අපරාධකරුවෝ 2166ක් පෙරේදා ‘යුක්තියට’ කොටු – දින දෙකට 4287ක් මාට්ටු

162

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක කර තිබෙන ‘යුක්තිය’ මෙහෙයුමේදී පෙරේදා (18 වැනිදා) සිදු කළ වැටලීම්වලින් විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 2166 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ගතවූ දින දෙකකදී ‘යුක්තිය’ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 4287 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

මෙම සැකකරුවන්ගෙන් 14 දෙනකුගේ වත්කම් විමර්ශනය ආරම්භ කර ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 226 ක් පුනරුත්ථාපනයට යොමු කර තිබේ.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලේඛනගත කර සිටින ජාවාරම්කරුවන්ගෙන් 169 දෙනකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබෙන මෙම මෙහෙයුම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය ත්‍රිවිධ හමුදාව මෙන්ම බුද්ධි අංශ ද එක්ව සිටියි. මෙම මෙහෙයුම ලබන 23 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment