කැලෑ පත්තර මඩ සහ ඩිජිටල් මඩ

1243

බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් කල්පනා කරන්නේ හොඳ දෙයක් කර ඡුන්ද පදනම හදාගෙන ඊළඟ ඡුන්දයට යෑමටය. එය න්‍යායක් වශයෙන්  ප‍්‍රායෝගික තත්ත්වයකි. මේ අතර එම ආණ්ඩුව නියෝජනය කරමින් බලයට එන දේශපාලනඥයන්ගෙන් වැඩිදෙනා කල්පනා කරන්නේ හොඳ දෙයක් කර එමගින් ගාණකුත් කපාගෙන කලින් ඡන්දයේදී ගන්නා ලද ණය ගෙවා ඊළඟ ඡුන්දයට ඉදිරිපත් වීමටය. නිදහසින් පසු බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම ව්‍යච්ෙඡ්දනය කොට හරස්කඩක් ගෙන පරීක්ෂා කර බැලූවොත් ඉහත සඳහන් සත්‍යය පැහැදිලි කරගත හැකි වන්නේය. අඩු වැඩි වශයෙන් ගත්කල මේ ආණ්ඩුවේ තත්ත්වයත් එහි සිටින දේශපාලනඥයින් වැඩිදෙනාගේ තත්ත්වයත් එසේමය. අපගේ මේ කෙටි ප‍්‍රවේශය මේ ආණ්ඩුව කරන්නට යන හොඳ වැඩක් සම්බන්ධයෙන් කෙරෙන විස්තරයක් වෙනුවෙනි. අශ්ලීල ප‍්‍රකාශන තහනම් කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත. පනත දැනටමත් සකස් කර තිබේ. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදෙනාගේ අනුමැතිය ලැබ නීතියක් බවට පත්වෙනවා ඇත. අශ්ලීල ප‍්‍රකාශන කුමක් ද යන්න මෙහිදී සොයා බලමු.

 1. කැලෑ පත්තර සහ ප‍්‍රසිද්ධියේ සමාජගත කරන මඩ පත්තර.

 2. ඩිජිටල් මාධ්‍යයෙන් ඉදිරිපත් කරන මඩ ප‍්‍රකාශන. එනම් පදනම් විරහිත චෝදනා සහිත වෙබ් සයිට්, යූ ටියුබ් වැඩසටහන්, ෆේස්බුක් පෝස්ට් යනාදිය.

 ශ‍්‍රී ලංකාවේ අශ්ලීල ප‍්‍රකාශනවලට ඉතිහාසයක් තිබේ. මේවායේ ආරම්භය 19 වන ශත වර්ෂයේ අග භාගයේදී කොළඹ ප‍්‍රභූ සමාජය තුළ විසුරුවා හරින ලද කැලෑ පත්තර ය. එකල කැලෑ පත්තරවල ප‍්‍රමුඛතම නිමිත්ත වුණේ ස්ත‍්‍රියක සහ පුරුෂයකු අතර පැවැත්වේ යැයි සැක කෙරෙන කායික සම්බන්ධකම්ය. මෙබඳු ඕපාදූපවලට අදාළව කැලෑ පත්තර ප‍්‍රකාශයට පත්කිරීම එක්දහස් අටසිය ගණන්වල එංගලන්තයේ පැවති වික්ටෝරියානු ජන සමාජයේද තිබිණ. ඒ අනුව සුද්දන්ගෙන් හැම කුණු වැඩක්ම පුරුදු වූ පරිදි කැලෑ පත්තර ගැසීමේ පුරුද්ද ද සිංහල ජන සමාජය විසින් අවශෝෂණය කර ගන්නට ඇති. එකල සිංහල කැලෑ පත්තරයක් මගින් ඕනෑම සිංහල ප‍්‍රභූ පවුලක් විනාශ මුඛයට ඇද දැමීමට හැකිවිය. කැලෑ පත්තර කර්මාන්තයේ දෙවැනි යුගය 1970 – 1977 අතර මේ රට පාලනය කළ සමගි පෙරමුණු ආණ්ඩුව ඇසුරෙහි ආරම්භ විය. 1977 මහ මැතිවරණය ආසන්න වනවිට බණ්ඩාරනායක මැතිනිය සහ ඇගේ සමගි පෙරමුණු රජයට විරුද්ධව එකල එක්සත් ජාතික පක්ෂය විසින් මඩ චිත‍්‍ර කතා පොතක් මුද්‍රණය කරන ලදී. මෙය කොටස් දෙකකින් යුක්තය. පළමුවෙනි කොටසේ නම ‘හත් අවුරුදු සාපය’ යි. දෙවැනි පොත ‘පවුල් ගහ’ ය. ශ‍්‍රී ලංකාවේ විසූ සුප‍්‍රකට දේශපාලන විකට චිත‍්‍ර ශිල්පියකු විසින් අඳින ලද මේ පොත් දෙක බණ්ඩාරනායක පවුලට සහ සමගි පෙරමුණු ආණ්ඩුවට එල්ල කරන ලද කුණු මඩ ප‍්‍රහාරයකි. හැබැයි මේ මඩ සියල්ල සකස් කර තිබුණේ සත්‍ය කරුණු පදනම් කරගෙනය. ඊට සමාන්තරව යූ.එන්.පි යේම අනුග‍්‍රහයෙන් බණ්ඩාරනායකවරුන් හෙළා දකින මඩ ගීත සහිත කැසට් පටයක් ද නිකුත් කර තිබිණ. පසු කාලයේදී ශ‍්‍රී ලංකාවේ ඉහළම තැනට පිවිසි සංගීත කණ්ඩායමක් මේ කැසට් පටයට ගීත ගායනා කළ අතර ඒ වෙනුවෙන්, පසුව බලයට පත්වූ යූ.එන්.පී. ආණ්ඩුව මගින් එම සංගීත කණ්ඩායමට ආණ්ඩුවේ සංගීත කොන්ත‍්‍රාත් විශාල ප‍්‍රමාණයක් දෙන ලද්දේය. ඉන්පසු මඩ පොත් ගැසීම වෙනුවට මඩ පත්තර කර්මාන්තයක් ම බිහිවිය. ඒවා තීරු පත්තරය. මේ පත්තරවලින් වැඩිපුරම මඩ ගසන ලද්දේ ජනාධිපති ආර්. පේ‍්‍රමදාසට ය. ඒ මඩ වැඩි හරියක්ම ඡුක්බඑ හෙවත් ගොතන ලද දේවල් ය. එකල තීරු මඩ පත්තර කලාව අවදානම් සහිත කර්මාන්තයකි. ඕනෑම කෙනකුට තීරු පත්තරයක් පටන්ගත හැකිවූ අතර පත්තරේට ලියන එකා මොකාදැයි හසු වුණොත් උස්සාගෙන ගොස් ඝාතනය කරන ලදී. රිචඞ් ද සොයිසා ඝාතනයට පත්වන්නේද දේශපාලන මඩ සහිත නාට්‍යයක පිටපතක් ලිවීම නිසාය. මේ අතර පේ‍්‍රමදාස ආණ්ඩුවෙන් මන්ත‍්‍රීවරුන් පිරිසක් කැඞීගොස් වෙනම පක්ෂයක් පිහිටුවා ගෙන මඩ පත්තර කිහිපයක් පටන් ගත්හ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වූ පසු මඩ පත්තර කලාව අතුරුදන් විය. එහෙත් චන්ද්‍රිකා පාලනයේ දෙවැනි අවධියේ දී ඇයට එරෙහිව මඩ පොත් දෙකක් නිකුත් විය. ඒවායේ කර්තෘවරු ප‍්‍රසිද්ධියේ පෙනී සිටි අය වූ නමුදු චන්ද්‍රිකා කවදාවත් ඔවුන්ට විරුද්ධව උසාවි ගියේ නැත.

 මඩ කර්මාන්තයේ ඊළඟ යුගය පටන් ගන්නේ අන්තර්ජාලය සමාජගත වීමෙනි. දේශපාලනඥයන්ට හා කලාකරුවන්ට තිත්ත කුණුහරුපෙන් බණින, සමලිංගිකයන්ට ලිංගික වධ දී ඝාතනය කළ යුතු බව ප‍්‍රසිද්ධියේ කියන යූ ටියුබ් චැනල් සහ වෙබ් සයිට් මෙකල අතිශයින්ම බහුලය. මේ වෙබ් සයිට් සහ යූ ටියුබ් චැනල්වලින් කරන චෝදනා කොහෙන් කොහෙම ආවාද යන්න කාටවත් නොතේරේ. දැනට අන්තර්ජාලයේ තිබෙන අසභ්‍ය කාම චිත‍්‍රපට අඩංගු යූ ටියුබ් චැනල් සමූහය ද අශ්ලීල ප‍්‍රකාශන යටතට ගැනීමට පුළුවන. මේ රටේ ජනයා මේ අශ්ලීල කාම චිත‍්‍රපටවලට සහ ලිංගික තොරතුරුවලට කෙතරම් ඇබ්බැහි වී ඇත්ද යත් මීට දෑ අවුරුද්දකට පෙර Sex යන වචනය අන්තර්ජාලය තුළ වැඩියෙන්ම පිරික්සූ රට බවට ශ‍්‍රී ලංකාව පත්විය. ආණ්ඩුව අශ්ලීල ප‍්‍රකාශන තහනම් කරන්නේ නම් කාම චිත‍්‍රපට සයිට්ස් සියල්ල ද තහනම් කළ යුතුය. එහෙත් තහනම් කළ සැණින් මෙම චිත‍්‍රපට වෙනත් ඩිජිටල් ෆ්ලැට්ෆෝම් හරහා නැරඹීමට අවස්ථාව ලැබේ. අවුරුදු 10 ක් වයස දරුවකු අත වුව ස්මාර්ට් ෆෝන් එකක් තිබේ නම් එය බලගතු අන්තරායකි. එම ළමයා අන්තර්ජාලයට පිවිස එක්තරා වචන දෙකක් ටයිප් කළ සැණින් බ්ලූ ෆිල්ම් මතුවෙන්නට පටන් ගනී. මෙය සෙසු යූ ටියුබ් චැනල්වලට මෙන්ම වෙබ් සයිට්වලට ද පොදු තත්ත්වයකි. ආණ්ඩුව ඉස්සරහ දොරෙන් ඒවා තහනම් කරන විට පස්සා දොරින් ඒවා නැරඹිය හැකිය. මෙය තාක්ෂණික ගැටලූවකි. විදුලි සංදේශ නියාමන කොමිසමට මේ ගැටලූව ජය ගැනීමට හැකි නම් අශ්ලීල ප‍්‍රකාශනවලින් යම් ප‍්‍රමාණයක් හෝ තහනම් කළ හැකි බව පැහැදිලිය.

advertistmentadvertistment
advertistmentadvertistment