ආණ්ඩුව අකමැතිනම් ඉවත් කිරීම ස්වාධීන කොමිසමක සම්ප්‍රදාය නොවිය යුතුයි

279

“ජනක රත්නායක හොඳ ද නරක ද කියන එක මට අදාළ නැහැ. හැබැයි ඇමැතිවරයාට එකඟ නැහැ කියල ඉවත් කරන එක වැරදියි”

ආචාර්ය චරිත හේරත්

අපි කියන්නෙ පුද්ගලයෙක් ඉවත් කරන එකට අපි එකඟයි. හැබැයි ඇමැතිවරයාට එකඟ නැහැ කියල ඉවත් කරන එක වැරදියි. ඒ වෙලේ එල්ලකළ චෝදනා එකක්වත් පිළිගන්න පුළුවන් චෝදනා නෙවෙයි.

මෙරට දේශපාලන ගමන්මගේ හමුවන චරිත දෙස විමසා බැලීමේදී බොහෝදෙනා තුළ දේශපාලනඥයන් කෙරේ එතරම් සුබවාදී හැඟීමක් නැත. ඒ ඔවුන්ගේ චරිතය එතරම් හොඳ නැති නිසාය. සමහරු දේශපාලනයට එනවිට සුපිරිසිදු චරිත වුවත් දේශපාලනයට පිවිස ටික කලකින්ම තම චරිතය විනාශ කරගනී. නමුත් අප මේ කතාකරන චරිතය ඒ ආකාරයෙන් තම චරිතය හානිකරගත් චරිතයක් නොවේ. ඔහු විවිධ අවස්ථාවල විවිධ චරිත තුළින් අපට හමුවේ. මුලින්ම ඔහුව අපට හමුවන්නේ පේරාදෙණිය විශ්වවිiාලයේ දාර්ශනික විiාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙසිනි. තවත් විටෙක හමුවන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසිනි. එසේම ඔහු මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයාය. වියත්මග සාමාජිකයෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මේ සියල්ලටම වඩා ඔහුගේ නම ඉදිරියේ සනිටුහන් වන වැදගත්ම තනතුර වන්නේ හිටපු කෝප් කමිටු සභාපතිවරයා යන තනතුරයි. මේ නිසාමයි අද ‘දිවයින – කතිකා’ ඔහු වෙනුවෙන් වෙන්කරේ. පහතින් පෙළගැසෙන්නේ ආචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා හා කෙරුණු සම්මුඛ සාකච්ඡාවයි.

පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරල තනතුරින් පහකළා. ස්වාධීන කොමිසමක සභාපතිවරයෙක් මේ විදිහට ඉවත් කිරීමෙන් එම කොමිෂන් ස්වාධීන නැහැ කියල පෙනී යනව. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

මෙම ආණ්ඩුව තීරණය කරල තියෙනවා ඒගොල්ලො අකැමැති අය මොන ස්වාධීන කොමිසමේ හිටියත් ඉවත්කළ යුතුයි කියලා. ඒ නිසා තමයි මේ වැඩේ කළේ. ජනක රත්නායක හොඳ ද නරක ද කියන එක මට අදාළ නැහැ. ජනක රත්නායකව පත්කළෙත් විපක්‍ෂය නෙවෙයි. ඔහුට විරුද්ධව ඡන්දය දීපු අපි කවුරුත් හිටපු ආණ්ඩුවයි ඔහුව පත්කළේ. ඇමැතිවරයා කියන දේම කරන්නෙ නැතිවුණාම ඉවත් කරන එක ස්වාධීන කොමිෂන් සභා සංස්කෘතියට විරුද්ධයි. අපි කියන්නෙ පුද්ගලයෙක් ඉවත් කරන එකට අපි එකඟයි. හැබැයි ඇමැතිවරයාට එකඟ නැහැ කියල ඉවත් කරන එක වැරදියි. ඒ වෙලේ එල්ලකළ චෝදනා එකක්වත් පිළිගන්න පුළුවන් චෝදනා නෙවෙයි.

එතුමා දේශපාලන පත්වීමක් නේද? කෝප් කමිටුවේදී ඒ ගැන ප්‍රශ්න කළා නේද?

ඔව් එතුමා දේශපාලන පත්වීමක්. ඒ අවස්ථාවේදී අපි එතුමව කෝප් කමිටුවට ගෙන්වල ප්‍රශ්න කළා. එය නිවැරදි ක්‍රියාවලියක්. එය කළ යුතු වැඩක්.

මෙවර ඔබ ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා. එලෙස පෙනී සිටියෙ සැබෑ ලෙසම ඔහු නිවැරදි නිසාද? නැතිනම් ආණ්ඩුවට විරුද්ධව භාවිත කළ මාතෘකාවක් නිසාද?

ඒ දෙකම නිසා නෙවෙයි. මේ ඉවත් කළ විදිහ වැරදි නිසා.

ඔබතුමාල පසුගිය කාලේ මේ පවතින ක්‍රමය වෙනස් කරන්න විශාල වෙහෙසක් දරන බව දැක්කා. පළාත් පාලන ඡන්දය ලබාගැනීම වෙනුවෙන් විශාල වැඩකොටසක් කළා. නමුත් ඒ සියල්ල දැන් ගඟට කැපූ ඉනි වගේ. දැන් යළිත් රටේ පෙර තිබුණු ආකාරයේම පාලනයක් පවතින්නේ. ඔබගේ උත්සාහය අපතේ ගියා නේද?

නැහැ. දේශපාලනයේ හැටි එහෙම තමයි. සමහරු ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරනවා. නමුත් හැමදාම එහෙම කරන්න බැහැ. ළඟදිම කඩා වැටෙන්න නියමිතයි. අපි දිගින් දිගටම අපේ අරගලය, විවේචනය, විරුද්ධත්වය දිගින් දිගටම කරනවා. මේ ආණ්ඩුව ඡන්දවලට බයයි. ඒ මතය අපි දිගින් දිගටම ගෙනියනව. ඉදිරියේදි අනිවාර්යයෙන්ම ඡන්ද තියන්න වෙනව. ඒක අපතේ යෑමක් නෙවෙයි. දේශපාලනේ හැටි එහෙම තමයි.

රටේ මෑත කාලයේ ඇතිවුණු අරගලයෙනුත් රටේ පැහැදිලි වෙනසක් කරන්න බැරිවුණා. ඔබතුමාල ආණ්ඩුවෙන් ඉවත්වුණත් ප්‍රභල බලපෑමක් එල්ල කරන්න බැරිවුණා. ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යනව. හිතෙන්නෙ නැද්ද ගත්තෙ වැරදි තීරණයක් කියල. ඇමැතිකමක් කරගෙන හිටියනම් ජනතාවට මීට වඩා දෙයක් කරන්න තිබුණ නේද?

නැහැ. පළමුවෙන්ම කියන්න ඕන ඒ ආණ්ඩුව වැරදි පාරෙ ගියෙ. ඒ ආණ්ඩුවම තමයි මේ යන්නෙ. එකම දේ ඉස්සරහින් එක්සත් ජාතික පක්‍ෂ නායකයෙක් තියල තියෙනවා. මේ තුළ කිසිම තනතුරක් නොදරන එක ඉතාම නිවැරදියි. මේ ආණ්ඩුවට ලොකු දෙයක් කරන්න බැහැ. ඒ වගේම පවත්වන පළමු මැතිවරණයෙන්ම මේ ආණ්ඩුව පරාජයට පත්වෙනව. ඒක නිසා මැතිවරණය කල් දමමින් ඉන්න එක තමයි කරන්නේ. අපි බලමු මෙහෙම හැමදාම කොහොමද කරන්නෙ කියල. මම කිසිම වැරදි තීරණයක් ගත්ත කියල හිතන්නෙ නැහැ. ආණ්ඩුවට විරුද්ධ වුණු එක ඉතාම නිවැරදි තීරණයක්. ඇමැති ධුරයක් දරන්න කියල වැරදි දේශපාලනයක් කරන්න ඕන නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 කෙරේම දැඩි අප්‍රසාදයක් එල්ලවෙලා තියෙන මොහොතක අලි සබි්‍ර මන්ත්‍රීවරයා රත්‍රන් සහ ජංගම දුරකථන තොගයක් ප්‍රභූ පර්යන්තය හරහා ගේනකොට රේගුවට අහුවෙනවා. මේකත් එක්ක ජනතාවගේ තිබුණු අප්‍රසාදය තවත් වැඩිවෙනවා. මේ තත්ත්වය ඔබ කොහොමද දකින්නෙ?

ජනතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෙරේ පවතින අප්‍රසාදයට තව මොන මොන හේතු තියෙනවද දන්නෙ නැහැ. නමුත් හොරකම් කරන අය වහාම අල්ලල මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතුයි. දැඩි දඬුවම් දිය යුතුයි. ඒ සඳහා පවතින නීති ප්‍රමාණවත් නැතිනම් නව නීති සකස් කළ යුතුයි. මොකද ඉතාම නරක විදිහට තමන්ට ලැබුණු වරප්‍රසාද පාවිච්චි කරල හොරකම් කරන්න උත්සාහ කරාම ඒකට විරුද්ධව කටයුතු කරන්න ඕන.

ඒ වගේම මිනිස්සු මන්ත්‍රීවරුන්ට විරුද්ධ වෙනවා කියන එකෙත් යම් යම් ගැටලු තියෙනවා. මොකද මෙහෙම නරක වැඩ කරන මන්ත්‍රීවරු පත්කරල එවන්නෙත් ජනතාවමයි. සමහර වෙලාවට මොනතරම් හොඳ අය ඡන්දයට ඉදිරිපත් වුණත් ජනතාව නරක කෙනාවම තෝරාපත්කර එවනවා. ඉතින් ඒක නිසා ඒ තුළත් ප්‍රශ්නයක් පවතිනවා. නමුත් මන්ත්‍රීවරු මීට වඩා ජනතාවට වගකියන, මීට වඩා ක්‍රමානුකූල, මීට වඩා වැඩි කාර්යභාරයක් ඉටුකළ යුතුයි.

අලි සබි්‍ර මන්ත්‍රීවරයාට ලැබුණු දඬුවම ප්‍රමාණවත්ද?

තමන්ට ලැබුණු වරප්‍රසාදයක්, පාර්ලිමේන්තුවේ ඉඩක් වැරදි විදිහට භාවිත කළ නිසා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව තහනම් කළ යුතුයි. අපිත් මෙයට විරුද්ධව ලියුමක් අත්සන් කරල දුන්නා.

මේ වනවිට විපක්‍ෂයේ කණ්ඩායම් කීපයක් පවතිනව. අඩුම වශයෙන් පොදු සතුරා වන ආණ්ඩුව පරාජය කරන්න, ආණ්ඩුවට පීඩනයක් එල්ල කිරීමටවත් විපක්‍ෂ කණ්ඩායම් එකට එකතුවන බවක් පේන්න නැහැ. ඒකට හේතුව තමන්ගෙ කණ්ඩායමට ඒ හරහා ලකුණු නොලැබෙයි කියන බයද?

විපක්‍ෂවල හැටි එහෙම තමයි. නිදහස ජනතා සභාව විදිහට අපි බලන්නෙ පුළුල්ම දේශපාලන සන්ධානය හදන්න. ඒ සඳහා අපි උත්සාහ කරමින් ඉන්නෙ. ඔබ කිව්ව එකෙත් ඇත්තක් තියෙනව. දැනට එක එක්කෙනා තම තමන්ගේ කට්ටිය ගැන, තම තමන්ගේ පක්‍ෂය ගැන විතරක් බල බල දේශපාලනය කරනවා. ඒ එතරම් හොඳ දෙයක් නෙවෙයි.

සාකච්ඡා කළේ – සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment