ගමනක පිය සටහන්!

199

1947 පැවැත්වූ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය එ.ජා.ප ය විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කොට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයා බවට පත් විය. බි්‍රතාන්‍ය යටත් විජිතවාදය නිසා මුල්බැස තිබූ සමාජ හා සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ එ.ජා.ප. නායකයන් නව සමාජ ක්‍රමයක් ගොඩනැඟීමේ මුල් පියවර ලෙස 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීම සඳහා පුරෝගාමීව කටයුතු කළහ.

 ඩී.එස්. සේනානායක රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ කටයුතු කරන සමයේ දී වියළි කලාපය තුළ ආරම්භ කළ ගොවිජනපද ව්‍යාපාරය ඉතා සාර්ථක අන්දමින් මුල්බැස ගැනීමට සමත්විය. පොළොන්නරු ඓතිහාසික නගරය බිඳවැටීමෙන් පසුව ඉදිකරන ලද ප්‍රථම බහුකාර්ය වාරිමාර්ග හා ඉඩම් යෝජනා ක්‍රමය වශයෙන් ගල් ඔය ව්‍යාපාරය ආරම්භ කළේය. මෙමගින් ශ්‍රී ලංකා සමාජය ඈත අතීතයේ සිට පවත්වාගෙන පැමිණි කෘෂිකාර්මික සමාජ-සංස්කෘතික පරිසරය ආරක්‍ෂාකොට කෘෂිකාර්මික විප්ලවයක් මෙරට ඇති කළහ.

 ශ්‍රී ලංකා සමාජය තුළ ඇති නැති පරතරය තුනී කිරීම සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට නිදහස් අධ්‍යාපනය මෙරට ක්‍රියාත්මක කළ යුතුය යන සටන මල්ඵල ගැන්වීම සඳහා මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ රජය විශේෂ දායකත්වයක් සපයනු ලැබීය. මේ නිසා ගම්බද දුගී දුප්පත් ජනතාවගේ දූ දරුවන්ට අධ්‍යාපන වරප්‍රසාදය අත්පත් කරගෙන සමාජයේ ඉහළට යෑමේ අවස්ථාව උදාවිය.

 1952 දී මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ හදිසි අභාවයෙන් පසු රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේ ඩඩ්ලි සේනානයක ය. ගෞරවාන්විත දේශපාලනයක නිරතවූ එතුමා ජනසම්මතවාදයට හිස නැමූ නායකයකු ලෙස ජනතා පැසසුමට ලක්වී සිටියේය. ඩඩ්ලි සේනානායක සියලු වාර්ගික එකමුතුකම පිළිබඳ එ.ජා.පයේ දර්ශනය ඉදිරියට ගෙනයමින් ඩඩ්ලි – චෙල්වනායගම් ගිවිසුම අනුව රට සභා ක්‍රමය හඳුන්වාදීමට පියවර ගනු ලැබීය.

 1953 දී චීන-ලංකා රබර් සහල් ගිවිසුමට එළඹීම මගින් ද්විපාර්ශ්වික ගනුදෙනු ප්‍රවේශයකට ශ්‍රී ලංකාව යොමුකරන ලදී. මේ නිසා රබර් නිෂ්පාදනය සඳහා ලෝක වෙළෙඳපොළ තුළ සැලකිය යුතු ස්ථානයක් අත්පත් කර ගැනීමට සමත් විය. පෝලන්තය, චෙකෝස්ලෝවැකියාව, රුමේනියාව වැනි කොමියුනිස්ට්වාදී රටවල් සමග ද්වීපාර්ශ්වික සබඳතා ඇතිකර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කළේය.

 1965 දී ඩඩ්ලි සේනානායක රජය මෙරට ආර්ථිකයේ නව ක්ෂේත්‍රයන් හඳුනාගැනීමේ දී සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකය සමග බද්ධකර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කිරීම වැදගත් වේ. ඒ අනුව 1966 දී සංචාරක කර්මාන්තය රාජ්‍ය මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා සංචාරක මණ්ඩලය සහ ලංකා හෝටල් සංස්ථාව පිහිටුවීම දැවැන්ත ආර්ථික ප්‍රවේශයක් ලෙස සැලකිය හැකිය. මෙමගින් රටේ සංස්කෘතිය, සදාචාරාත්මක අංග ආරක්‍ෂා කරගනිමින් ආර්ථිකය දියුණු කරන ආකාරය පෙන්වාදුන් නිසා තරුණ තරුණියන් වෙනුවෙන් ඍජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කිරීමට පදනම සකස් විණි.

 1953 දී හදිසියේ ඇතිවූ හර්තාලය නිසා ඩඩ්ලි සේනානායකගේ ඉවත්වීමත් සමග අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේ සර් ජෝන් කොතලාවල ය. එ.ජා.ප දර්ශනය ඉදිරියට ගෙනයමින් ගොවි ජනතාව සමෘද්ධිමත් මට්ටමට ගෙන ඒමට නායකත්වය ලබාදුන්නේය. සර් ජෝන් කොතලාවල විසින් ලෝකයේ වෙනත් රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගනු ලැබීය.

 එ.ජා.ප යේ දේශපාලන දර්ශනය තවදුරටත් ශක්තිමත් කිරීමට 1973 දී එ.ජා.ප නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින් 1977 වර්ෂයේ දී පවත්වන ලද පාර්ලිමේන්තු මහමැතිවරණයේ දී හයෙන් පහක බලයක් ලබාගෙන රජයක් පිහටුවීමට සමත්විය. ලෝක සමාජයේ දියුණුව ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමෙන් මෙරට ආර්ථික විප්ලවයක් ඇති කළහ.

 රාජ්‍ය සුභසාධනය ශක්තිමත් කරමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රම මාදිලිය පුළුල් කිරීම හරහා මහජනතාවට වැඩි සහනයක් ලබාදීමට ජේ. ආර්. ජයවර්ධන කටයුතු කළේය. එම ආර්ථික මොඩලය වූ කලී දකුණු ආසියාවේ නායකයකු විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රථම ආර්ථික හැරවුම් ලක්ෂ්‍යය ලෙස දැක්විය හැකිය.

 ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා මෙරට ගුවන් සහ නාවික ශක්තිය ව්‍යාප්ත කිරීමේ සැලසුම් සම්පාදනය හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකීරක්ෂා විශාල ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකියාව ලැබිණි. ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී පෞද්ගලික ව්‍යවසායකයන් සංවර්ධන ක්‍රියාවලියට යොමු කිරීම මගින් රැකියා උත්පාදනය සඳහා කටයුතු කළහ. ඇඟලුම් නිෂ්පාදන අපනයනය කිරීම සඳහා නිදහස් වෙළෙඳ කලාප සංකල්පය හැත්තෑ හතේ විප්ලවය මගින් එ.ජා.ප ය හඳුන්වාදුන් විශේෂ ආර්ථික ප්‍රවේශයන් ලෙස දැක්විය හැකිය.

 මහවැලි සංවර්ධන ව්‍යාපාරය කෙටිකලකින් නිමාකොට කෘෂිකර්මාන්තය, විදුලිබලය, පානීය ජල අවශ්‍යතා, මහාමාර්ග, නව නගර ඇතිකිරීම ඇතුළු සමාජ -ආර්ථික සුභසිද්ධිය ඇතුළු ධනාත්මක ආකාරයේ සංවර්ධන කාර්යභාරයන් රැසක් මගින් යෝධ විප්ලවයක් රට තුළ ඇති කළහ.

 බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය ඇතිකිරීම සහ සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කිරීමෙන් ජාතික උරුමය ආරක්‍ෂා කිරීමට පියවර ගත්හ.

 පාසල් දරුවන්ට නොමිලයේ නිල ඇඳුම්, පොත්පත්, දිවා ආහාරය ලබාදීම මගින් සුභසාධන ආර්ථික ක්‍රමවේද ශක්තිමත් කළහ. දුප්පත් දෙමව්පියන්ගේ දූදරුවන් හට උසස් අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා මහපොළ ශිෂ්‍යත්ව ආධාර ක්‍රමය හඳුන්වාදීම මගින් නිදහස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු විය. මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සංවර්ධනය කිරීම ඇතුළුව පළාත් මට්ටමින් නව විශ්වවිද්‍යාල ආරම්භ කිරීම නිසා දූදරුවන් වැඩි ප්‍රමාණයකට විශ්වවිද්‍යාල වරම් හිමිවිය.

 තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව පිහිටුවීම මගින් තරුණ තරුණියන්ගේ නිපුණතා සහ දැනුම වර්ධනය කරගැනීම සඳහා පදනම සකස් කරන ලදී. තොරතුරු තාක්ෂණය ආරම්භ කිරීම ශ්‍රී ලංකාව නව හැරවුම් ලක්‍ෂ්‍යයට පරිවර්තනය කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය. කාන්තා ශ්‍රමය සඳහා ඉහළ සමාජ වටිනාකමක් ලබාදීමේ අරමුණින් මැද පෙරදිග ගෘහ සේවාව ඇතිකිරීම දුරදිග කල්පනා කරමින් සැළසුම් කළ යෝධ ආර්ථික සංවර්ධන කටයුත්තක් ලෙස සැලකිය හැකිය.

 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම මගින් මූලික මිනිස් අයිතිවාසිකම් තවදුරටත් වර්ධනය කිරීම, ජනාධිපති ආණ්ඩුක්‍රමය සහ සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කළහ. 1987 දී 13වන සංශෝධනය හඳුන්වාදීමෙන් ඇති කළ පළාත් සභා ක්‍රමය ඔස්සේ වාර්ගික එක්සත්කම ආරක්ෂා කිරීමට නායකත්වය ලබා දුන්හ.

 1988 දී ජනාධිපතිවරයා බවට පත්වූ රණසිංහ ප්‍රේමදාස විසින් ආරම්භ කළ ජනසවිය වැඩසටහන දුගී දුප්පත් ජනතාවගේ ජීවත්වීමේ ප්‍රශ්නයට ලබාදුන් වැදගත් විසඳුමක් ලෙස සැලකිය හැකිය. ගම්උදාව වැඩසටහන ආරම්භ කිරීම මගින් නිවසක් ඉදිකර ගැනීමට පවා වත්පොහොසත් කමක් නැති අසරණ ජනතාවට මහා අස්වැසිල්ලක් ලබාදීමට හේතු විය. ප්‍රේමදාසගේ හදිසි අභාවයෙන් පසුව ජනාධිපතිවරයා සහ එ.ජා.ප යේ නායකයා ලෙස පත්වූයේ ඩී. බී. විජේතුංග ය. පක්ෂයේ දර්ශනය ඉදිරියට ගෙන යමින් රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අවධානය යොමුකළේය.

 2015 දී සම්මුතිවාදී දේශපාලන ප්‍රවේශයකට නායකත්වය ලබා දුන් රනිල් එම සන්ධාන රජයේ අග්‍රාමාත්‍යවරයා බවට පත් විය. නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා එ.ජා.ප ය කටයුතු කළහ. ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා, සුවසැරිය, ළඟම පාසල හොඳම පාසල, නිවාස සංවර්ධනය, සසුනෝදය වැනි ව්‍යාපෘති මගින් සමාජ ආර්ථික දියුණුව සඳහා කටයුතු කළහ. ඇඟලුම් කර්මාන්තය සහ මත්ස්‍ය නිෂ්පාදන සඳහා වූ ජී.එස්.පී. ූ සහනය ලබාගැනීමට කටයුතු කිරීමෙන් ලෝකයේ බොහෝ රාජ්‍යය සහ ජාත්‍යන්තර සංවිධාන සමග මිත්‍ර සබඳතා ශක්තිමත් කළහ. චීනය හා ඉන්දියාව ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර රාජ්‍ය සමග සමබර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම මගින් විදේශ ප්‍රතිපත්තියට ප්‍රමුඛ අවධානය දීමට රනිල්ගේ එ.ජා.ප රජය කටයුතු කළහ.

 ශ්‍රී ලංකා ජනසමාජයේ වාර්ගික එකමුතුකම රටේ ස්ථාවරභාවයට අත්‍යවශ්‍ය කාරණයක් ලෙස එ.ජා.පය පිළිගෙන ඇත. සමාජ-ආර්ථික අර්බුදය හේතුවෙන් රට ඉදිරියට ගෙන යෑම සඳහා සියලු ක්ෂේත්‍රවල ඇති විය යුතු නොබිඳිය හැකි දිගුකාලීන ප්‍රතිපත්තියකට යෑම සඳහා වූ සර්වපාක්ෂික පාලනයක සංවාදය ජනාධිපතිවරයා විසින් මේ වන විට රට හමුවේ ඉදිරිපත් කර තිබේ.

● මහාචාර්ය ප්‍රියන්ත ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment