සුරාබදු හොරකම් නතර කළොත් වෘත්තිකයන්ට බදු ගහන්න ඕනෑ නැහැ වෘත්තිකයන් රට හැර යෑමත් නවතා ගත හැකියි – මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

151

වෘත්තිකයන් මත බදු පනවා රටට ආදායම් උපයා ගැනීම වෙනුවට මත්පැන් කර්මාන්තය තුළින් රටට අහිමි වන බදු ප්‍රමාණය නැවත ලබාගත හැකි නම් බදු බරින් පීඩිතව රට හැර යන වෘත්තිකයන් ශ්‍රී ලංකාව තුළ රඳවා ගත හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරනු ලබයි. ඔහු පෙන්වා දෙන්නේ මත්පැන් බෝතල් මත අලවනු ලබන ව්‍යාජ ස්ටිකර් ජාවාරම මගින් වසරකට රුපියල් බිලියන 80 සිට 100 දක්වා රටට අහිමි වන බවයි. එවැනි විශාල මුදලක් රටට අහිමි කරන්නට මත්පැන් කර්මාන්තය ආශ්‍රිත ජාවාරම් කරුවන්ට අවස්ථාව ලබාදී රටට වැදගත් වෘත්තිකයන්ට බදු පනවා ආදායම් උපයා ගැනීමට ක්‍රියාකිරීම සදාචාර සම්පන්න නොවන බව මන්ත්‍රීවරයා අවධාරණය කරනු ලැබුවා. ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන ලද්දේ 2023 ඔක්තෝබර් 08 වන දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරික ගැනීමේදී පවා ඒ අය මේ කරුණු ගැන විමසා බලාවි. ඒ නිසා රජය මේ කරුණු ගැන ගැඹුරින් විශ්ලේෂණය කර තීරණයක් ගත යුතුයි. අපි මේ ගැන හොයලා බලලා තියෙන්නේ. මේ ජාවාරම පිටිපස්සේ ඉහළ පෙළේ සුරාබදු නිලධාරීන් ඉන්නවා. මේ දූෂණය නවත්තතන්න නම් සියලු මත්පැන් නිෂ්පාදකයන් ඩිජිටල් ස්ටිකරයට මාරු විය යුතුයි. ඒ වගේම ඒක සියලු දෙනාට පෙනෙන පහසුවෙන් නිරවද්‍යතාව තහවුරු කරගත හැකි ඩිජිටල් කේතයක් විය යුතුයි. ඒ වගේම වඩාත් වැඩි නිරවද්‍යතාවක් සඳහා ද්විත්ව ඩිජිටල් ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. ඒ අනුව ආයතන දෙකක් නියෝජනය කරමින් ඩිජිටල් කේතයන් දෙකක්. හරියට අර චෙක් එකක අත්සන් දෙකක් දානව වගේ. මොකද එහෙම කළත් වැයවන්නේ සුළු මුදලක්.

මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මත්පැන් බෝතල් මත අලවනු ලබන මුද්‍රිත ස්ටිකරයක් සඳහා රුපියල් 1.90 ක් වැයකරද්දි ඩිජිටල් ස්ටිකරය සඳහා යන පිරිවැය ශත 20 ක් බවයි.

මත්පැන් නිෂ්පාදකයන්ගෙන් 85% ක්ම භාවිත කරන්නේ ඩිජිටල් ස්ටිකර්. ඉතිරි අය භාවිතා කරන්නේ මේ මුද්‍රිත ස්ටිකර්. අන්න ඒ කට්ටිය අතුරින් පිරිසක් තමයි දැනට වාර්තා වුණ ආකාරයට මේ ජාවාරම සිදු කරලා අහු වෙලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, පිරිවැය ශත 20 වුණාට ඩිජිටල් ස්ටිකරයට ගෙවන්නෙත් අර මුද්‍රිත ස්ටිකරයට ගෙවන රුපියල් 1.90 ක මුදලයි. මේක දැඩි අසාධාරණයක්. හරිනම් අපි ඒ ඉන්දියානු සමාගමෙන් වැඩිපුර ගෙවපු මුදල නැවත අයකරගත යුතුයි. ඒ වගේම ශත 20 ට මුද්‍රණය කරන ඩිජිටල් ස්ටිකරය සියලු දෙනාට අනිවාර්ය කළ යුතුයි. අඩු මිලට ඩිජිටල් ස්ටිකර්යක් තියෙද්දි ඇයි අපි වැඩි මිලකට මුද්‍රිත ස්ටිකරයක් ගන්නේ?

වැඩිදුර අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළේ කුමන බාධක පැමිණියත් මත්පැන් ආශ්‍රිතව සිදුවන බදු වංචාව නැවැත්වීමට තමන් පියවර ගනු ලබන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment