හෝටලයකදී ගුටි කෙළගත් කතරගම සභාපති උප සභාපති ඇතුළු 4 ක් රිමාන්ඩ්

450

කතරගම හෝටලයක් තුළදී ගැටුමක් ඇති කරගත් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සිව් දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තිස්සමහාරාම මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තරිදු සමීර සිල්වා මහතා ඊයේ (21දා) සවස නියෝග කළේය.

පෙරේදා (20දා) රාත්‍රි 7.00ට පමණ කතරගම නගරයේ පිහිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන භාතිය ගාල්ලවත්ත මහතාට අයත් හෝටලය තුළදී දෙපිරිස අතර මෙම ගැටුම ඇතිව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය විසින් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා ඊයේ පස්වරුවේ කතරගම රෝහලට හා දෙබරවැව මුලික රෝහලට ගොස් සිදුකළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සියලු සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන, උප සභාපති ඩී. වී. ශාන්ත, මන්ත්‍රී භාතිය ගාල්ලවත්ත හා සභාපති වරයා සමග පැමිණි බව කියන තවත් පුද්ගලයෙකි.

කතරගම නගරයේ පිහිටි ප්‍රා. සහා මන්ත්‍රී භාතිය ගාල්ලවත්ත මහතාට අයත් හෝටලයක් තුළ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩී. වී. ශාන්ත මහතා සහ මන්ත්‍රීවරයා සාකච්ඡාවක නිරතව සිටියදී එක්වරම එහි කඩා වැදුණු කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා ඇතුළු පිරිසක් විසින් උප සභාපතිවරයාට හා මන්ත්‍රී වරයාට පහර දී තිබේ. හෝටලේ සවි කර තිබූ සීසීටීවී කැමරාවේ සියලු දර්ශන පටිගත වී තිබූ අතර පෙරේදා (20දා) රාත්‍රී 7.00 ට පමණ මෙම ගැටුම ඇතිව තිබේ. සභාපතිවරයා සමග පැමිණි පිරිස හා සභාපතිවරයා විසින් සිදුකළ පහර දීමෙන් උප සභාපතිවරයා බරපතළ තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙබරවැව මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කතරගම පොලිසිය පවසයි. එමෙන්ම එම අවස්ථාවේ උප සභාපතිවරයා සමග හෝටලයේ සිටි භාතිය ගාල්ලවත්ත මන්ත්‍රීවරයාද තැළුම් තුවාල සහිතව දෙබරවැව රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම ගැටුමේදී කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතාගේ ඇඟිලි දෙකකට තුවාල සිදුවීම නිසා ඔහු හා ඔහු සමග පැමිණි බව කියන පුද්ගලයකුද කතරගම දිසා රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය. මෙම තිදෙනාම පොදුජන පෙරමුණේ සාමාජිකයෝ වෙති.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment