ලග්ගල ශාන්තිකර්මයෙන් මියගිය තිදරු මවගේ සැමියා දිවයින ට කතා කරයි

723

කාන්තාවකගේ අපලයක් දුරු කිරීමට ගල්කිරියාව ප්‍රදේශයේ කට්ටඩියෙකු ලග්ගල දෑස්ගිරිය ප්‍රදේශයේ ඥාතියකුගේ නිවසකට ගෙන්වා ගෙන ශාන්තිකර්මයක් කිරීමෙන් පසු රෝගීවූ එම කාන්තාව දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය 17 දා රාත්‍රියේ මියගොස් තිබුණි.

මෙසේ මියගොස් ඇත්තේ කුමාරි ඒකනායක නමැති 48 හැවිරිදි තිදරු මවකි. මෙම කට්ටඩියා 17 දා අලුයම සිට මියගිය කාන්තාවට ශාන්ති කර්මය සිදුකර වරින් වර ඇයට තැඹිලි ගෙඩි 21 ක් පානය කිරීමට සලස්වා ඇති බවත් අනතුරුව ඇයට කහවතුරද පානය කිරීමට දී ඇති බවත් ලග්ගල පොලිසිය පවසයි.

මේ හේතුව නිසා පාචනය වැළඳුණු මෙම කාන්තාව වරින්වර වැසිකිළියට ගොස් ඇති බවද ලග්ගල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධම්මික පත්ම කුමාර මහතා පැවසීය. මෙම ශාන්ති කර්මයට මියගිය කාන්තාවගේ සැමියා සහ පවුලේ අය ද සහභාගිවී තිබේ.

සැකකාර කට්ටඩියා පතල් සේවකයෙකු වන අතර ඔහුට යම්කිසි බලයක් තිබෙන බව පවසා දඹුල්ලේ සිට මෙසේ ලග්ගල දෑස්ගිරිය ගමේ ඥාති නිවසකට කාන්තාව ගෙන්වා ගෙන මෙම ශාන්තිකර්මය සිදුකර තිබේ.

යකැදුරෙක් විසින් තැඹිලි ගෙඩි 21 සහ කහ දියර පානය කිරීමට සැලසූ දඹුල්ලේ පදිංචිකාරියක් වූ කුමාරි ඒකනායක (48) තිදරු මව මියයෑමේ සිද්ධිය පිළිබඳව අමිහිරි කතාව ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය රටවල පවා පැතිර ගියේය.

මෙම කතාව තුළින් යකැදුරන් මෙන්ම මිත්‍යා මත පිළිබඳව අපේ ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙක් තබා තිබූ විශ්වාසය මුළුමනින්ම ගිලිහී ගියේය. මෙම සිද්ධියෙන් පසු දඹුල්ල රෝහලේදී මියගිය කුමාරි ඒකනායක මහත්මියගේ සැමියා වන ගාමිණි සේනාධීර මහතා සමග කතාබස් කිරීමට අපට හැකි විය.

ඔහුගේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනකු සමග ද අපි කතාබස් කළෙමු. ගාමිණි සේනාධීර මහතා වෘත්තියෙන් දක්‍ෂ ව්‍යාපාරිකයෙකි. ඔහු මෙම තත්ත්වයට මුලින්ම පත් වූයේ ඉතා කුඩා අන්දමින් සිය ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පසුවය.

ගාමිණි සේනාධීර අද සිල්ලර වෙළෙඳාම් කිරීම තුළින් එම පළාතේ ජනප්‍රිය චරිතයකි. ඔහු පවසන ආකාරයට පෙමණ දියුණු තත්ත්වයට තම දරු පවුල ගෙනයෑමට ඔහුගේ වියෝවූ බිරිඳ වන කුමාරි ඒකනායක ඔහුට විශාල දිරිගැන්වීමක් දී ඇත.

ගාමිණි සේනාධීර මහතා ඔහුගේ වචනයෙන්ම තම බිරිඳගේ වියෝවීම අපට සඳහන් කළේ මෙසේය. අපි දෙදෙනා පුදුම ආදරයකින් බැඳීමකින් ජීවත් වුණේ. දරුවෝ තුන්දෙනාම සමාජයේ හොඳ තත්ත්වයට ගෙනාවා. ලොකු පුතා අද සිවිල් ඉංජිනේරුවෙක්. අනිත් පුතා විශ්වවිද්‍යාල සිසුවෙක්. දුව ඉගෙනීම හදාරනවා.

අපේ පවුලට නැති ප්‍රශ්න ඇති වුණේ වසර 1 1/2කට උඩදියි. බිරිඳ සහ මා අතර මත භේද තිබුණා. මම එයාගේ හිත රිද්දුවේ නැහැ. සාමාන්‍ය පවුල්වල ඉඳහිට විවිධ ප්‍රශ්න ඇති වෙනවා.

පුද්ගලයෙක් බිරිඳට යමක් කන්නට දී (ඉනාවක්) ඇති බව අපේ පවුලේ ප්‍රශ්න පිළිබඳව සොයා බලද්දී පළාතේ පිළිගත් උදවිය පවා අදහස් පළකර තිබුණා.

