අලුත් ගාස්තුවෙන් සිපෙට්කෝ ඉන්ධන හල් වැසී යෑමේ අවදානමක්

2707

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන හල් දෙසිය තිස් අටම ලබන 25 වැනිදායින් පසුව වැසී යෑමට ඉඩ ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය (ඉන්ධන හල් හිමියෝ) පවසති.

සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන හල් හිමියන්ට දැනට ලැබෙන 2.75%ක කොමිස් මුදලින් සියයට තිස් පහක මාසික බෙදුම්කාර ධුර ගාස්තුවක් අලුතින් අය කර ගැනීමට සංස්ථාව තීරණය කර තිබෙන බවත් ලබන 25 වැනිදාට පෙර එම මුදල ගෙවා නොදමන්නේ නම් එදින සිට ඉන්ධන හල්වලට තෙල් නිකුත් කිරීම නවතා දමන බවට ලිඛිතව තර්ජනය කර ඇති බවත් එම සංගමය ‘දිවයින’ට පැවසීය.

ඉන්ධන හල්වලට මේ වනවිට හිමිවන කොමිස් මුදලින් සියයට 0.25ක් මාසික පරිහරණ ගාස්තු ලෙස සංස්ථාව අයකර ගන්නා බවද, ඊට අමතරව තවත් මාසික පරිහරණ ගාස්තුවක් අයකිරීම අසාධාරණ බව ද මෙම අයකිරීම යෝජනා වූයේ 2006 වසරේ වුවත් 2014 වසරේදී ක්‍රියාත්මක කිරීමට කළ සාකච්ඡාවලින් පසුව මෙන්ම 2021 වසරේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකින් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම අවලංගු වූ බව ද එම සංගමය පවසයි.

එසේ තිබියදී අංක 1053 දරන චක්‍රලේඛය ප්‍රකාරව දැනට ඉන්ධන හල් වෙත හිමිවන සියයට 2.75ක කොමිස් මුදලින් සියයට 35ක් අයකර ගැනීමට සංස්ථාව තීරණය කර ඇත. මීට අමතරව ඉන්ධනහල් හිමියන් විසින් සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල්ද මාසික වාරික 12කින් ගෙවා අවසන් කරන ලෙස දැනුම් දී තිබේ. මෙම මාසික බැඳුම්කර ගාස්තු හා හිඟ මුදල් ගෙවීමට අපොහොසත් වන්නේ නම් පූර්ව දැනුම් දීමකින් තොරව ඉන්ධන සැපයුම නතර කරන බවට අනතුරු අඟවා ඇතැයි ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

සංස්ථාව කිසිම පිරවුම් හලක් කල්බදු ගිවිසුම් ප්‍රකාරව ලබාදී නොමැති නමුත් බෙදුම්කරුවන්ට කල්බදු කුවිතාන්සි නිකුත් කිරීම තවත් අර්බුදයක් නිර්මාණය කර ඇත. මේ නිසා මෙම තීරණය වෙනුවෙන් නීතිමය ආවරණයක් ලබා ගැනීමට සංගමයට සිදු වී තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment