කම්කරු රුධිරයෙන් තෙත් වූ මැයි දිනය

91

මැයි දිනයක් ඇති වූයේ කෙසේද? එහි අරමුණු මොනවාද? එය ලොව පුරා ව්‍යාප්ත වූයේ කෙසේද? කියා මැයි දිනේ ඉතිහාසය පිළිබඳව ද පොදු ජනයා මෙන්ම කම්කරු පන්තිය ද දැන සිටිය යුතුය.

මැයි දිනයක් ඇති වීමට මූලික හේතු කාරකය වූයේ 1886දී ඇමරිකානු කම්කරුවන් විසින් ‘පැය අටේ වැඩ දිනයක්’ ඉල්ලමින් දියත් කළ වීරෝදාර කම්කරු අරගලයයි.

එකල ඇමරිකානු කම්කරුවන්ගේ සටන් මධ්‍යස්ථානය බවට පත්වී තුබූ චිකාගෝ නගරයේ ‘මැක්කොමික්’ කර්මාන්ත ශාලාවෙන් දියත් කළ සමස්ත මහා වැඩ වර්ජනයක් වූයේය.

මැයි දිනය රතු වීමට හේතුව කුමක්ද?

ඔහු ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් නිරායුදව සටන් වැදුණු ඒ වීර කම්කරුවන් නිර්දය ලෙස මර්දනය කිරීමට ‘ඉලිනෝයි ජනපදයේ’ ආණ්ඩුකාරයාගෙන් පොලිසියට අණ ලැබිණි. ඒ අණ අකුරටම ක්‍රියාත්මක කළ පොලිසිය සන්නද්ධ බළ ඇණියක් යොදවා එම කර්මාන්තශාලා භූමියම වට කරනු ලැබීය. කම්හල තුළ කොටු වී සිටි තුන්සියයක් තරම් වූ කම්කරු සහෝදරයන්ට සහයෝගය පළ කිරීම සඳහා චිකාගෝවේ අනෙකුත් කම්හල්වල කම්කරුවෝ ද විශාල පෙළපාළියක් සංවිධාන කොටගෙන සටන් පාඨ කියමින් කෑගසමින් පෙරමුණට ආවෝය. එදා ඒ මෘග පොලිසිය කෙළේ නිරායුද අහිංසක කම්කරුවන්ට ලවක් දෙවක් නොමැතිව වෙඩි තැබීමයි. කම්කරුවන් සතර දෙනෙක් එතැනම මැරී වැටුණෝය. තවත් බොහෝදෙනකුට තුවාල විය.

පොලිසියේ මේ සාහාසික කම්කරු ඝාතනය නිසා ප්‍රකෝපව කුපිත වූ කම්කරුවෝ ඒ අපරාධයට සිය විරෝධය පළ කිරීම උදෙසා චිකාගෝ හේමාර්කට් චතුරස්‍රයේ දැවැන්ත කම්කරු රැලියක් සංවිධානය කරනු ලැබූහ.

ඇල්බට් ආර්. පාර්සන්ස් සහ ඕගස්ට් ස්පයිස් යන කම්කරු නායකයන්ගේ මූලිකත්වයෙන් පැවැති මේ කම්කරු රැලියට එවක සිටි චිකාගෝ නගරාධිපතිවරයා ද සහභාගි විය. මේ මහා කම්කරු රැලිය දිගටම පවත්වාගෙන ගිය අතර සවස් වනවිට ධාරානිපාත වර්ෂාවක් ද ඇදහැලුණේය. මේ වනවිට ඒ කම්කරු නායකයන් දෙදෙනා චතුරස්‍රයෙන් පිට වී ගොස් සිටි අතර රාත්‍රි 10 පමණ වනවිට කම්කරු රැලිය අමතමින් සිටියේ පීල්ඩන් නමැති කම්කරු නායකයාය. මේ මොහොතේ අවි ගත් පොලිස් භටයන් එකසිය අසූ දෙනෙක් පමණ හේමාර්කට් චතුරස්‍රයට ඇතුළු වූවෝය.

අවිගත් පොලිසිය ශාලා ගර්භයට ඇතුළු වීමත් සමඟම චතුරස්‍රය පුරා බලවත් නොසන්සුන්තාවක් පැතිරිණි. මේ අවස්ථාවේදී කිසිවකු විසින් දමා ගසන ලද බෝම්බයක් පිපිරීම නිසා එක් පොලිස් භටයෙක් එතැනම මියගිය අතර තවත් පොලිස් භටයන් පස් දෙනෙක් තුවාල ලබා පසුව මරුමුවට පත්වූහ.

කම්කරු රුධිරයෙන් තෙත් වූ මැයි දිනය

මේ සිද්ධියෙන් පිස්සු වැටුණු පොලිසිය භයානක අන්දමින් කම්කරුවන්ට වෙඩි තබන්නට පටන් ගති. කම්කරුවෝ දස දෙනෙක් එතැනම මියගිය අතර දෙසීයකට අධික පිරිසක් තුවාල ලැබූහ. එදිනම රාත්‍රි ස්පයිස්, පිල්ඩන්, පිෂර් එංගල්, ලිංක්, ශ්වඩ්, නිබ් යන කම්කරු නායකයන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගත්හ. තවත් නායකයකු වූ පාර්සන්ස් පොලිසියට අසු නොවී පැනගියමුත් පසුව ඔහුත් අත්අඩංගුවට ගන්නාලදී.

අත්අඩංගුවට ගත් මේ කම්කරු නායකයන්ට විරුද්ධව පැවැති රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩු විභාගය 1886 අගෝස්තු 20 වැනිදා අවසන් වූ අතර ඒ නඩු තීන්දුව අනුව හත් දෙනකු එල්ලා මැරීමට ද අනෙක් තැනැත්තාට පහළොස් අවුරුදු සිරදඬුවමක් ද නියම කෙරිණි. මේ චිකාගෝ අධිකරණයේ නඩු තීන්දුවට විරුද්ධව ලොවපුරා කම්කරු උද්ඝෝෂණ රැල්ලක් පැතිරිණි.

චිකාගෝවේ ආණ්ඩුවේ කම්කරු ඝාතනය හදිස්සියේ ඇති වූ හුදෙකලා සිද්ධියක් නොවීය. මේ වකවානුවේ ලෝකයේ පැවැති ප්‍රබලම කාර්මික රට වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. එහි කර්මාන්ත හිමි කෝටිපති මුදලාලි පෙළැන්තිය, කම්කරුවන්ගෙන් පැය දාසයක් වැඩ ගත්තහ.

විශාල කම්හල් හිමියන් විසින් ගෙන යනු ලැබූ මේ ශ්‍රම සූරාකෑමට එරෙහිව ඇමරිකානු කම්කරු පන්තිය තුළ පන්ති විඥානය මේරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් අතර බලවත් නොසන්සුන්තාවක් පැනනැඟණි.

‘ඇමරිකානු කම්කරු සම්මේලනය’ යටතේ සංවිධානය වූ කම්කරුවෝ ‘පැය අටේ වැඩ දිනයක්’ ඉල්ලමින් යෝජනාවක් සම්මත කළෝය.

මේ අතර 1886 අප්‍රේල් මාසයේ අවසාන භාගය වනවිට කම්කරුවෝ සිය ඉල්ලීම් පිළිබඳව කර්මාන්තශාලා හිමියන් සමඟ සාකච්ඡා කරමින් සිටියෝය. මැයි 1 වැනිදා වනවිට මේ සාකච්ඡා අසාර්ථකව බිඳවැටුණු අතර කම්කරු සම්මේලනයේ තීරණය අනුව 1886 මැයි 1 වැනිදා සිට ‘පැය අටේ වැඩ දිනයක්’ ඉල්ලා රට පුරා පැතිර ගිය දැවැන්ත කම්කරු වැඩ වර්ජනයක් සංවිධානය කළෝය. මේ වැඩ වර්ජනය ක්‍රමයෙන් පෙළපාළිවලින්, රැස්වීම්වලින් හා උද්ඝෝෂණ ව්‍යාපාරවලින් සැදුම් ලත් මහා ආන්දෝලනයක් බවට පරිවර්තනය විය. මේ සමස්ත මහා වැඩ වර්ජනයට ඇමරිකානු කම්කරුවෝ පන් ලක්ෂයක් පමණ සහභාගි වූ බැව් කියති.

එය එතෙක් ලොව පැවැති විශාලම කම්කරු වැඩ වර්ජනය වූ අතර එමඟින් ප්‍රකාශයට පත් කෙරුණේ ඇමරිකානු කම්කරුවන් තුළ මෝදු වෙමින් පැවැති අසහනකාරී තත්ත්වයයි. අසාධාරණයට, ගසාකෑමට, සූරාකෑමට ඔවුන් තුළ තුබූ විරෝධයයි.

කම්කරු රුධිරයෙන් තෙත් වූ මැයි දිනය

පොලිස් වෙඩි උණ්ඩවලින් පපු කැනැති පලාගොස් සටන් බිම ඇදවැටුණු කම්කරු රුධිරයෙන් ‘හේමාර්කට් චතුරස්‍රය’ තෙත් වී නැහැවී ගිය අතර ලේ ගංගා දෝරේ ගලමින් කානුවල පාවී ගියේය. ගලා යන කම්කරු රුධිරය දෙස වෛරයෙන් බලමින් චිත්තවේග මවාගත් පෙළපාළිකරුවෝ සිය කමිස ගලවා ගලන රතු ලේ දහරෙහි ඔබා පොඟවා රතු කොඩි මෙන් ඉහළට ඔසවා පෙන්වමින් පෙළපාළිවල ගමන් ගත්තෝය.

ඔවුන්ගේ උණුසුම් සටන් පාඨය වූයේ ධනපතියෙනි! පැය අටේ වැඩ දිනයක් දියව්!! යන්නයි.

‘පැය අටේ වැඩ දිනය නොදී කම්කරු නැඟිටීම් මර්දනය කිරීමට ඇමරිකානු පාලකයන් විසින් ගන්නා ලද උත්සාහයන් ව්‍යර්ථ විය.

‘හේමාර්කට්’ කම්කරු ඝාතනය පිළිබඳ සිද්ධිය ලොව පුරා පැතිර යෑමට උද්ගත වූ කම්කරු උද්ඝෝෂණය නිසා දඬුවම් නියම කළ ඇතැම් කම්කරුවන්ගේ දඬුවම් ලිහිල් කිරීමට පාලකයන්ට සිදුවිය.

කම්කරු රුධිරයෙන් තෙත් වූ මැයි දිනය

එහෙත් අධිකරණය දුන් තීන්දුව අනුව යමින් 1887 නොවැම්බර් 11 වැනිදා පාර්සන්ස්, ස්පයිස්, පිෂර් සහ එංගල් යන කම්කරු නායකයන් සිවුදෙනා චිකාගෝ සිර ගෙදරදී එල්ලා මරනු ලැබීය.

එයින් වසර පහමාරකට පසු 1893 ජුනි 25 වැනිදා හේමාර්කට් කම්කරු විරුවන් වෙනුවෙන් චිකාගෝවේ ස්මාරකයක් ඉදිවිය.

මේ අතර 1889දී ප්‍රංශ විප්ලවයේ ශත සංවත්සරය සමරමින් රැස්වූ ‘පළමු වන ජාත්‍යන්තරය’ මැයි 1 වැනිදා ‘ජගත් කම්කරු දිනය’ ලෙස සැමරිය යුතු යැයි සම්මුතියක් ඇතිකරගන්නා ලදී.

ඒ අනුව 1890 මැයි 1 වැනිදා සිට ලෝකයේ ප්‍රධාන නගර හැම එකකම ජගත් මැයි දිනය මහත් උත්සවශ්‍රීයෙන් පවත්වනු ලබන්නාහ.

ධර්මප්‍රිය ජයකොඩි
(නැවත පළ කිරීමකි)

advertistmentadvertistment
advertistmentadvertistment