ශ්‍රී ලංකාවට කඩුලු 07ක ජයක්

161

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ජයග්‍රහණය සදහා ලකුණු 267ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 35.2කදී කඩුලු 03ක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය. පැතුම් නිස්සංක 118, අවිශ්ක ප්‍රනාන්දු 91යි.ඒ අනුව තරග තුනම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ශූරතාව හිමි කර ගත්තේය.


ඇෆ්ගනිස්තානය ලකුණු 266න් නවතී

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී ඊයේ (14 වැනිදා) පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ දී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවෝ ලකුණු 266 කට දැවී ගියහ.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 267ක ඉලක්කයක් හිමි වූ අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ඉනිම පන්දු වාර 48.2 කදී නිමාවට පත් විය.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම එම ලකුණු සංඛ්‍යාවෙන් නතර කිරීම සඳහා විශිෂ්ට පන්දු යැවීමක නිරත වීමට වසර තුනකට පමණ පසුව කණ්ඩායමට එක් වූ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීම ද ඉවහල් වූයේය.

එසේම කලකට පසුව කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගත් දුනිත් වෙල්ලාලගේ ගේ පන්දු යැවීමෙන් ද අකිල ට අනගි සහායක් ලැබිණි.

තම පන්දු වාර 10 තුළදී ලකුණු 38 ක් පමණක් ලබා දෙමින් කඩුලු දෙකක් බිඳ දැමීමට දුනිත් වෙල්ලාලගේ සමත් වූයේය.

ඊයේ තරගයේ දී තමන් යොමු කළ දෙවැනි පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට අකිල ධනංජය සමත් වූ අතර එහිදී ඇෆ්ගනිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස රහ්මනුල්ලාහ් ගුර්බාස් පිටියෙන් ඉවත් කිරීමට ඔහු සමත් විය.

පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ගුර්බාස් ලකුණු 48 ක් ලබා සිටියදී දැවී ගිය අතර අනතුරුව තමන් යොමු කළ තෙවැනි පන්දුවාරයේ දී නායක හෂ්මතුල්ලාහ් ශහීඩි දවා ගැනීමට ද අකිල සමත් වූයේය.

2021 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව අකිල ධනංජය ක්‍රීඩා කළ පළමු එක්දින ජාත්‍යන්තර තරගය මෙය වේ.

එසේම වේග පන්දු යැවීමේ අංශයෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රමෝද් මධුශාන් ලකුණු 48 කට කඩුලු 3 ක් බිඳ හෙළීය.

අසිත ප්‍රනාන්දු ලබා ගත් කඩුලු සංඛ්‍යාව දෙකකි. අශ්මටුල්ලා ඔමාර් සායි ලකුණු 54 කට අසිත හමුවේ දැවී ගිය අතර ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාහියා වූ රහමට් ශා දුනිත් වෙල්ලාලගේ හමුවේ දැවී යන විට රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 65 කි.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව සිය ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනා වන වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඉවත් කර ක්‍රීඩා කළේය.

ලකුණු සාරාංශය

ඇෆ්ගනිස්තානය 266/10(48.2)

රහමට් ශා 65, අශ්මටුල්ලා ඔමාර් සායි 54, රහමනුල්ලා ගුර්බාස් 48, ඉක්‍රම් අකිල්හිල් 32

පන්දු යැවීම

ප්‍රමෝද් මදුෂාන් 8.2-45-3, දුනිත් වෙල්ලාලගේ 10-38-2, අකිල ධනංජය 10-54-2, අසිත ප්‍රනාන්දු 9-44-2

advertistmentadvertistment
advertistmentadvertistment