ඒත් මේ ඉනාව නැති කිරීමට හැකියාවක් නැති බව ඔවුන් සඳහන් කර තිබුණා. ඒත් බිරිඳ සහ මා අතරේ තිබූ මත ගැටුම් සුළු මොහොතයි. ඇයත් දන්නවා ඇයට කවුරු හරි මොනවා හරි දීලා තියනවා කියලා. සමහර වෙලාවට යටි බඩ රිදෙනවා කියලත් ඇය පවසනවා. වායුසමනය කළ තැනකට එයා ගිය විටදී සීතලෙන් ගැහෙනවා. මේ අවධියේදී ලග්ගල පැත්තේ අපි මැණික් ගැරුවා. බිරිඳගේ සහයත් ලැබුණා. අපිට වුවමනා වුණේ කොහොම හරි ඇය සුවපත් කරන්නයි. මේ අතරතුරේ විවිධ තරාතිරමේ පුද්ගලයන් පස්සේ ගියා ඒත් සුව වුණේ නැහැ.

සමහර වේලාවට එයා ගත්ත තීන්දු තීරණ එයාම දන්නේ නැහැ.

එක දවසක් තවත් නැනකට ගිහින් එයාගේ සුවය පතා එතනදී කහට තේ හුඟක් බොන්න දුන්නා. ඒත් ඔය ඉනාව ගිහින් තිබුණේ නැහැ කියලා දැනගැනීමට ලැබුණා. මේ වගේ අවස්ථාවකදී මෙම තත්ත්වය යහපත් කර සතුටින් ජීවත්වීමේ අදහස කාටත් තිබෙනවා.

අපේ ලග්ගල තිබුණු මැණික් පතලට ටිකක් නුදුරින් තිබූ පතලක යකැදුරු වැඩ කරන කෙනෙක් ගැන ආරංචි වුණා. මම ගිහින් මිනිහාව හම්බ වුණා. මිනිහා කිව්වා ඒක මං කරලා දෙන්නම් කියලා.

මම කිව්වා වැඩේ හරි ගියාම රුපියල් ලක්‍ෂයක් දෙන්නම් කියලා. කොහොම හරි අපි ඒ දවස දාගත්තා. ලග්ගල පිහිටි අපේ ඥාති ගෙදරකට ඒ කපුවාට පැමිණෙන ලෙස දැනුම් දුන්නා. මගේ බිරිඳට එදා රෑට කෑම කන්න දෙන්න එපා කියලා මිනිහා කිව්වා. කොහොම කොහොම හරි පසුදා පාන්දරම වැඩේ පටන් ගත්තා. මේ මනුස්සයා ආවේ එයාගේ බිරිදීත් එක්කයි. ඇයත් ඔහුට සහය දුන්නා.

තැඹිලි ගෙඩි 21ක් වරින් වර මගේ බිරිඳට පානය කිරීමට මිනිහා සැලැස්සුවා. එයා කහ වතුරත් ඇයට පානය කිරීමට සැලැස්සුවා. ඒවගේම මගේ බිරිඳ වරින් වර වැසිකිළියට ගියා. පාචනය සිදුවෙනවා කියලා ඇය කිව්වා.

ඒත් තත්ත්වය බැරෑරුම් බව අපට තේරුණා. කපුවාගේ බිරිඳ පේනයක් බැලුවා තාම හරියට ඉනාව ඉවත්වෙලා නැහැ කියලා කිව්වා. ටිකක්වෙලා යද්දී බිරිඳගේ තත්ත්වය බැරෑරුම් වුණා. අපි ඇයව ලග්ගල රෝහලට ගෙන ගියා. පස්සේ දඹුල්ල රෝහලට මාරු කළා. දෙයියනේ එයා මියගිය බව ආරංචි වුණා.

අර මිනිහා කොහොම එකෙක්ද කියලා අපිට තේරුණා. අපි මෙච්චර දුක්වින්ඳේ බිරිඳගේ ජීවිතය බේරා ගන්නයි. කරපු වියදම් විශාලයි. මගේ බිරිඳව අපිට බේරාගන්න බැරි වුණා. මගේ බිරිඳ වෙනුවෙන් අනුරාධපුරේ රුවන්වැලිසෑයේ ලොකු පිංකමක් කරන්න තීරණය කළා. ඒ වගේම මේ පළාතේ පවුල් විස්සකට විතර අපි විශාල ලෙස උදව් කෙරුවා. අපි උදව් කළ පුද්ගලයෝ පවා මේ ප්‍රශ්නය තුළින් අපේ පවුලට විශාල වශයෙන් අපහාස කරනවා. අද මහ පුදුම සමාජයක්. වැටිච්ච මිනිහට එලව එලව ගහනවා. ඇයි මෙච්චර සමාජය දරුණු කියලා හිතෙනවා. මිනිහෙකුට ප්‍රශ්නයක් ඇති වුණොත් ඒවාට අනුකම්පා කරන්නේ නැහැ. මහ පුදුම සමාජයක් යැයි ඔහු කීවේය.

ලග්ගල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට අපේ ස්තුතිය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment