත්තියන් වුණාම තමයි මේ ගැන ඉගෙන ගන්න පුළුවන්.

මම මේ රස්සාවට මුලින්ම ආවේ ජීවත් වෙන්න මඟක් නැති නිසා. මොකද මම බැන්දා මීට අවුරුදු තුනකට විතර කලියෙන්. වයිෆ්ටයි මටයි ජීවත් වෙන්න ඕනේ නිසා තමයි මේ රස්සාවට ආවේ. මොකද පොතේ පතේ දැනුම නැති අපිට රජයේ රස්සවල් දෙන්නේ නෑනේ කවුරුත්. ඒත් අද වෙනකොට මං හොඳ තැනක ඉන්නවා. මට දැන් බබෙක් ඉන්නවා. එයා ලොකු වෙන්න වෙන්න ජීවිතේ හරි අමාරු වෙනවා. මේ තැනම ඉඳලා හරියන්නේ නෑ. මගේම කියලා පොඩිවට හරි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. මට ෂුවර් කවදාවත් අලුතින් පටන් ගත්තත් මේ ඒරියා එකේ බිස්නස් නැති වෙන්කේ නෑ කියලා. ඒ නිසා බය නැතුව අත ගහන්න පුළුවන්. ඔහු පංචිකාවත්ත යකඩ යායට පිපෙන අලුත් කුසුමකි.

● ඩේටා කාර්ඩ් වෙනුවෙන් රස්සාව

යකඩ යායක පිපුණු මිනිස් මල්!

නැවත ඔහුව හමුවෙනවිට “ව්‍යාපාරිකයෙක්” ලෙස හමුවෙමු කියලයි අපි එතැනින් පිටත් වුණේ. රුවන් වගේ තම අනාගතය ගැන හීන දකිමින් ජීවත් වෙන බොහෝ පිරිසක් මේ යාය පුරා විසිරී සිටී. ඒ අතර එදිනෙදා ජීවිකාව ගෙනියන්න රෑට පොඩ්ඩක් සප්පායම් වෙන්න, ඩේටා කාර්ඩ් එකක් දාගන්න මෙතැන වැඩ කරන අයත් ඉන්නවා. නාදන් කියන්නේ එවැනි චරිතයක්. තවමත් පාසල් යන වියේ පසු වන නාදන් තඹ කරපු අමුතු කොණ්ඩ විලාසිතාවකුත් එක්ක කනට කරාබු දාගෙන ඇහිබැමත් කාපාගෙනයි හිටියේ. මේ පුංචි කොලු ගැටයා කියන කතාවත් ඇසිය යුතු එකක්.

“මම මට තේරෙන කාලේ ඉඳලමයි මෙතැන වැඩ කරන්නේ. පොඩි කාලේ වාහන කෑලි එතැනින් මෙතැනට අරගෙන ගියාම කඩේ මුදලාලි පොඩි ගතමනාවක් දුන්නා. පොඩිවට අතට කීයක් හරි හම්බෙනකොට ඉස්කෝලේ යන එකත් එපා වුණා. කොහොමත් මම ඉගෙන ගන්න දස්සයෙක් නෙවෙයි. දැන් අවුරුදු පහළොවක් විතර තිසසේ මං මෙතැන වැඩ. මේ පැත්තේ ඕනේම කෙනෙක් මං අඳුරනවා. ඕනේ දෙයක් මට කරන්නත් පුළුවන්. කොහොම හරි දවස අන්තිමට ගතමනාව හම්බෙනවා. ඒකටනේ මේ හැමදේ ම අපි කරන්නේ. “ඒත් නාදන්ට තමන්ගේ ම ව්‍යාපාරයක් පටන් අරගෙන දියුණු වෙන්න කිසිම වුමනාවක් නෑ. එදිනෙදා ජීවිතේ “ෆන්” එකේ ගෙනියන්නයි ඔහුට ඕනේ. සමහරවිට ඔහු තවමත් ගැටවර විය පසුකරන නිසා ඔහුගේ සිතුවිලි ඒ ආකාරයෙන් විය හැකියි. අනාගතයේ දී ඔහුගේ මේ සිතිවිල්ල වෙනස් වුණොත් නාදන්ට හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්නත් හැකියාව තියෙනවා.

යකඩ යායේ මිනිස්සුන්ගේ හිත් යකඩ තරමටම රළු නොවුණාට, ඒ බොහෝ දෙනකුටත් ජීවන අරගලයට මුහුණ දෙද්දී බරපතළ ප්‍රශ්න එනකොට ඉබේම යකඩ හිත් ඇති පුද්ගලයෝ වෙනවා. ඉතිං යකඩ යායට එන ඕනෑම “කස්ටමර්” කෙනෙක් අත නොහරින්න ඒ අය දන්න සෙල්ලම් සේරම දානවා. එතකොට හුඟක් “කස්ටමර්”ලා හිතන්නේ පංචිකාවත්තේ ඉන්නේ “ගල් ආඳෝ” කියලයි. ඒ නිසාම මේ වෙනකොට “පංචිකාවත්තේ යකඩ යායට” පය තියන බොහෝ අය “ආරක්‍ෂාකාරී පියවරවල්” අනුගමනය කරන්න පුරුදුවෙලා ඉන්නවා.

“ඇත්තටම අපිට මේ එන කස්ටමර්ලා දෙයක් ඉල්ලුවොත් නෑ කියන්න බෑ කියන්න බෑ. ඒ නිසාම අපි ඒ අයට ඕන කරන “බඩු” ගෙනත් දෙන්න පොඩි පොඩි ටි්‍රක්ස් පාවිච්චි කරනවා තමයි. හැබැයි, ඒත් ඔය කියන විදිහේ කස්ටමර් අමාරුවේ දාන, මරාගෙන කන වැඩ නෙවෙයි. එහෙම ‘ජල්තරස්” වැඩ කරන අයට අපි මේකේ රජ කරන්න දෙන්නෙත් නෑ අපිට කස්ටමර්ලා දෙවිවරු වගේ.”

වෙන කෙනෙක්ගෙන් අහපු ප්‍රශ්නයකට තව කෙනෙක් ඔය වගේ උත්තරයක් දීලා එකපාරටම අතුරුදන් වුණේ නමක්වත් නොකියා. නම ලියාගන්න එපා කියන ඉල්ලීමකින්ම කතාව පටන් ගන්න මුසල්මානු සහෝදරයෙක් කිව්ව කතාවත් යකඩ යාය ගැන වෙනස් විදියකට හිතන්න තරම් හේතුවක්.

“ඉස්සර මෙතනට බ්‍රෝකර්ලා හිටියේ නෑ! ඒත් දැන් එහෙම අය ඉන්නවා. හැබැයි ඒ බ්‍රෝකර් වැඩේ කරන වැඩි දෙනෙක් “ඩ්‍රග්ස්”වලට ඇබ්බැහි වුණ උදවිය. අන්න ඒ අය තමයි එන කස්ටමර්ලාගේ ඔළුව නරක් කරන්නේ. සමහර විට කස්ටමර් අපි ළඟට අරන් එන්නෙත් නෑ. මිනිහම ගාන කියනවා, මිනිහට ගාණක් තියාගෙන. ඊට පස්සේ අපෙන් බඩුව අරගෙන ගිහින් අපිට අපේ ගාන ගෙනවිත් දෙනවා. ඉතිං එන වැඩි දෙනෙක් හිතන්නේ පංචිකාවත්තට වැඩියෛන් මිනිහව හූරන් කනවා වගේ එකක්. ඒත් අපි බොහෝම සාධාරණ විදිහට බිස්නස් එක කරගෙන ඉන්නවා.” ඔහු කියන කතාව ඇත්තක් බව අපිදු අවස්ථා කිහිපයකදීම දුටුවෙමු.

යකඩ යාය දශක හතරක පහක පමණ පැරණි ඉතිහාසයකට හිමිකම් කියන්නේය. එහි ජීවිතය වෙනුවෙන් යකඩ සමග හැප්පෙන බොහෝ පිරිසකගේ වයස ද ඊට සමානය. පංචිකාවත්ත ගැන නොව මුළු කොළඹම කියැවිය හැකි කතා ඔවුන් සතුව තිබේ. පංචිකාවත්ත යකඩ යාය සතුව කතා ගොන්නක් ඇති බව අපි මුලදී කීවේ එබැවිනි.

මල්මි රාජපක්‍ෂ
ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment